සැවැත් නුවර දී ය …..
එකල්හී උග්ග නම් රාජ මහාමාත්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් උග්ග රාජ මහාමාත්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, ආශ්චර්යයකි! ස්වාමීනී, අද්භූතයෙකි! ස්වාමීනී, මේ රෝහණ සිටුහුගේ මුණුබුරු මිගාර සිටු තෙමේ මහත් ධන ඇත්තේ, මහත් භෝග ඇත්තේ, ආඪ්‍ය වූයේ නොවැ.”
“උග්ගයෙනි, රෝහණ සිටුහුගේ මුණුබුරු මිගාර සිටු කොපමණකින් ආඪ්‍ය වෙයි ද? කොපමණකින් මහා ධන ඇත්තේ වෙයි ද? කොපමණකින් මහා භෝග ඇත්තේ වෙයි ද?”
“ස්වාමීනී, රනින් ම ලක්ෂයකි. රිදී පිළිබඳ කවර කථා ද?”
“උග්ගයෙනි, ඔය ධනය ඇත්තේ ම ය. ඔය ධනය නැතැයි නොකියමි. උග්ගයෙනි, ඔය ධනය වනාහී ගින්නට ද සාධාරණ වෙයි. ජලයට ද සාධාරණ වෙයි. රජුන්ට ද, සොරුන්ට ද, අප්‍රිය දායාදයන්ට ද සාධාරණ වෙයි.
උග්ගයෙනි, මේ සප්ත ධනය වනාහී ගින්නට ද, ජලයට ද, රජුන්ට ද, සොරුන්ට ද, අප්‍රිය දායාදයන්ට ද සාධාරණ නොවෙයි. ඒ කවර සතක් ද යත්;
ශ්‍රද්ධා ධනය, සීල ධනය, හිරි ධනය, ඔත්තප්ප ධනය, සුත ධනය, චාග ධනය සහ ප්‍රඥා ධනය යි.
උග්ගයෙනි, මේ සප්ත ධනය වනාහී ගින්නට ද, ජලයට ද, රජුන්ට ද, සොරුන්ට ද, අප්‍රිය දායාදයන්ට ද සාධාරණ නොවෙයි.
(ගාථා)
1. ශ්‍රද්ධා ධනය, සීල ධනය, හිරි ධනය, ඔත්තප්ප ධනය, සුත ධනය, චාග ධනය සහ සත්වෙනි ප්‍රඥා ධනය යි.
2. යම් ස්ත්‍රියකට වේවා, පුරුෂයෙකුට වේවා මේ ධනය තිබෙයි නම් හේ ඒකාන්තයෙන් ලෝකයෙහි දෙව්මිනිසුන් විසින් ද නොපැරදවිය හැකි මහත් ධනය ඇත්තෙකි.
3. එහෙයින් ශ්‍රද්ධාව ත්, සීලය ත්, සංඝයා කෙරෙහි ප්‍රසාදය ත්, ධර්මාවබෝධය ත් ඇති නුවණැත්තා බුදුරජුන්ගේ ශාසනය සිහි කරමින් ධර්මයෙහි හැසිරෙන්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
උග්ගමහාමත්ත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M