සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ ධන සතකි. ඒ කවර සතක් ද යත්;
ශ්‍රද්ධා ධනය, සීල ධනය, හිරි ධනය, ඔත්තප්ප ධනය, සුත ධනය, චාග ධනය සහ ප්‍රඥා ධනය යි.
1. මහණෙනි, ශ්‍රද්ධා ධනය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා සද්ධා ඇත්තේ වෙයි. තථාගතයන්ගේ අවබෝධය අදහන්නේ වෙයි. එනම් ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. ….(පෙ)…. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. මහණෙනි, මෙය ශ්‍රද්ධා ධනය යැයි කියනු ලැබේ.
2. මහණෙනි, සීල ධනය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි ….(පෙ)…. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණේ වෙයි. මහණෙනි, මෙය සීල ධනය යැයි කියනු ලැබේ.
3. මහණෙනි, හිරි ධනය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා ලැජ්ජා ඇත්තේ වෙයි. කයින් දුසිරිත් කිරීමට ත්, වචනයෙන් දුසිරිත් කිරීමට ත්, සිතින් දුසිරිත් කිරීමට ත් ලැජ්ජා වෙයි. ලාමක අකුසල් දහම් ඇති කරගැනීමට ලැජ්ජා වෙයි. මහණෙනි, මෙය හිරි ධනය යැයි කියනු ලැබේ.
4. මහණෙනි, ඔත්තප්ප ධනය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා භය ඇත්තේ වෙයි. කයින් දුසිරිත් කිරීමට ත්, වචනයෙන් දුසිරිත් කිරීමට ත්, සිතින් දුසිරිත් කිරීමට ත් භය වෙයි. ලාමක අකුසල් දහම් ඇති කරගැනීමට භය වෙයි. මහණෙනි, මෙය ඔත්තප්ප ධනය යැයි කියනු ලැබේ.
5. මහණෙනි, සුත ධනය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා ධර්මය බොහෝ සෙයින් අසන ලද්දේ වෙයි. ඒ ඇසූ දහම් ධරන්නේ වෙයි. ඒ ඇසූ දහම් සිත්හිලා රැස් කරගන්නේ වෙයි. යම් ඒ ධර්මයෝ කල්‍යාණ වූ පටන් ගැනීමෙකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ මැදකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ අවසානයෙකින් යුක්ත වෙත් ද, අර්ථ සහිත වෙත් ද, පැහැදිලි වචනයෙන් යුක්ත වෙත් ද, හැම ලෙසින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග පවසත් ද, එබඳු වූ ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ය. ධාරණය කරගන්නා ලද්දාහු ය. වචනයෙන් පිරිවහන ලද්දාහු ය. මනසින් විමසන ලද්දාහු ය. නුවණින් අවබෝධ කරන ලද්දාහු ය. මහණෙනි, මෙය සුත ධනය යැයි කියනු ලැබේ.
6. මහණෙනි, චාග ධනය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා බැහැර වූ මසුරු මල ඇති ව දීම පිණිස අත්හළ සිතින් යුතුව, දීම පිණිස සෝදා ගත් අත් ඇති ව, දීමෙහි ඇළුණු සිත් ඇති ව, අනුන් විසින් ඉල්ලීමට නිසි ව, දන් බෙදීමෙහි ඇලී ගිහි ගෙයි වසන්නේ වෙයි. මහණෙනි, මෙය චාග ධනය යැයි කියනු ලැබේ.
7. මහණෙනි, ප්‍රඥා ධනය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවන්ත වෙයි. හටගැනීම ත්, නැතිවීම ත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන, මැනැවින් දුක් ක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මෙය ප්‍රඥා ධනය යැයි කියනු ලැබේ.
මහණෙනි, මේ වනාහී ධන සත යි.
(ගාථා)
1. ශ්‍රද්ධා ධනය, සීල ධනය, හිරි ධනය, ඔත්තප්ප ධනය, සුත ධනය, චාග ධනය සහ සත්වෙනි ප්‍රඥා ධනය යි.
2. යම් ස්ත්‍රියකට වේවා, පුරුෂයෙකුට වේවා මේ ධනය තිබෙයි නම් හේ නොදිළින්දෙක් යැයි කියනු ලැබේ. ඔහුගේ ජීවිතය හිස් වූවක් නොවෙයි.
3. එහෙයින් ශ්‍රද්ධාව ත්, සීලය ත්, සංඝයා කෙරෙහි ප්‍රසාදය ත්, ධර්මාවබෝධය ත් ඇති නුවණැත්තා බුදුරජුන්ගේ ශාසනය සිහි කරමින් ධර්මයෙහි හැසිරෙන්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
විත්ථත ධන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M