සැවැත් නුවර දී ය …..
මහණෙනි, සය කරුණකින් සමන්විත වූ තැනැත්තා සද්ධර්මය අසන්නේ නමුත් කුසල් දහම්හි නිවැරදි බව නම් වූ ධර්ම මාර්ගයට බැසගන්නට අසමර්ථ වෙයි. ඒ කවර සය කරුණකින් ද යත්;
තථාගතයන් විසින් වදාරණ ලද ධර්මය දේශනා කරන කල්හී අසන්නට නොකැමති වෙයි. සවන් යොමු නොකරයි. අවබෝධයෙහි සිත නොපිහිටුවයි. අදාළ නැති දේ ගනියි. අර්ථය අත්හරියි. ධර්මයට අනුකූල වූ ඉවසීමෙන් යුක්ත නොවෙයි.
මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ තැනැත්තා සද්ධර්මය අසන්නේ නමුත් කුසල් දහම්හි නිවැරදි බව නම් වූ ධර්ම මාර්ගයට බැසගන්නට අසමර්ථ වෙයි.
මහණෙනි, සය කරුණකින් සමන්විත වූ තැනැත්තා සද්ධර්මය අසන්නේ ම කුසල් දහම්හි නිවැරදි බව නම් වූ ධර්ම මාර්ගයට බැසගන්නට සමර්ථ වෙයි. ඒ කවර සය කරුණකින් ද යත්;
තථාගතයන් විසින් වදාරණ ලද ධර්මය දේශනා කරන කල්හී අසන්නට කැමති වෙයි. සවන් යොමු කරයි. අවබෝධයෙහි සිත පිහිටුවයි. අර්ථය ගනියි. අදාළ නැති දේ අත්හරියි. ධර්මයට අනුකූල වූ ඉවසීමෙන් යුක්ත වෙයි.
මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ තැනැත්තා සද්ධර්මය අසන්නේ ම කුසල් දහම්හි නිවැරදි බව නම් වූ ධර්ම මාර්ගයට බැසගන්නට සමර්ථ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
සුස්සූසති සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M