සැවැත් නුවර දී ය …..
මහණෙනි, ඔබට විනිවිද වැටහෙන නුවණ ඇති කරගැනීමේ ක්‍රමය පිළිබඳ ධර්ම පර්යාය දේශනා කරන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි. ‘එසේය ස්වාමීනී’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, ඒ විනිවිද වැටහෙන නුවණ ඇති කරගැනීමේ ක්‍රමය පිළිබඳ ධර්ම පර්යාය කුමක් ද?
මහණෙනි, කාමයෝ දත යුත්තාහු ය. කාමයන්ගේ පසුබිම හටගන්නා අයුරු දත යුත්තේ ය. කාමයන්ගේ විවිධත්වය දත යුත්තේ ය. කාමයන්ගේ විපාකය දත යුත්තේ ය. කාමයන් නිරුද්ධ වීම දත යුත්තේ ය. කාමයන් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දත යුත්තේ ය.
මහණෙනි, විඳීම් දත යුත්තේ ය. විඳීම්වල පසුබිම හටගන්නා අයුරු දත යුත්තේ ය. විඳීම්වල විවිධත්වය දත යුත්තේ ය. විඳීම්වල විපාකය දත යුත්තේ ය. විඳීම්වල නිරුද්ධ වීම දත යුත්තේ ය. විඳීම් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දත යුත්තේ ය.
මහණෙනි, සංඥා දත යුත්තේ ය. සංඥාවල පසුබිම හටගන්නා අයුරු දත යුත්තේ ය. සංඥාවල විවිධත්වය දත යුත්තේ ය. සංඥාවල විපාකය දත යුත්තේ ය. සංඥාවල නිරුද්ධ වීම දත යුත්තේ ය. සංඥා නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දත යුත්තේ ය.
මහණෙනි, ආශ්‍රවයෝ දත යුත්තාහු ය. ආශ්‍රවයන්ගේ පසුබිම හටගන්නා අයුරු දත යුත්තේ ය. ආශ්‍රවයන්ගේ විවිධත්වය දත යුත්තේ ය. ආශ්‍රවයන්ගේ විපාකය දත යුත්තේ ය. ආශ්‍රවයන්ගේ නිරුද්ධ වීම දත යුත්තේ ය. ආශ්‍රවයන් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දත යුත්තේ ය.
මහණෙනි, කර්මය දත යුත්තේ ය. කර්මයන්ගේ පසුබිම හටගන්නා අයුරු දත යුත්තේ ය. කර්මයන්ගේ විවිධත්වය දත යුත්තේ ය. කර්මයන්ගේ විපාකය දත යුත්තේ ය. කර්මයන් නිරුද්ධ වීම දත යුත්තේ ය. කර්මයන් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දත යුත්තේ ය.
මහණෙනි, දුක දත යුත්තේ ය. දුකෙහි පසුබිම හටගන්නා අයුරු දත යුත්තේ ය. දුකෙහි විවිධත්වය දත යුත්තේ ය. දුකෙහි විපාකය දත යුත්තේ ය. දුක නිරුද්ධ වීම දත යුත්තේ ය. දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දත යුත්තේ ය.
1. ‘මහණෙනි, කාමයෝ දත යුත්තාහු ය. කාමයන්ගේ පසුබිම හටගන්නා අයුරු දත යුත්තේ ය. කාමයන්ගේ විවිධත්වය දත යුත්තේ ය. කාමයන්ගේ විපාකය දත යුත්තේ ය. කාමයන් නිරුද්ධ වීම දත යුත්තේ ය. කාමයන් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දත යුත්තේ ය.’ යනුවෙන් යමක් කියන ලද්දේ නම්, එය කවර කරුණක් අරභයා කියන ලද්දේ ද යත්;
මහණෙනි, මේ කාම ගුණයෝ පසකි. ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇති, කැමැත්ත ඇතිවෙන, කෙලෙස් ඇතිවෙන, ඇසින් දත යුතු රූපයෝ ය. කනින් දත යුතු ශබ්දයෝ ය ….(පෙ)…. නාසයෙන් දත යුතු ගන්ධයෝ ය. ….(පෙ)…. දිවෙන් දත යුතු රසයෝ ය. ….(පෙ)…. ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇති, කැමැත්ත ඇතිවෙන, කෙලෙස් ඇතිවෙන, කයින් දත යුතු ස්පර්ශයෝ ය. මහණෙනි, නමුත් මේවා කාමයෝ නොවෙති. ආර්ය විනයෙහි මේවා කාම ගුණ යැයි කියනු ලැබේ.
(ගාථාවකි)
පුරුෂයාගේ කාමය යනු සංකල්ප රාගයකි. ලෝකයෙහි විසිතුරු අරමුණු වෙත් ද, ඒවා කාමයෝ නොවෙති. පුරුෂයාගේ කාමය යනු සිතුවිලිවල හටගන්නා රාගය යි. ලෝකයෙහි විසිතුරු අරමුණු ඒ අයුරින් ම තිබෙයි. එහෙත් නුවණින් එඩිතර වූවෝ ඒ කෙරෙහි ඇති ආශාව දුරලති.
මහණෙනි, කාමයන්ගේ පසුබිම හටගැනීම යනු කුමක් ද? මහණෙනි, ආධ්‍යාත්ම ආයතනය ත්, බාහිර ආයතනය ත්, විඤ්ඤාණය ත් එකට එකතු වීම නම් වූ ස්පර්ශය කාමයන්ගේ පසුබිමෙහි සම්භවය යි.
මහණෙනි, කාමයන්ගේ විවිධත්වය යනු කුමක් ද? මහණෙනි, රූපයන් පිළිබඳ කාමය අනෙකකි. ශබ්දයන් පිළිබඳ කාමය අනෙකකි. ගන්ධයන් පිළිබඳ කාමය අනෙකකි. රසයන් පිළිබඳ කාමය අනෙකකි. ස්පර්ශයන් පිළිබඳ කාමය අනෙකකි. මහණෙනි, මෙය කාමයන්ගේ විවිධත්වය යැයි කියනු ලැබේ.
මහණෙනි, කාමයන්ගේ විපාක යනු කුමක් ද? මහණෙනි, යමක් කැමති වන්නේ නම්, පිනෙහි විපාක වශයෙන් හෝ පවෙහි විපාක වශයෙන් හෝ ඒ ඒ ආත්මභාවය උපදවයි නම්, මහණෙනි, මෙය කාමයන්ගේ විපාකය යැයි කියනු ලැබේ.
මහණෙනි, කාමයන්ගේ නිරුද්ධ වීම යනු කුමක් ද? මහණෙනි, ස්පර්ශය නිරුද්ධ වීමෙන් කාමයන් නිරුද්ධ වෙයි.
ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම කාමයන් නිරුද්ධ වීමේ ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දෘෂ්ටිය ය, නිවැරදි සංකල්පනා ය, නිවැරදි වචන භාවිතය ය, නිවැරදි කායික ක්‍රියාවන් ය, නිවැරදි ජීවිකාව ය, නිවැරදි උත්සාහය ය, නිවැරදි සිහිය ය, නිවැරදි සමාධිය ය.
මහණෙනි, යම් කලක ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ කාමයන් දනියි ද, මෙසේ කාමයන්ගේ පසුබිමෙහි සම්භවය දනියි ද, මෙසේ කාමයන්ගේ විවිධත්වය දනියි ද, මෙසේ කාමයන්ගේ විපාකය දනියි ද, මෙසේ කාමයන්ගේ නිරෝධය දනියි ද, මෙසේ කාමයන් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දනියි ද, හේ විනිවිද වැටහෙන නුවණින් යුතුව කාමයන් නිරුද්ධ වන්නා වූ බඹසර දන්නේ ය.
මහණෙනි, කාමයෝ දත යුත්තාහු ය ….(පෙ)…. කාම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දත යුත්තේ ය යනුවෙන් යම් කරුණක් පවසන ලද්දේ ද, එය මේ සඳහා කියන ලද්දේ ය.
2. ‘මහණෙනි, විඳීම් දත යුත්තේ ය. විඳීම්වල පසුබිම හටගන්නා අයුරු දත යුත්තේ ය. විඳීම්වල විවිධත්වය දත යුත්තේ ය. විඳීම්වල විපාකය දත යුත්තේ ය. විඳීම්වල නිරුද්ධ වීම දත යුත්තේ ය. විඳීම් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දත යුත්තේ ය’ යනුවෙන් යමක් කියන ලද්දේ නම්, එය කවර කරුණක් අරභයා කියන ලද්දේ ද යත්;
මහණෙනි, මේ විඳීම් තුනකි. එනම් සැප විඳීම් ය. දුක් විඳීම් ය. දුක් සැප රහිත විඳීම් ය.
මහණෙනි, විඳීම්වල පසුබිම හටගැනීම යනු කුමක් ද? මහණෙනි, ආධ්‍යාත්ම ආයතනය ත්, බාහිර ආයතනය ත්, විඤ්ඤාණය ත් එකට එකතු වීම නම් වූ ස්පර්ශය විඳීම්වල පසුබිමෙහි සම්භවය යි.
මහණෙනි, විඳීම්වල විවිධත්වය යනු කුමක් ද? මහණෙනි, ආමිස සහිත වූ සැප විඳීමක් ඇත්තේ ය. නිරාමිස වූ සැප විඳීමක් ඇත්තේ ය. ආමිස සහිත වූ දුක් විඳීමක් ඇත්තේ ය. නිරාමිස වූ දුක් විඳීමක් ඇත්තේ ය. ආමිස සහිත වූ දුක් සැප රහිත විඳීමක් ඇත්තේ ය. නිරාමිස වූ දුක් සැප රහිත විඳීමක් ඇත්තේ ය. මහණෙනි, මෙය විඳීම්වල විවිධත්වය යැයි කියනු ලැබේ.
මහණෙනි, විඳීම්වල විපාක යනු කුමක් ද? මහණෙනි, යමක් විඳින්නේ නම්, පිනෙහි විපාක වශයෙන් හෝ පවෙහි විපාක වශයෙන් හෝ ඒ ඒ ආත්මභාවය උපදවයි නම්, මහණෙනි, මෙය විඳීම්වල විපාකය යැයි කියනු ලැබේ.
මහණෙනි, විඳීම්වල නිරුද්ධ වීම යනු කුමක් ද? මහණෙනි, ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම් නිරුද්ධ වෙයි.
ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම විඳීම් නිරුද්ධ වීමේ ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි සමාධිය ය.
මහණෙනි, යම් කලක ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ විඳීම් දනියි ද, මෙසේ විඳීම්වල පසුබිමෙහි සම්භවය දනියි ද, මෙසේ විඳීම්වල විවිධත්වය දනියි ද, මෙසේ විඳීම්වල විපාක දනියි ද, මෙසේ විඳීම්වල නිරෝධය දනියි ද, මෙසේ විඳීම් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දනියි ද, හේ විනිවිද වැටහෙන නුවණින් යුතුව විඳීම් නිරුද්ධ වන්නා වූ බඹසර දන්නේ ය.
මහණෙනි, විඳීම් දත යුත්තේ ය ….(පෙ)…. විඳීම් නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දත යුත්තේ ය යනුවෙන් යම් කරුණක් පවසන ලද්දේ ද, එය මේ සඳහා කියන ලද්දේ ය.
3. ‘මහණෙනි, සංඥා දත යුත්තේ ය. සංඥාවල පසුබිම හටගන්නා අයුරු දත යුත්තේ ය. සංඥාවල විවිධත්වය දත යුත්තේ ය. සංඥාවල විපාකය දත යුත්තේ ය. සංඥාවල නිරුද්ධ වීම දත යුත්තේ ය. සංඥා නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දත යුත්තේ ය. යනුවෙන් යමක් කියන ලද්දේ නම්, එය කවර කරුණක් අරභයා කියන ලද්දේ ද යත්;
මහණෙනි, මේ සංඥා සයකි. එනම් රූප සංඥාව ය. ශබ්ද සංඥාව ය. ගන්ධ සංඥාව ය. රස සංඥාව ය. ස්පර්ශ සංඥාව ය. අරමුණු සංඥාව ය.
මහණෙනි, සංඥාවල පසුබිම හටගැනීම යනු කුමක් ද? මහණෙනි, ආධ්‍යාත්ම ආයතනය ත්, බාහිර ආයතනය ත්, විඤ්ඤාණය ත් එකට එකතු වීම නම් වූ ස්පර්ශය සංඥාවල පසුබිමෙහි සම්භවය යි.
මහණෙනි, සංඥාවල විවිධත්වය යනු කුමක් ද? මහණෙනි, රූපයන් පිළිබඳ සංඥාව අනෙකකි. ශබ්දයන් පිළිබඳ සංඥාව අනෙකකි. ගන්ධයන් පිළිබඳ සංඥාව අනෙකකි. රසයන් පිළිබඳ සංඥාව අනෙකකි. ස්පර්ශයන් පිළිබඳ සංඥාව අනෙකකි. අරමුණු පිළිබඳ සංඥාව අනෙකකි. මහණෙනි, මෙය සංඥාවන්ගේ විවිධත්වය යැයි කියනු ලැබේ.
මහණෙනි, සංඥාවල විපාක යනු කුමක් ද? මහණෙනි, මම සංඥාව ව්‍යවහාරය විපාක කොට ඇත්තේ යැයි කියමි. යම් යම් අයුරකින් හඳුනාගනියි ද, ‘මෙබඳු වූ සංඥාවක් ඇති ව සිටියෙමි’ යි ඒ ඒ අයුරින් ව්‍යවහාර කරයි. මහණෙනි, මෙය සංඥාවන්ගේ විපාකය යැයි කියනු ලැබේ.
මහණෙනි, සංඥාවල නිරුද්ධ වීම යනු කුමක් ද? මහණෙනි, ස්පර්ශය නිරුද්ධ වීමෙන් සංඥා නිරුද්ධ වෙයි.
ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම සංඥා නිරුද්ධ වීමේ ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි සමාධිය ය.
මහණෙනි, යම් කලක ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ සංඥා දනියි ද, මෙසේ සංඥාවල පසුබිමෙහි සම්භවය දනියි ද, මෙසේ සංඥාවල විවිධත්වය දනියි ද, මෙසේ සංඥාවල විපාකය දනියි ද, මෙසේ සංඥාවල නිරෝධය දනියි ද, මෙසේ සංඥා නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දනියි ද, හේ විනිවිද වැටහෙන නුවණින් යුතුව සංඥා නිරුද්ධ වන්නා වූ බඹසර දන්නේ ය.
මහණෙනි, සංඥා දත යුත්තේ ය ….(පෙ)…. සංඥා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දත යුත්තේ ය යනුවෙන් යම් කරුණක් පවසන ලද්දේ ද, එය මේ සඳහා කියන ලද්දේ ය.
4. ‘මහණෙනි, ආශ්‍රවයෝ දත යුත්තාහු ය. ආශ්‍රවයන්ගේ පසුබිම හටගන්නා අයුරු දත යුත්තේ ය. ආශ්‍රවයන්ගේ විවිධත්වය දත යුත්තේ ය. ආශ්‍රවයන්ගේ විපාකය දත යුත්තේ ය. ආශ්‍රවයන්ගේ නිරුද්ධ වීම දත යුත්තේ ය. ආශ්‍රවයන් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දත යුත්තේ ය’ යනුවෙන් යමක් කියන ලද්දේ නම්, එය කවර කරුණක් අරභයා කියන ලද්දේ ද යත්;
මහණෙනි, මේ ආශ්‍රවයෝ තුනකි. එනම් කාම ආශ්‍රව ය. භව ආශ්‍රව ය. අවිද්‍යා ආශ්‍රව ය.
මහණෙනි, ආශ්‍රවයන්ගේ පසුබිම හටගැනීම යනු කුමක් ද? මහණෙනි, අවිද්‍යාව ආශ්‍රවයන්ගේ පසුබිමෙහි සම්භවය යි.
මහණෙනි, ආශ්‍රවයන්ගේ විවිධත්වය යනු කුමක් ද? මහණෙනි, නිරය කරා රැගෙන යන ආශ්‍රවයෝ ඇත්තාහ. මහණෙනි, තිරිසන් යෝනිය කරා රැගෙන යන ආශ්‍රවයෝ ඇත්තාහ. මහණෙනි, ප්‍රේත විෂය කරා රැගෙන යන ආශ්‍රවයෝ ඇත්තාහ. මහණෙනි, මිනිස් ලොව කරා රැගෙන යන ආශ්‍රවයෝ ඇත්තාහ. මහණෙනි, දෙව්ලොව කරා රැගෙන යන ආශ්‍රවයෝ ඇත්තාහ. මහණෙනි, මෙය ආශ්‍රවයන්ගේ විවිධත්වය යැයි කියනු ලැබේ.
මහණෙනි, ආශ්‍රවයන්ගේ විපාක යනු කුමක් ද? මහණෙනි, යම් හෙයකින් අවිද්‍යාව තුළ සිටින සත්වයා පිනෙහි විපාක වශයෙන් හෝ පවෙහි විපාක වශයෙන් හෝ ඒ ඒ ආත්මභාවය උපදවයි නම්, මහණෙනි, මෙය ආශ්‍රවයන්ගේ විපාකය යැයි කියනු ලැබේ.
මහණෙනි, ආශ්‍රවයන්ගේ නිරුද්ධ වීම යනු කුමක් ද? මහණෙනි, අවිද්‍යාව නිරුද්ධ වීමෙන් ආශ්‍රව නිරුද්ධ වෙයි.
ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ආශ්‍රව නිරුද්ධ වීමේ ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි සමාධිය ය.
මහණෙනි, යම් කලක ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ ආශ්‍රව දනියි ද, මෙසේ ආශ්‍රවයන්ගේ පසුබිමෙහි සම්භවය දනියි ද, මෙසේ ආශ්‍රවයන්ගේ විවිධත්වය දනියි ද, මෙසේ ආශ්‍රවයන්ගේ විපාක දනියි ද, මෙසේ ආශ්‍රවයන්ගේ නිරෝධය දනියි ද, මෙසේ ආශ්‍රවයන් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දනියි ද, හේ විනිවිද වැටහෙන නුවණින් යුතුව ආශ්‍රව නිරුද්ධ වන්නා වූ බඹසර දන්නේ ය.
මහණෙනි, ආශ්‍රව දත යුත්තේ ය ….(පෙ)…. ආශ්‍රව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දත යුත්තේ ය යනුවෙන් යම් කරුණක් පවසන ලද්දේ ද, එය මේ සඳහා කියන ලද්දේ ය.
5. ‘මහණෙනි, කර්මය දත යුත්තේ ය. කර්මයන්ගේ පසුබිම හටගන්නා අයුරු දත යුත්තේ ය. කර්මයන්ගේ විවිධත්වය දත යුත්තේ ය. කර්මයන්ගේ විපාකය දත යුත්තේ ය. කර්මයන් නිරුද්ධ වීම දත යුත්තේ ය. කර්මයන් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දත යුත්තේ ය’ යනුවෙන් යමක් කියන ලද්දේ නම්, එය කවර කරුණක් අරභයා කියන ලද්දේ ද යත්;
මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි. චේතනා පහළ කොට කයෙන් වචනයෙන් මනසින් කර්ම කරයි.
මහණෙනි, කර්මයන්ගේ පසුබිම හටගැනීම යනු කුමක් ද? මහණෙනි, ස්පර්ශය කර්මයන්ගේ පසුබිමෙහි සම්භවය යි.
මහණෙනි, කර්මයේ විවිධත්වය යනු කුමක් ද? මහණෙනි, නිරයේ ගොස් වින්ද යුතු කර්මයක් ඇත්තේ ය. මහණෙනි, තිරිසන් යෝනියේ දී වින්ද යුතු කර්මයක් ඇත්තේ ය. මහණෙනි, ප්‍රේත විෂයේදී වින්ද යුතු කර්මයක් ඇත්තේ ය. මහණෙනි, මිනිස් ලොවෙහි වින්ද යුතු කර්මයක් ඇත්තේ ය. මහණෙනි, දෙව්ලොවෙහි වින්ද යුතු කර්මයක් ඇත්තේ ය. මහණෙනි, මෙය කර්මයේ විවිධත්වය යැයි කියනු ලැබේ.
මහණෙනි, කර්මයන්ගේ විපාක යනු කුමක් ද? මහණෙනි, මම කර්මයන්ගේ විපාක තුන් වැදෑරුම් කොට කියමි. මෙලොවෙහි හෝ විපාක දෙයි. ඊළඟ උපත ලබන ආත්මයෙහි හෝ විපාක දෙයි. කවර හෝ උපත ලබන තැනක දී විපාක දෙයි. මහණෙනි, මෙය කර්මයන්ගේ විපාකය යැයි කියනු ලැබේ.
මහණෙනි, කර්මයන්ගේ නිරුද්ධ වීම යනු කුමක් ද? මහණෙනි, ස්පර්ශය නිරුද්ධ වීමෙන් කර්ම නිරුද්ධ වෙයි.
ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම කර්ම නිරුද්ධ වීමේ ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි සමාධිය ය.
මහණෙනි, යම් කලක ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ කර්මය දනියි ද, මෙසේ කර්මයන්ගේ පසුබිමෙහි සම්භවය දනියි ද, මෙසේ කර්මයන්ගේ විවිධත්වය දනියි ද, මෙසේ කර්මයන්ගේ විපාක දනියි ද, මෙසේ කර්මයන්ගේ නිරෝධය දනියි ද, මෙසේ කර්මයන් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දනියි ද, හේ විනිවිද වැටහෙන නුවණින් යුතුව කර්ම නිරුද්ධ වන්නා වූ බඹසර දන්නේ ය.
මහණෙනි, කර්ම දත යුත්තේ ය ….(පෙ)…. කර්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දත යුත්තේ ය යනුවෙන් යම් කරුණක් පවසන ලද්දේ ද, එය මේ සඳහා කියන ලද්දේ ය.
6. ‘මහණෙනි, දුක දත යුත්තේ ය. දුකෙහි පසුබිම හටගන්නා අයුරු දත යුත්තේ ය. දුකෙහි විවිධත්වය දත යුත්තේ ය. දුකෙහි විපාකය දත යුත්තේ ය. දුක නිරුද්ධ වීම දත යුත්තේ ය. දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දත යුත්තේ ය’ යනුවෙන් යමක් කියන ලද්දේ නම්, එය කවර කරුණක් අරභයා කියන ලද්දේ ද යත්;
මහණෙනි, ඉපදීම ත් දුකකි. මහළු වීම ත් දුකකි. රෝගී වීම ත් දුකකි. මරණය ත් දුකකි. ශෝක වැළපුම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් ද දුකකි. කැමති වන්නා වූ යමක් නොලැබෙයි ද එය ත් දුකකි. සියල්ල හකුළුවා පැවසුව හොත් පංච උපාදානස්කන්ධයෝ ම දුකකි.
මහණෙනි, දුකෙහි පසුබිම හටගැනීම යනු කුමක් ද? මහණෙනි, තෘෂ්ණාව දුකෙහි පසුබිමෙහි සම්භවය යි.
මහණෙනි, දුකෙහි විවිධත්වය යනු කුමක් ද? මහණෙනි, ඉතා දැඩි වූ දුක් ඇත්තේ ය. ස්වල්ප වූ දුක් ඇත්තේ ය. ඇල්ම දුරු කිරීමට දුෂ්කර වූ දුක් ඇත්තේ ය. වහා ඇල්ම දුරු කරගත හැකි දුක් ඇත්තේ ය. මහණෙනි, මෙය දුකෙහි විවිධත්වය යැයි කියනු ලැබේ.
මහණෙනි, දුකෙහි විපාක යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ඇතමෙක් දුකෙන් පීඩිත වූයේ, දුක වැළඳ ගත් සිත් ඇත්තේ ශෝක කරයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ළයෙහි අත් පැහැර හඬා වැටෙයි. සිහි මුලාවට පැමිණෙයි. යම් දුකකින් දැඩි සේ පීඩිත ව වැළඳ ගත් සිත් ඇති ව බාහිර පිහිටක් සොයා යයි. මේ දුක් නැතිවීම පිණිස කවරෙක් නම් එක් පදයක් හෝ දෙපදයක් හෝ දන්නේ ද කියා. මහණෙනි, මම දුක යනු සිහි මුළා වීම විපාක කොට ඇති, එයින් මිදීමක් සෙවීම විපාක කොට ඇති දෙයක් යැයි කියමි.
මහණෙනි, දුකෙහි නිරුද්ධ වීම යනු කුමක් ද? මහණෙනි, තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වෙයි.
ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම දුක නිරුද්ධ වීමේ ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි සමාධිය ය.
මහණෙනි, යම් කලක ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ දුක දනියි ද, මෙසේ දුකෙහි පසුබිමෙහි සම්භවය දනියි ද, මෙසේ දුකෙහි විවිධත්වය දනියි ද, මෙසේ දුකෙහි විපාක දනියි ද, මෙසේ දුකෙහි නිරෝධය දනියි ද, මෙසේ දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දනියි ද, හේ විනිවිද වැටහෙන නුවණින් යුතුව දුක නිරුද්ධ වන්නා වූ බඹසර දන්නේ ය.
‘මහණෙනි, දුක දත යුත්තේ ය. දුකෙහි පසුබිම හටගන්නා අයුරු දත යුත්තේ ය. දුකෙහි විවිධත්වය දත යුත්තේ ය. දුකෙහි විපාකය දත යුත්තේ ය. දුක නිරුද්ධ වීම දත යුත්තේ ය. දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දත යුත්තේ ය’ යනුවෙන් යම් කරුණක් පවසන ලද්දේ ද, එය මේ සඳහා කියන ලද්දේ ය.
මහණෙනි, ඒ විනිවිද වැටහෙන නුවණ ඇති කරගැනීමේ ක්‍රමය පිළිබඳ ධර්ම පර්යාය යනු මෙය යි.
සාදු! සාදු!! සාදු!!!
නිබ්බේධික සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M