අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.2.1.4. ආසව සුත්තං

6.2.1.4. ආශ්‍රව ගැන වදාළ දෙසුම

සාවත්ථිනිදානං …..

සැවැත් නුවර දී ය …..

ඡහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු ආහුනෙය්‍යෝ හෝති පාහුනෙය්‍යෝ දක්ඛිණෙය්‍යෝ අඤ්ජලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස. කතමේහි ඡහි?

මහණෙනි, කරුණු හයකින් සමන්විත වූ භික්ෂුව දන් පැන් පිදීමට සුදුසු වෙයි. ආගන්තුක සත්කාරයට සුදුසු වෙයි. පින් රැස්කරගැනීම පිණිස උපස්ථාන ලැබීමට සුදුසු වෙයි. වැඳුම් පිදුම් ලැබීමට සුදුසු වෙයි. ලෝකයාගේ අනුත්තර වූ පින් කෙත වෙයි. ඒ කවර සය කරුණකින් ද යත්;

ඉධ භික්ඛවේ භික්ඛුනෝ යේ ආසවා සංවරා පහාතබ්බා, තේ ආසවා සංවරේන පහීනා හොන්ති. යේ ආසවා පටිසේවනා පහාතබ්බා, තේ ආසවා පටිසේවනාය පහීනා හොන්ති. යේ ආසවා අධිවාසනා පහාතබ්බා, තේ ආසවා අධිවාසනාය පහීනා හොන්ති. යේ ආසවා පරිවජ්ජනා පහාතබ්බා, තේ ආසවා පරිවජ්ජනාය පහීනා හොන්ති. යේ ආසවා විනෝදනා පහාතබ්බා, තේ ආසවා විනෝදනාය පහීනා හොන්ති. යේ ආසවා භාවනා පහාතබ්බා, තේ ආසවා භාවනාය පහීනා හොන්ති.

මහණෙනි, මෙහිලා භික්ෂුව හට සංවරයෙන් ප්‍රහාණය කළ යුතු යම් ආශ්‍රවයෝ ඇද්ද, ඒ ආශ්‍රවයෝ සංවරයෙන් ප්‍රහීණ වූවාහු වෙති. සේවනය කිරීමෙන් ප්‍රහාණය කළ යුතු යම් ආශ්‍රවයෝ ඇද්ද, ඒ ආශ්‍රවයෝ සේවනය කිරීමෙන් ප්‍රහීණ වූවාහු වෙති. ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු යම් ආශ්‍රවයෝ ඇද්ද, ඒ ආශ්‍රවයෝ ඉවසීමෙන් ප්‍රහීණ වූවාහු වෙති. වැළකීමෙන් ප්‍රහාණය කළ යුතු යම් ආශ්‍රවයෝ ඇද්ද, ඒ ආශ්‍රවයෝ වැළකීමෙන් ප්‍රහීණ වූවාහු වෙති. දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු යම් ආශ්‍රවයෝ ඇද්ද, ඒ ආශ්‍රවයෝ දුරු කිරීමෙන් ප්‍රහීණ වූවාහු වෙති. භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු යම් ආශ්‍රවයෝ ඇද්ද, ඒ ආශ්‍රවයෝ භාවනාවෙන් ප්‍රහීණ වූවාහු වෙති.

(1) කතමේ ච භික්ඛවේ ආසවා සංවරා පහාතබ්බා යේ සංවරේන පහීනා හොන්ති: ඉධ භික්ඛවේ භික්ඛු පටිසංඛා යෝනිසෝ චක්ඛුන්ද්‍රියසංවරසංවුතෝ විහරති. යං හිස්ස භික්ඛවේ චක්ඛුන්ද්‍රියසංවරං අසංවුතස්ස විහරතෝ උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, චක්ඛුන්ද්‍රියසංවර සංවුතස්ස විහරතෝ ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති. පටිසංඛා යෝනිසෝ සෝතින්ද්‍රිය ….(පෙ)…. ඝානින්ද්‍රිය ….(පෙ)…. ජිව්හින්ද්‍රිය ….(පෙ)…. කායින්ද්‍රිය ….(පෙ)…. මනින්ද්‍රියසංවරසංවුතෝ විහරති. යං හිස්ස භික්ඛවේ මනින්ද්‍රියසංවරං අසංවුතස්ස විහරතෝ උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, මනින්ද්‍රියසංවරංසංවුතස්ස විහරතෝ ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති. යං හිස්ස භික්ඛවේ සංවරං අසංවුතස්ස විහරතෝ උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, සංවරංසංවුතස්ස විහරතෝ එවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමේ වුච්චන්ති භික්ඛවේ ආසවා සංවරා පහාතබ්බා යේ සංවරේන පහීනා හොන්ති.

1. මහණෙනි, යම් ආශ්‍රවයෝ සංවරයෙන් ප්‍රහාණය වෙත් නම් සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයෝ මොනවා ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව නුවණින් සළකා ඇස නම් වූ ඉන්ද්‍රිය සංවරයෙන් සංවර ව වාසය කරයි. මහණෙනි, යම් හෙයකින් ඇස නම් වූ ඉන්ද්‍රිය අසංවර ව වාසය කරද්දී ඔහුට දුක් පරිළාහ ඇති ආශ්‍රවයෝ උපදිත් නම්, ඇස නම් වූ ඉන්ද්‍රිය සංවර ව වාසය කරන්නහුට මෙසේ දුක් පරිළාහ ආශ්‍රවයෝ ඇති නොවෙති. නුවණින් සළකා කන නම් වූ ඉන්ද්‍රිය ….(පෙ)….. නාසය නම් වූ ඉන්ද්‍රිය ….(පෙ)….. දිව නම් වූ ඉන්ද්‍රිය ….(පෙ)….. කය නම් වූ ඉන්ද්‍රිය ….(පෙ)….. නුවණින් සළකා මනස නම් වූ ඉන්ද්‍රිය සංවරයෙන් සංවර ව වාසය කරයි. මහණෙනි, යම් හෙයකින් මනස නම් වූ ඉන්ද්‍රිය අසංවර ව වාසය කරද්දී ඔහුට දුක් පරිළාහ ඇති ආශ්‍රවයෝ උපදිත් නම්, මනස නම් වූ ඉන්ද්‍රිය සංවර ව වාසය කරන්නහුට මෙසේ දුක් පරිළාහ ආශ්‍රවයෝ ඇති නොවෙති.

මහණෙනි, යම් ආශ්‍රවයෝ සංවරයෙන් ප්‍රහාණය වෙත් නම් මේවා සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයෝ යැයි කියනු ලැබෙති.

(2) කතමේ ච භික්ඛවේ ආසවා පටිසේවනා පහාතබ්බා යේ පටිසේවනාය පහීනා හොන්ති: ඉධ භික්ඛවේ භික්ඛු පටිසංඛා යෝනිසෝ චීවරං පටිසේවති: යාවදේව සීතස්ස පටිඝාතාය, උණ්හස්ස පටිඝාතාය, ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං පටිඝාතාය, යාවදේව හිරිකෝපීනපටිච්ඡාදනත්ථං.

2. මහණෙනි, යම් ආශ්‍රවයෝ සේවනයෙන් ප්‍රහාණය වෙත් නම් සේවනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයෝ මොනවා ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව නුවණින් සළකා සිවුර සේවනය කරයි. එනම් සීත නැසීම පිණිස ය. ඌෂ්ණය නැසීම පිණිස ය. මදුරු මැසි සුළං අව්ව සර්පාදීන්ගේ කටුක පහස නැසීම පිණිස ය. ලැජ්ජා ඇතිවෙන තැන් වසා ගැනීම පිණිස ය.

පටිසංඛා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවති: නේව දවාය, න මදාය, න මණ්ඩනාය, න විභූසනාය, යාවදේව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා, බ්‍රහ්මචරියානුග්ගහාය. ඉති පුරාණඤ්ච වේදනං පටිහංඛාමි, නවඤ්ච වේදනං න උප්පාදෙස්සාමි. යාත්‍රා ච මේ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරෝ චාති.

නුවණින් සළකා පිණ්ඩපාතය සේවනය කරයි. ජවය පිණිස නොවෙයි. මදය පිණිස නොවෙයි. සැරසීම පිණිස නොවෙයි. අඩු තැන් පිරවීම පිණිස නොවෙයි. මේ ශරීරයෙහි පැවැත්ම පිණිස ම ය. යැපීම පිණිස ම ය. වෙහෙස දුරු කරගැනීම පිණිස ම ය. බඹසරට අනුග්‍රහ පිණිස ම ය. මෙසේ පැරණි සා දුක් වේදනා දුරු කරමි. අලුත් වේදනාවන් නූපදවන්නෙමි. මාගේ ජීවිත යාත්‍රාව ද නිවැරදි ව ත් පහසු විහරණය ත් වන්නේ ය කියා ය.

පටිසංඛා යෝනිසෝ සේනාසනං පටිසේවති: යාවදේව සීතස්ස පටිඝාතාය, උණ්හස්ස පටිඝාතාය, ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං පටිඝාතාය, යාවදේව උතුපරිස්සය විනෝදනං පටිසල්ලානාරාමත්ථං.

නුවණින් සළකා සේනාසනය සේවනය කරයි. එනම් සීත නැසීම පිණිස ය. ඌෂ්ණය නැසීම පිණිස ය. මදුරු මැසි සුළං අව්ව සර්පාදීන්ගේ කටුක පහස නැසීම පිණිස ය. ඍතු පීඩාවන් දුරු කිරීම පිණිස ය. භාවනාවෙහි ඇලී වාසය කිරීම පිණිස ය.

පටිසංඛා යෝනිසෝ ගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරං පටිසේවති: යාවදේව උප්පන්නානං වෙය්‍යාබාධිකානං වේදනානං පටිඝාතාය, අබ්‍යාපජ්ඣපරමතායාති.

නුවණින් සළකා ගිලන්පස බෙහෙත් පිරිකර සේවනය කරයි. එනම් උපන්නා වූ රෝගාබාධයන්ගෙන් හටගන්නා වේදනා නැසීම පිණිස ය. නීරෝග බව පරම කොට ය.

යං හිස්ස භික්ඛවේ අප්පටිසේවතෝ උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, පටිසේවතෝ ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති.

මහණෙනි, යමක් නුවණින් සළකා සේවනය නොකරන්නහුට දුක් පරිළාහ ඇති ආශ්‍රවයෝ උපදිත් ද, මෙසේ නුවණින් සළකා සේවනය කරන්නහුට දුක් පරිළාහ ඇති ආශ්‍රවයෝ ඇති නොවෙති.

ඉමේ වුච්චන්ති භික්ඛවේ ආසවා පටිසේවනා පහාතබ්බා යේ පටිසේවනාය පහීනා හොන්ති.

මහණෙනි, යම් ආශ්‍රවයෝ සේවනයෙන් ප්‍රහාණය වෙත් නම් මේවා සේවනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයෝ යැයි කියනු ලැබෙති.

(3) කතමේ ච භික්ඛවේ ආසවා අධිවාසනා පහාතබ්බා යේ අධිවාසනා පහීනා හොන්ති: ඉධ භික්ඛවේ භික්ඛු පටිසංඛා යෝනිසෝ ඛමෝ හෝති සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං, දුරුත්තානං දුරාගතානං වචනපථානං, උප්පන්නානං සාරීරිකානං වේදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං, පාණහරානං අධිවාසකජාතිකෝ හෝති. යං හිස්ස භික්ඛවේ අනධිවාසයතෝ උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, අධිවාසයතෝ ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමේ වුච්චන්ති භික්ඛවේ ආසවා අධිවාසනා පහාතබ්බා යේ අධිවාසනාය පහීනා හොන්ති.

3. මහණෙනි, යම් ආශ්‍රවයෝ ඉවසීමෙන් ප්‍රහාණය වෙත් නම් ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයෝ මොනවා ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව නුවණින් සළකා ඉවසන්නේ වෙයි. එනම් සීත, උණුසුම, බඩගින්න, පිපාසය, මැසි, මදුරු, අව්, සුළං, සර්පාදීන්ගේ කටුක පහස ඉවසන්නේ වෙයි. නපුරු ලෙස කියන ලද, නපුරු ලෙස පැමිණි දරුණු වචන ඉවසන්නේ වෙයි. උපන්නා වූ දුක් වූ තියුණු වූ දරුණු වූ කටුක වූ අමිහිරි වූ අමනාප වූ මාරාන්තික වූ ශාරීරික වේදනා ඉවසන ස්වභාව ඇත්තේ වෙයි.

මහණෙනි, යමක් නුවණින් සළකා නොඉවසන්නහුට දුක් පරිළාහ ඇති ආශ්‍රවයෝ උපදිත් ද, මෙසේ නුවණින් සළකා ඉවසන්නහුට දුක් පරිළාහ ඇති ආශ්‍රවයෝ ඇති නොවෙති.

මහණෙනි, යම් ආශ්‍රවයෝ ඉවසීමෙන් ප්‍රහාණය වෙත් නම් මේවා ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයෝ යැයි කියනු ලැබෙති.

(4) කතමේ ච භික්ඛවේ ආසවා පරිවජ්ජනා පහාතබ්බා යේ පරිවජ්ජනාය පහීනා හොන්ති: ඉධ භික්ඛවේ භික්ඛු පටිසංඛා යෝනිසෝ චණ්ඩං හත්ථිං පරිවජ්ජේති, චණ්ඩං අස්සං පරිවජ්ජේති, චණ්ඩං ගෝණං පරිවජ්ජේති, චණ්ඩං කුක්කුරං පරිවජ්ජේති, අහිං ඛාණුං කණ්ටකාධානං සොබ්භං පපාතං චන්දනිකං ඕලිගල්ලං, යථාරූපේ අනාසනේ නිසින්නං, යථාරූපේ අගෝචරේ චරන්තං, යථාරූපේ පාපකේ මිත්තේ භජන්තං, විඤ්ඤූ සබ්‍රහ්මචාරී පාපකේසු ඨානේසු ඕකප්පෙය්‍යුං, සෝ තං චේව අනාසනං තං ච අගෝචරං තේ ච පාපකේ මිත්තේ පටිසංඛා යෝනිසෝ පරිවජ්ජේති. යං හිස්ස භික්ඛවේ අපරිවජ්ජයතෝ උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, පරිවජ්ජයතෝ ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමේ වුච්චන්ති භික්ඛවේ ආසවා පරිවජ්ජනා පහාතබ්බා, යේ පරිවජ්ජනාය පහීනා හොන්ති.

4. මහණෙනි, යම් ආශ්‍රවයෝ වැළකීමෙන් ප්‍රහාණය වෙත් නම් වැළකීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයෝ මොනවා ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව නුවණින් සළකා චණ්ඩ හස්තියා වළකයි. චණ්ඩ අශ්වයා වළකයි. චණ්ඩ ගවයා වළකයි. චණ්ඩ සුනඛයා වළකයි. සර්පයා, උල් කණු, කටු ලැහැබ්, කුඩා සැඩ පහර, ප්‍රපාතය, ගවර වල, කුණු වල වළකයි. යම්බඳු නොගැලපෙන ආසනයක වාඩිවීමෙන්, නොගැලපෙන තැනක හැසිරීමෙන්, නොගැලපෙන පවිටු මිතුරන් ඇසුරු කිරීමෙන් සබ්‍රහ්මචාරීන් වහන්සේලා අවමන් කොට කල්පනා කරත් නම්, එබඳු නොගැලපෙන අසුන ද, නොගැලපෙන තැන ද, පාප මිතුරන් ද නුවණින් සළකා වළකයි.

මහණෙනි, යමක් නුවණින් සළකා නොවළකන්නහුට දුක් පරිළාහ ඇති ආශ්‍රවයෝ උපදිත් ද, මෙසේ නුවණින් සළකා වළකන්නහුට දුක් පරිළාහ ඇති ආශ්‍රවයෝ ඇති නොවෙති.

මහණෙනි, යම් ආශ්‍රවයෝ වැළකීමෙන් ප්‍රහාණය වෙත් නම් මේවා වැළකීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයෝ යැයි කියනු ලැබෙති.

(5) කතමේ ච භික්ඛවේ ආසවා විනෝදනා පහාතබ්බා යේ විනෝදනාය පහීනා හොන්ති: ඉධ භික්ඛවේ භික්ඛු පටිසංඛා යෝනිසෝ උප්පන්නං කාමවිතක්කං, නාධිවාසේති, පජහති විනෝදේති, බ්‍යන්තීකරෝති, අනභාවං ගමේති. පටිසංඛා යෝනිසෝ උප්පන්නං බ්‍යාපාදවිතක්කං ….(පෙ)…. උප්පන්නං විහිංසාවිතක්කං ….(පෙ)…. උප්පන්නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාධිවාසේති පජහති විනෝදේති, බ්‍යන්තීකරෝති, අනභාවං ගමේති. යං හිස්ස භික්ඛවේ අවිනෝදයතෝ උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා විනෝදයතෝ ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමේ වුච්චන්ති භික්ඛවේ ආසවා විනෝදනා පහාතබ්බා යේ විනෝදනාය පහීනා හොන්ති.

5. මහණෙනි, යම් ආශ්‍රවයෝ දුරු කිරීමෙන් ප්‍රහාණය වෙත් නම් දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයෝ මොනවා ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව නුවණින් සළකා උපන් කාම විතර්කය නොඉවසයි. අත්හරියි. දුරු කරයි. නැති කරයි. අභාවයට පත්කරයි. නුවණින් සළකා උපන් ව්‍යාපාද විතර්කය ….(පෙ)…. උපන් විහිංසා විතර්කය ….(පෙ)…. උපනූපන් පාපී අකුසලයන් නොඉවසයි. අත්හරියි. දුරු කරයි. නැති කරයි. අභාවයට පත්කරයි.

මහණෙනි, යමක් නුවණින් සළකා දුරු නොකරන්නහුට දුක් පරිළාහ ඇති ආශ්‍රවයෝ උපදිත් ද, මෙසේ නුවණින් සළකා දුරු කරන්නහුට දුක් පරිළාහ ඇති ආශ්‍රවයෝ ඇති නොවෙති.

මහණෙනි, යම් ආශ්‍රවයෝ දුරු කිරීමෙන් ප්‍රහාණය වෙත් නම් මේවා දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයෝ යැයි කියනු ලැබෙති.

(6) කතමේ ච භික්ඛවේ ආසවා භාවනාය පහාතබ්බා යේ භාවනාය පහීනා හොන්ති: ඉධ භික්ඛවේ භික්ඛු පටිසංඛා යෝනිසෝ සතිසම්බොජ්ඣංගං භාවේති විවේකනිස්සිතං විරාගනිස්සිතං නිරෝධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. පටිසංඛා යෝනිසෝ ධම්මවිචයසම්බොජ්ඣංගං භාවේති ….(පෙ)…. විරියසම්බොජ්ඣංගං භාවේති ….(පෙ)…. පීතිසම්බොජ්ඣංගං භාවේති ….(පෙ)…. පස්සද්ධිසම්බොජ්ඣංගං භාවේති ….(පෙ)…. සමාධිසම්බොජ්ඣංගං භාවේති ….(පෙ)…. උපෙක්ඛාසම්බොජ්ඣංගං භාවේති විවේකනිස්සිතං විරාගනිස්සිතං නිරෝධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. යං හිස්ස භික්ඛවේ අභාවයතෝ උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා භාවයතෝ ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමේ වුච්චන්ති භික්ඛවේ ආසවා භාවනා පහාතබ්බා යේ භාවනාය පහීනා හොන්ති.

6. මහණෙනි, යම් ආශ්‍රවයෝ භාවනාවෙන් ප්‍රහාණය වෙත් නම් භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයෝ මොනවා ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව නුවණින් සළකා විවේකයෙන් යුක්ත වූ, විරාගයෙන් යුක්ත වූ, නිරෝධයෙන් යුක්ත වූ, නිවනට නැඹුරු වූ සති සම්බොජ්ඣංගය භාවනාවෙන් ප්‍රගුණ කරයි. නුවණින් සළකා ධම්මවිචය සම්බොජ්ඣංගය භාවනාවෙන් ප්‍රගුණ කරයි. ….(පෙ)…. විරිය සම්බොජ්ඣංගය භාවනාවෙන් ප්‍රගුණ කරයි. ….(පෙ)…. පීති සම්බොජ්ඣංගය භාවනාවෙන් ප්‍රගුණ කරයි. ….(පෙ)…. පස්සද්ධි සම්බොජ්ඣංගය භාවනාවෙන් ප්‍රගුණ කරයි. ….(පෙ)…. සමාධි සම්බොජ්ඣංගය භාවනාවෙන් ප්‍රගුණ කරයි. නුවණින් සළකා විවේකයෙන් යුක්ත වූ, විරාගයෙන් යුක්ත වූ, නිරෝධයෙන් යුක්ත වූ, නිවනට නැඹුරු වූ උපෙක්ඛා සම්බොජ්ඣංගය භාවනාවෙන් ප්‍රගුණ කරයි.

මහණෙනි, යමක් නුවණින් සළකා භාවනා නොවඩන්නහුට දුක් පරිළාහ ඇති ආශ්‍රවයෝ උපදිත් ද, මෙසේ නුවණින් සළකා භාවනා වඩන්නහුට දුක් පරිළාහ ඇති ආශ්‍රවයෝ ඇති නොවෙති.

මහණෙනි, යම් ආශ්‍රවයෝ භාවනාවෙන් ප්‍රහාණය වෙත් නම් මේවා භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයෝ යැයි කියනු ලැබෙති.

ඉමේහි ඛෝ භික්ඛවේ ඡහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු ආහුනෙය්‍යෝ හෝති පාහුනෙය්‍යෝ දක්ඛිණෙය්‍යෝ අඤ්ජලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති.

මහණෙනි, මේ කරුණු හයෙන් සමන්විත වූ භික්ෂුව දන් පැන් පිදීමට සුදුසු වෙයි. ආගන්තුක සත්කාරයට සුදුසු වෙයි. පින් රැස්කරගැනීම පිණිස උපස්ථාන ලැබීමට සුදුසු වෙයි. වැඳුම් පිදුම් ලැබීමට සුදුසු වෙයි. ලෝකයාගේ අනුත්තර වූ පින් කෙත වෙයි.

සාදු! සාදු!! සාදු!!!

ආසව සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M