එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවසන සේක. එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සළ කළහ.
“ස්වාමීනී, පූරණකස්සප විසින් විශේෂ උපත් සයක් පණවන ලද්දේ ය. කළු පැහැ විශේෂ උපතක් පණවන ලද්දේ ය. නිල් පැහැ විශේෂ උපතක් පණවන ලද්දේ ය. රතු පැහැ විශේෂ උපතක් පණවන ලද්දේ ය. කහ පැහැ විශේෂ උපතක් පණවන ලද්දේ ය. සුදු පැහැ විශේෂ උපතක් පණවන ලද්දේ ය. උතුම් සුදු පැහැ විශේෂ උපතක් පණවන ලද්දේ ය.
1. ස්වාමීනී, එහිලා පූරණකස්සප විසින් කළු පැහැ විශේෂ උපතක් පණවන ලද්දේ ද, එනම් එළුවන් මරන්නෝ ය. ඌරන් මරන්නෝ ය. කුරුල්ලන් මරන්නෝ ය. මුවන් මරන්නෝ ය. රෞද්‍ර වූ මසුන් මරන්නෝ ය. සොරු ය. සොරුන් මරන්නෝ ය. සිර ගෙවල්හි සිටින්නෝ ය. එබඳු වූ අන්‍ය කෲරකම් කරන්නෝ වෙත් ද ඔවුන් උදෙසා ය.
2. ස්වාමීනී, එහිලා පූරණකස්සප විසින් නිල් පැහැ විශේෂ උපතක් පණවන ලද්දේ ද, එනම් ලාමක දිවි ගෙවන භික්ෂූන් ගැන ය. එමෙන්ම යම් කර්මවාදී ක්‍රියාවාදීහු වෙත් ද ඔවුන් ගැන ය.
3. ස්වාමීනී, එහිලා පූරණකස්සප විසින් රතු පැහැ විශේෂ උපතක් පණවන ලද්දේ ද, එනම් එක් සළුවක් හඳිනා නිගණ්ඨයන් ගැන ය.
4. ස්වාමීනී, එහිලා පූරණකස්සප විසින් කහ පැහැ විශේෂ උපතක් පණවන ලද්දේ ද, එනම් සුදු වත් හඳිනා ගිහි වූ නිගණ්ඨ ශ්‍රාවකයන් ගැන ය.
5. ස්වාමීනී, එහිලා පූරණකස්සප විසින් සුදු පැහැ විශේෂ උපතක් පණවන ලද්දේ ද, එනම් ආජීවකයන් හා ආජීවිකාවන් ගැන ය.
6. ස්වාමීනී, එහිලා පූරණකස්සප විසින් උතුම් සුදු පැහැ විශේෂ උපතක් පණවන ලද්දේ ද, එනම් නන්ද ය, වච්ඡ ය, කිස ය, සංකිච්ඡ ය, මක්ඛලී ගෝසාල ය යන මොවුන් ගැන ය.
“කිම, ආනන්දයෙනි, පූරණකස්සපයාගේ විශේෂ උපත් හය පිළිබඳ ව මේ පැණවීම සියළු ලෝකවාසීහු අනුමත කරන්නාහු ද?”
“ස්වාමීනී, එය නොවේ ම ය.”
“ආනන්දයෙනි, එය මෙබඳු දෙයකි. තමා සතු ධනයක් නැති, පොහොසත් නැති, දිළිඳු පුරුෂයෙක් සිටියි. ඔහු අකමැති ව සිටියදී ඔහුගේ අතෙහි මළ ගොනෙකුගේ මස් තබා මෙසේ ත් කියයි. එම්බා පුරුෂය, ඔබ මේ මසු ත් කෑ යුත්තේ ය. මුදල ත් ගෙවිය යුත්තේ ය කියා ය. එසෙයින් ම ආනන්දයෙනි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් අනුමත නොකරන ලද, මේ විශේෂ උපත් හයක් ය යන කරුණ පූර්ණකස්සප විසින් බාල වූ අව්‍යක්ත වූ ක්ෂේත්‍රය නොදන්නා වූ අදක්ෂ වූ කෙනෙක් කරන සෙයින් පණවන ලද්දේ ය.
ආනන්දයෙනි, විශේෂ උපත් සයක් මම පණවමි. එය අසව. මැනැවින් මෙනෙහි කරව. පවසන්නෙමි.”
“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“ආනන්දයෙනි, අභිජාති සය මොනවා ද?”
ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් කළු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැ ඇති දෙයක් උපදවයි. ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් කළු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ සුදු පැහැ ඇති දෙයක් උපදවයි. ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් කළු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැ නොවූත්, සුදු පැහැ නොවූත් නිර්වාණය උපදවයි. ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් සුදු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැ ඇති දෙයක් උපදවයි. ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් සුදු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ සුදු පැහැ ඇති දෙයක් උපදවයි. ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් සුදු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ සුදු පැහැ නොවූත්, කළු පැහැ නොවූත් නිර්වාණය උපදවයි.
1. ආනන්දයෙනි, ඇතැමෙක් කළු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැ ඇති දෙයක් උපදවන්නේ කෙසේ ද?
ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් නීච කුලයේ උපන්නේ වෙයි. එනම් සැඩොල් කුලයේ වේවා, වැදි කුලයේ වේවා, කුළුපොතු කුලයේ වේවා, රථකාර කුලයේ වේවා, පුක්කුස කුලයේ හෝ වේවා උපන්නේ වෙයි. දිළිඳු වූයේ අල්ප වූ ආහාරපාන ඇති ව දුක සේ දිවි ගෙවෙන, දුක සේ කුසගිනි නිවා ගන්නා වස්ත්‍ර ලබා ගන්නා කුලයෙහි උපන්නේ වෙයි. එමෙන් ම ඔහු දුර්වර්ණ වූයේ වෙයි. දැකීමට අප්‍රසන්න වූයේ වෙයි. ඉතා මිටි වූයේ වෙයි. බොහෝ රෝගාබාධ ඇත්තේ වෙයි. එකැස් ඇත්තේ වෙයි. වකුටු අත් පා ඇත්තේ වෙයි. කොර වූයේ හෝ වෙයි. පිළු හෝ වෙයි. ආහාර පාන වස්ත්‍ර යාන මල් සුවඳ විලවුන් සයනාසන නිවාස පහන් ආදී ගෘහෝපකරණ නැත්තේ වෙයි. ඒ තැනැත්තා කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. මනසින් දුසිරිතෙහි හැසිරෙයි. කයින් දුසිරිතෙහි හැසිර, වචනයෙන් දුසිරිතෙහි හැසිර, මනසින් දුසිරිතෙහි හැසිර, කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් වූ නිරයෙහි උපදියි. ආනන්දයෙනි, මෙසේ කළු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැ ඇති දෙයක් උපදවන්නේ වෙයි.
2. ආනන්දයෙනි, ඇතැමෙක් කළු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ සුදු පැහැ ඇති දෙයක් උපදවන්නේ කෙසේ ද?
ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් නීච කුලයේ උපන්නේ වෙයි. ….(පෙ)…. එමෙන් ම ඔහු දුර්වර්ණ වූයේ වෙයි. ….(පෙ)…. ආහාර පාන වස්ත්‍ර යාන මල් සුවඳ විලවුන් සයනාසන නිවාස පහන් ආදී ගෘහෝපකරණ නැත්තේ වෙයි. ඒ තැනැත්තා කයින් සුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් සුසිරිතෙහි හැසිරෙයි. මනසින් සුසිරිතෙහි හැසිරෙයි. කයින් සුසිරිතෙහි හැසිර, වචනයෙන් සුසිරිතෙහි හැසිර, මනසින් සුසිරිතෙහි හැසිර, කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදියි. ආනන්දයෙනි, මෙසේ කළු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ සුදු පැහැ ඇති දෙයක් උපදවන්නේ වෙයි.
3. ආනන්දයෙනි, ඇතැමෙක් කළු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැ නොවූත්, සුදු පැහැ නොවූත් නිර්වාණය උපදවන්නේ කෙසේ ද?
ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් නීච කුලයේ උපන්නේ වෙයි. එනම් සැඩොල් කුලයේ වේවා, ….(පෙ)…. එමෙන් ම ඔහු දුර්වර්ණ වූයේ වෙයි. දැකීමට අප්‍රසන්න වූයේ වෙයි, ඉතා මිටි වූයේ වෙයි, ….(පෙ)…. ආහාර පාන වස්ත්‍ර යාන මල් සුවඳ විලවුන් සයනාසන නිවාස පහන් ආදී ගෘහෝපකරණ නැත්තේ වෙයි. ඒ තැනැත්තා කෙස් රැවුල් බහා කහවත් දරා ගිහි ගෙයින් නික්ම බුදු සසුනෙහි පැවිදි වෙයි. හේ මෙසේ පැවිදි වූයේ සිතට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්වල කරන්නා වූ පංච නීවරණයන් ප්‍රහාණය කොට සතර සතිපට්ඨානයන්හි මනාලෙස පිහිටුවා ගත් සිතින් යුතුව සප්ත බොජ්ඣංගයන් ඒ වූ අයුරින් ම දියුණු කොට කළු පැහැ නොවූ ත්, සුදු පැහැ නොවූ ත් නිර්වාණය උපදවයි. ආනන්දයෙනි, මෙසේ කළු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැ නොවූ ත් සුදු පැහැ නොවූ ත් නිර්වාණය උපදවන්නේ වෙයි.
4. ආනන්දයෙනි, ඇතැමෙක් සුදු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැ ඇති දෙයක් උපදවන්නේ කෙසේ ද?
ආනන්දයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් උසස් කුලයෙහි උපන්නේ වෙයි. ක්ෂත්‍රිය මහාසාර කුලයෙහි හෝ බ්‍රාහ්මණ මහාසාර කුලයෙහි හෝ ගෘහපති මහාසාර කුලයෙහි හෝ උපන්නේ වෙයි. ආඪ්‍ය වූයේ මහත් ධනය ඇත්තේ මහත් භෝග ඇත්තේ වෙයි. බොහෝ රන් රිදී ඇති, බොහෝ ධන ධාන්‍ය ඇති, බොහෝ වස්තූපකරණ ඇත්තේ වෙයි. හේ අභිරූප සම්පන්න වෙයි. ඉතා ලස්සන වෙයි. දුටුවන් පහදින්නේ වෙයි. උතුම් වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වූයේ වෙයි. ආහාර පාන වස්ත්‍ර යාන වාහන මල් සුවඳ විලවුන් සයනාසන නිවාස පහන් ගෘහෝපකරණ ලබන සුළු වෙයි. ඒ තැනැත්තා කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. මනසින් දුසිරිතෙහි හැසිරෙයි. කයින් දුසිරිතෙහි හැසිර, වචනයෙන් දුසිරිතෙහි හැසිර, මනසින් දුසිරිතෙහි හැසිර, කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් වූ නිරයෙහි උපදියි. ආනන්දයෙනි, මෙසේ සුදු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැ ඇති දෙයක් උපදවන්නේ වෙයි.
5. ආනන්දයෙනි, ඇතැමෙක් සුදු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ සුදු පැහැ ඇති දෙයක් උපදවන්නේ කෙසේ ද?
ආනන්දයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් උසස් කුලයෙහි උපන්නේ වෙයි. ක්ෂත්‍රිය මහාසාර කුලයෙහි හෝ ….(පෙ)…. ආහාර පාන වස්ත්‍ර යාන වාහන මල් සුවඳ විලවුන් සයනාසන නිවාස පහන් ගෘහෝපකරණ ලබන සුළු වෙයි. ඒ තැනැත්තා කයින් සුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් සුසිරිතෙහි හැසිරෙයි. මනසින් සුසිරිතෙහි හැසිරෙයි. කයින් සුසිරිතෙහි හැසිර, වචනයෙන් සුසිරිතෙහි හැසිර, මනසින් සුසිරිතෙහි හැසිර, කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදියි. ආනන්දයෙනි, මෙසේ සුදු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ සුදු පැහැ ඇති දෙයක් උපදවන්නේ වෙයි.
6. ආනන්දයෙනි, ඇතැමෙක් සුදු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ සුදු පැහැ නොවූත්, කළු පැහැ නොවූත් නිර්වාණය උපදවන්නේ කෙසේ ද?
ආනන්දයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් උසස් කුලයෙහි උපන්නේ වෙයි. ක්ෂත්‍රිය මහාසාර කුලයෙහි හෝ බ්‍රාහ්මණ මහාසාර කුලයෙහි හෝ ගෘහපති මහාසාර කුලයෙහි හෝ උපන්නේ වෙයි. ආඪ්‍ය වූයේ මහත් ධනය ඇත්තේ මහත් භෝග ඇත්තේ වෙයි. බොහෝ රන් රිදී ඇති, බොහෝ ධන ධාන්‍ය ඇති, බොහෝ වස්තූපකරණ ඇත්තේ වෙයි. හේ අභිරූප සම්පන්න වෙයි. ඉතා ලස්සන වෙයි. දුටුවන් පහදින්නේ වෙයි. උතුම් වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වූයේ වෙයි. ආහාර පාන වස්ත්‍ර යාන වාහන මල් සුවඳ විලවුන් සයනාසන නිවාස පහන් ගෘහෝපකරණ ලබන සුළු වෙයි. ඒ තැනැත්තා කෙස් රැවුල් බහා කහවත් දරා ගිහි ගෙයින් නික්ම බුදු සසුනෙහි පැවිදි වෙයි. හේ මෙසේ පැවිදි වූයේ සිතට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්වල කරන්නා වූ පංච නීවරණයන් ප්‍රහාණය කොට සතර සතිපට්ඨානයන්හි මනාලෙස පිහිටුවා ගත් සිතින් යුතුව සප්ත බොජ්ඣංගයන් ඒ වූ අයුරින් ම දියුණු කොට කළු පැහැ නොවූ ත්, සුදු පැහැ නොවූ ත් නිර්වාණය උපදවයි. ආනන්දයෙනි, මෙසේ සුදු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ සුදු පැහැ නොවූ ත් කළු පැහැ නොවූ ත් නිර්වාණය උපදවන්නේ වෙයි.
ආනන්දයෙනි, මේ වනාහී සය වැදෑරුම් විශේෂ උපත් ය.
සාදු! සාදු!! සාදු!!!
ඡළාභිජාති සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M