මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක ආයුෂ්මත් මහා චුන්දයන් වහන්සේ චේති රට සහජාති නම් නියම්ගමෙහි වැඩවසන සේක. එකල්හී ආයුෂ්මත් මහාචුන්දයන් වහන්සේ “ආයුෂ්මත් මහණෙනි” යි භික්ෂූන් ඇමතූහ. “ආයුෂ්මතුන් වහන්සැ”යි ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා චුන්දයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් මහා චුන්දයන් වහන්සේ මෙය වදාළ සේක.
1. ආයුෂ්මත්නි, මෙහිලා ධර්මකථික භික්ෂූහු භාවනානුයෝගී භික්ෂූන් හෙළා දැක කතා කරත්. ‘මේ උදවිය වනාහී අපි දැහැන් වඩන්නෝ වෙමු. අපි දැහැන් වඩන්නෝ වෙමු යි සිතත්. එය ම සිත සිතා සිටිත්. මොවුහු කවර නම් ධ්‍යානයක් වඩත් ද? මොවුහු කුමක් පිණිස ධ්‍යාන කරත් ද? මොවුහු කෙසේ නම් ධ්‍යාන කරත් ද?’ යි. එහිලා ධර්මකථික භික්ෂූහු ත් නොපහදිති. භාවනානුයෝගී භික්ෂූහු ත් නොපහදිති. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙව්මිනිසුන්ට හිත සුව පිණිස නොපවතියි.
2. ආයුෂ්මත්නි, මෙහිලා භාවනානුයෝගී භික්ෂූහු ධර්මකථික භික්ෂූන් හෙළා දැක කතා කරත්. ‘මේ උදවිය වනාහී අපි ධර්මයෝගියෝ වෙමු. අපි ධර්මයෝගියෝ වෙමු යි උඩඟු ව, ඔසොවාගත් මාන නළ ඇති ව, චපල ව, මුඛරි ව, විසුරුණු වචන ඇති ව, මුලා වූ සිහි ඇති ව, නුවණ නැති ව, එකඟ සිත් නැති ව, භ්‍රාන්ත සිත් ඇති ව, නොදැමුණු ඉඳුරන් ඇති ව වසති. මොවුහු කවර නම් ධර්මයක් යෝග කරත් ද? මොවුහු කුමක් පිණිස ධර්ම යෝග කරත් ද? මොවුහු කෙසේ නම් ධර්ම යෝග කරත් ද?’ යි. එහිලා භාවනානුයෝගී භික්ෂූහු ත් නොපහදිති. ධර්මයෝගී භික්ෂූහු ත් නොපහදිති. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙව්මිනිසුන්ට හිත සුව පිණිස නොපවතියි.
3. ආයුෂ්මත්නි, මෙහිලා ධර්මකථික හෙවත් ධර්මයෝගී භික්ෂූහු ධර්මයෝගී භික්ෂූන්ගේ ම ගුණ කියති. ධ්‍යාන වඩන භික්ෂූන්ගේ ගුණ නොකියති. එහිලා ධර්මයෝගී භික්ෂූහු ත් නොපහදිති. ධ්‍යානවඩන භික්ෂූහු ත් නොපහදිති. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙව්මිනිසුන්ට හිත සුව පිණිස නොපවතියි.
4. ආයුෂ්මත්නි, මෙහිලා භාවනානුයෝගී හෙවත් ධ්‍යාන වඩන භික්ෂූහු ධ්‍යාන වඩන භික්ෂූන්ගේ ම ගුණ කියති. ධර්මයෝගී භික්ෂූන්ගේ ගුණ නොකියති. එහිලා ධ්‍යාන වඩන භික්ෂූහු ත් නොපහදිති. ධර්මයෝගී භික්ෂූහු ත් නොපහදිති. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙව්මිනිසුන්ට හිත සුව පිණිස නොපවතියි.
5. එහෙයින් ආයුෂ්මත්නි, මෙසේ හික්මිය යුත්තේ ය. ‘ධර්මයෝගී වූ අපි ධ්‍යාන වඩන භික්ෂූන්ගේ ගුණ කියන්නෙමු’ යි. ආයුෂ්මත්නි. ඔය අයුරින් ම ඔබ විසින් හික්මිය යුත්තේ ය. මක් නිසාද යත්, ආයුෂ්මත්නි, යම් කෙනෙක් අමෘත නිර්වාණ ධාතුව කයෙන් ස්පර්ශ කොට වසත් නම්, ඒ ධ්‍යාන වඩන පුද්ගලයෝ ලෝකයෙහි ආශ්චර්යවත් පුද්ගලයෝ ය. දුර්ලභ පුද්ගලයෝ ය.
6. එහෙයින් ආයුෂ්මත්නි, මෙසේ හික්මිය යුත්තේ ය. ‘ධ්‍යාන වඩන්නා වූ අපි ධර්මයෝගී භික්ෂූන්ගේ ගුණ කියන්නෙමු’ යි. ආයුෂ්මත්නි. ඔය අයුරින් ම ඔබ විසින් හික්මිය යුත්තේ ය. මක් නිසාද යත්, ආයුෂ්මත්නි, යම් කෙනෙක් ගැඹුරු අරුත් පද ප්‍රඥාවෙන් විනිවිද දකිත් නම්, ඒ ධර්මයෝගී පුද්ගලයෝ ලෝකයෙහි ආශ්චර්යවත් පුද්ගලයෝ ය. දුර්ලභ පුද්ගලයෝ ය.
සාදු! සාදු!! සාදු!!!
මහා චුන්ද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M