සැවැත් නුවර දී ය …..
“මහණෙනි, ලෝකයෙහි කම්සැප අනුභව කරන කෙනෙකුට දිළිඳු බව දුකක් ද?” “එසේ ය ස්වාමීනී.”
2. “මහණෙනි, යම් හෙයකින් තමාට ධනයක් නැති පොහොසත් නොවූ දිළින්දෙක් ජීවත් වීමට ණයක් ගන්නේ නම් මහණෙනි, ලෝකයෙහි කම්සැප අනුභව කරන කෙනෙකුට ණය ගැනීම ත් දුකක් ද?” “එසේ ය ස්වාමීනී.”
3. “මහණෙනි, යම් හෙයකින් තමාට ධනයක් නැති පොහොසත් නොවූ දිළින්දෙක් ජීවත් වීමට ණයක් ගෙන පොළිය වැඩී ඇති බව අසන්නට ලැබෙයි නම්, මහණෙනි, ලෝකයෙහි කම්සැප අනුභව කරන කෙනෙකුට ණයට පොළිය වැඩි වීම ත් දුකක් ද?” “එසේ ය ස්වාමීනී.”
4. “මහණෙනි, යම් හෙයකින් තමාට ධනයක් නැති පොහොසත් නොවූ දිළින්දෙක් ජීවත් වීමට ණයක් ගෙන පොළිය වැඩී ඇති බව අසා අදාළ කාලය තුළ පොළිය නොදෙයි නම්, ඔහුට චෝදනා කරයි නම්, මහණෙනි, ලෝකයෙහි කම්සැප අනුභව කරන කෙනෙකුට පොළීකාරයන්ගෙන් චෝදනා ලැබීම ත් දුකක් ද?” “එසේ ය ස්වාමීනී.”
5. “මහණෙනි, යම් හෙයකින් තමාට ධනයක් නැති පොහොසත් නොවූ දිළින්දෙක් පොළී ගෙවන්නැයි චෝදනා කරද්දී ත් නොදෙයි නම්, ඔහු පසුපස හඹා එයි නම්, මහණෙනි, ලෝකයෙහි කම්සැප අනුභව කරන කෙනෙකුගේ පසුපසින් ණයකරුවන් හඹා ඒම ත් දුකක් ද?” “එසේ ය ස්වාමීනී.”
6. “මහණෙනි, යම් හෙයකින් තමාට ධනයක් නැති පොහොසත් නොවූ දිළින්දෙක් ණයකරුවන් හඹා එද්දී ත් නොදෙයි නම්, ඔහු සිරගත කරත් නම්, මහණෙනි, ලෝකයෙහි කම්සැප අනුභව කරන කෙනෙකු සිරගත වීම ත් දුකක් ද?” “එසේ ය ස්වාමීනී.”
“මෙසේ මහණෙනි, ලෝකයෙහි කම්සැප අනුභව කරන කෙනෙකුට දිළිඳු බව ත් දුකකි. ලෝකයෙහි කම්සැප අනුභව කරන කෙනෙකුට ණය ගැනීම ත් දුකකි. ලෝකයෙහි කම්සැප අනුභව කරන කෙනෙකුට පොළිය වැඩිවීම ත් දුකකි. ලෝකයෙහි කම්සැප අනුභව කරන කෙනෙකුට චෝදනා ලැබීම ත් දුකකි. ලෝකයෙහි කම්සැප අනුභව කරන කෙනෙකුට ණයකරුවන් හඹා ඒම ත් දුකකි. ලෝකයෙහි කම්සැප අනුභව කරන කෙනෙකුට සිරගත වීම ත් දුකකි.
එසෙයින් ම මහණෙනි, යම්කිසිවෙකුට කුසල් දහම් පිළිබඳ ව ශ්‍රද්ධාව නැත්තේ ද, කුසල් දහම් පිළිබඳ ව හිරි නැත්තේ ද, කුසල් දහම් පිළිබඳ ව ඔත්තප්ප නැත්තේ ද, කුසල් දහම් පිළිබඳ ව වීර්යය නැත්තේ ද, කුසල් දහම් පිළිබඳ ව ප්‍රඥාව නැත්තේ ද, මහණෙනි, ආර්ය විනයෙහි මේ පුද්ගලයා තමා සතු ධනයක් නැති පොහොසත් නොවූ දිළින්දෙක් යැයි කියනු ලැබේ.
මහණෙනි, ඒ තමා සතු ධනය නැති පොහොසත් නොවූ දිළින්දා කුසල් දහම් පිළිබඳ ව ශ්‍රද්ධාව නැති කල්හී, කුසල් දහම් පිළිබඳ ව හිරි නැති කල්හී, කුසල් දහම් පිළිබඳ ව ඔතප් නැති කල්හී, කුසල් දහම් පිළිබඳ ව වීර්යය නැති කල්හී, කුසල් දහම් පිළිබඳ ව ප්‍රඥාව නැති කල්හී කයෙන් දුසිරිතෙහි හැසිරෙයි. චවනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. මනසින් දුසිරිතෙහි හැසිරෙයි. මෙය ඔහුගේ ණය ගැනීම යැයි කියමි.
ඔහු කයින් කරන ලද දුෂ්චරිතය වසා ගැනීම උදෙසා ලාමක ආශාවන් සිතේ ඇති කරගනියි. ‘මාව මෙලෙස නොදනීවා’ යි කැමති වෙයි. ‘මාව මෙලෙස නොදනීවා’ යි කල්පනා කරයි. ‘මාව මෙලෙස නොදනීවා’ යි වචන කියයි. ‘මාව මෙලෙස නොදනීවා’ යි කයින් වීර්යය කරයි. ඔහු වචනයෙන් කරන ලද දුෂ්චරිතය වසා ගැනීම උදෙසා ….(පෙ)… ඔහු මනසින් කරන ලද දුෂ්චරිතය වසා ගැනීම උදෙසා ලාමක ආශාවන් සිතේ ඇති කරගනියි. ‘මාව මෙලෙස නොදනීවා’ යි කැමති වෙයි. ‘මාව මෙලෙස නොදනීවා’ යි කල්පනා කරයි. ‘මාව මෙලෙස නොදනීවා’ යි වචන කියයි. ‘මාව මෙලෙස නොදනීවා’යි කයින් වීර්යය කරයි. මෙය ඔහුගේ ණයට පොළී වැඩිවීම යැයි කියමි.
සුපේශල සබ්‍රහ්මචාරීහු ඔහුට මෙසේ පවසති. ‘ඒ මේ ආයුෂ්මත් තෙමේ මෙබඳු දේ කරන්නේ ය. මෙබඳු සමාචාර ඇත්තේ ය’ යනුවෙනි. මෙය ඔහුට චෝදනා කිරීම යැයි කියමි.
අරණ්‍යයකට ගියේ හෝ රුක් සෙවණකට ගියේ හෝ ශූන්‍යාගාරයකට ගියේ හෝ විපිළිසර සහගත පාපී අකුසල විතර්කයෝ ඔහු වෙලා ගනිති. මේ ඔහු පසුපස ලුහුබැඳීම යැයි කියමි.
මහණෙනි, තමා සතු ධනයක් නැති, පොහොසත් නොවූ, ඒ දිළිඳු තැනැත්තා කයින් දුසිරිතෙහි හැසිර, වචනයෙන් දුසිරිතෙහි හැසිර, මනසින් දුසිරිතෙහි හැසිර කය බිඳී මරණින් මතු නිරය නම් වූ සිරගෙහි හෝ බැඳෙන්නේ ය. තිරිසන් යෝනිය නම් වූ සිරගෙහි හෝ බැඳෙන්නේ ය.
මහණෙනි, අනුත්තර වූ යෝගක්ඛේම නම් වූ නිවන් අවබෝධය පිණිස මේ සා දරුණු වූ, මේ සා කටුක වූ, මේ සා අන්තරායකර වූ අන්‍ය වූ එක දෙයක් වත් මම නොදකිමි. එනම් මේ නිරය බන්ධනය හෝ තිරිසන් යෝනි බන්ධනය යි.
(ගාථා)
ලෝකයෙහි දිළිඳු බව ත්, ණය ගැනීම ත් දුකකැයි කියනු ලැබේ. දිළින්දෙක් ණය ගෙන අනුභව කරන්නේ නම් එයින් වැනසී යයි.
ඒ හේතුවෙන් ඔහු පසුපස ණයකරුවෝ ලුහු බඳිති. බන්ධනයට ත් හසුවෙති. කාමලාභය පතන්නහුගේ මේ බන්ධනය වනාහී දුකක් ම ය.
එසෙයින් ම ආර්ය විනයෙහි යමෙකුට ශ්‍රද්ධා නැද්ද, හිරි නැද්ද, ඔතප් නැද්ද, පාප කර්මයන් පිළිබඳ ව වටහා ගැනීමක් නැද්ද,
කාය දුෂ්චරිතය කොට, වචී දුෂ්චරිතය ත් කොට, මනෝ දුෂ්චරිතය ද කොට මාව කිසිවෙක් නොදනීවා යි කැමති වෙයි.
ඒ තැනැත්තා කයෙන්, වචනයෙන් හා චේතනාවෙන් වක්‍ර කර්මයන් කොට ඒ ඒ තන්හි යළි යළි ත් පාප කර්මයෙන් වැඩෙන්නේ,
දුෂ්ප්‍රාඥ වූ පාපකර්ම ඇති ඒ තැනැත්තා තමන්ගේ අකුසල කර්මයන් දනිමින් දිළිඳු වූයේ ණයට ගෙන අනුභව කරමින් වැනසෙයි.
ඒ හේතුවෙන් දුක් සහිත වූ මානසික කල්පනාවෝ ඔහු හඹා එති. ගමකට හෝ අරණ්‍යයකට හෝ ගිය විට ඒ විපිළිසරයෙන් හටගත් සිතුවිලි හඹා එයි.
ඒ දුෂ්ප්‍රාඥ වූ පාපකර්ම ඇති තැනැත්තා තමාගේ අකුසල කර්මයන් දන්නේ එක්තරා තිරිසන් යෝනියකට හෝ ගොස් නිරයේ හෝ ගොස් බැඳෙයි. යම් බන්ධනයකින් නුවණැත්තා නිදහස් වෙයි නම් ඒ බන්ධනය වනාහී දුකක් ම ය.
ධාර්මික ව උපයා සපයා ගත් භෝගයන්ගෙන් සිත පහදවාගෙන දන් දෙයි ද, ගිහි ගෙයි වසන එබඳු සැදැහැවතුන්ගේ දෙලොව ම ජය ඇත්තේ ය.
මෙලොවෙහි හිත පිණිස ද, පරලොවෙහි සැප පිණිස ද, මෙසේ ගිහිගෙයි වසන්නවුන්ගේ ත්‍යාගය ත්, පින ත් වැඩෙයි.
එසෙයින් ම ආර්ය විනයෙහි යමෙකු තුළ ශ්‍රද්ධාව පිහිටා ඇත්තේ ද, හිරි ඔතප් දෙක ත්, ප්‍රඥාව ත්, සීල සංවරය ත් ඇත්තේ ද,
ආර්ය විනයෙහි මේ තැනැත්තා සැප සේ ජීවත් වන්නේ යැයි කියනු ලැබේ. නිරාමිස වූ තුන් ධ්‍යාන සුවය ද ලැබ සිව්වෙනි ධ්‍යානයෙන් උපේක්ෂාව ද ලබයි.
පංච නීවරණයන් බැහැර කොට නිතර අරඹන ලද වීර්යය ඇති ව, අවස්ථාවෝචිත ප්‍රඥාවෙන් යුතුව, සිහියෙන් යුතුව, ඒකාග්‍ර සිත් ඇති ව ධ්‍යානයන්ට සමවදින්නේ ය.
මෙසේ ඒ වූ සැටියෙන් ම අවබෝධ කොට සියළු සංයෝජනයන් ක්ෂය වීමෙන් හැම අයුරින් උපාදාන රහිත ව මනාකොට කෙලෙසුන්ගෙන් සිත නිදහස් වෙයි.
මැනැවින් මිදුණු සිත් ඇත්තහුට ඥානය ද ඇත්තේ ය. ඒ රහතුන් හට මාගේ චිත්ත විමුක්තිය නොවෙනස් වන්නේ යැයි, භව සංයෝජනයන් ක්ෂය වීම ගැන අවබෝධ ඥානය ඇත්තේ ය.
මෙය වනාහී උතුම් ම ඥානය යි. මෙය අනුත්තර සුඛය යි. ශෝක රහිත වූ, කෙලෙස් රහිත වූ, ක්ෂේම නම් වූ මේ අරහත් ඵලය උතුම් ණය නැති භාවය යි.
සාදු! සාදු!! සාදු!!!
ඉණ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M