සැවැත් නුවර දී ය…….
එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවාගෙන පාත්‍රය හා සිවුර ගෙන මිගසාලා උපාසිකාවගේ නිවස යම් තැනක ඇද්ද, එතැනට වැඩියහ. වැඩමකොට පණවන ලද අසුනෙහි හිඳගත්හ. එකල්හී මිගසාලා උපාසිකාව ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වෙත පැමිණියා ය. පැමිණ ආයුෂ්මත් ආනන්දයන් හට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තා ය. එකත්පස් ව හුන් මිගසාලා උපාසිකාව ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙකරුණ සැළකළා ය.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද මේ ධර්මය කෙසේ කෙසේ නම් තේරුම් ගන්නේ ද? එනම්, බ්‍රහ්මචාරී කෙනා ත් අබ්‍රහ්මචාරී කෙනා ත් දෙදෙනා ම මරණින් මතු සම සම අයුරින් උපදිත් නම් ඒ කෙසේ ද?
ස්වාමීනී, පුරාණ නම් මපියාණෝ ලාමක දෙයක් වූ මෛථූන සේවනයෙන් වැළකී බ්‍රහ්මචාරී ව වාසය කළෝ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ හේ සකදාගාමී ව සිටියේ කළුරිය කළේ තුසිත දෙව් නිකායෙහි උපන් බව යි. ස්වාමීනී, මාගේ සුළු පියාණන් වන ඉසිදත්ත තෙමේ සිය බිරිඳගෙන් සතුටු වෙමින් අබ්‍රහ්මචාරී ව වාසය කළේ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ හේ ද සකදාගාමී ව සිටියේ කළුරිය කළේ තුසිත දෙව් නිකායෙහි උපන් බව යි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද මේ ධර්මය කෙසේ කෙසේ නම් තේරුම් ගන්නේ ද? එනම්, බ්‍රහ්මචාරී කෙනා ත් අබ්‍රහ්මචාරී කෙනා ත් දෙදෙනා ම මරණින් මතු සම සම අයුරින් උපදිත් නම් ඒ කෙසේ ද?”
“සොයුරිය, භාග්‍යවතුන් වහන්සේ ඔය කරුණ වදාරණ ලද්දේ ද, එය එපරිදි ම වෙයි.”
ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ මිගසාලා උපාසිකාවගේ නිවසින් පිණ්ඩපාතය ගෙන අසුනෙන් නැගී පිටත් ව ගියහ. එවිට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකී භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළහ.
“ස්වාමීනී, මම් පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවාගෙන පාත්‍රය හා සිවුර ගෙන මිගසාලා උපාසිකාවගේ නිවස යම් තැනක ඇද්ද, එතැනට ගියෙමි. ගොස් පණවන ලද අසුනෙහි හිඳගතිමි. එකල්හී මිගසාලා උපාසිකාව මා වෙත පැමිණියා ය. පැමිණ මා හට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තා ය. එකත්පස් ව හුන් මිගසාලා උපාසිකාව මට මෙකරුණ සැළකළා ය.
‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද මේ ධර්මය කෙසේ කෙසේ නම් තේරුම් ගන්නේ ද? එනම්, බ්‍රහ්මචාරී කෙනා ත් අබ්‍රහ්මචාරී කෙනා ත් දෙදෙනා ම මරණින් මතු සම සම අයුරින් උපදිත් නම් ඒ කෙසේ ද?
ස්වාමීනී, පුරාණ නම් මපියාණෝ ලාමක දෙයක් වූ මෛථූන සේවනයෙන් වැළකී බ්‍රහ්මචාරී ව වාසය කළෝ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ හේ සකදාගාමී ව සිටියේ කළුරිය කළේ තුසිත දෙව් නිකායෙහි උපන් බවයි. ස්වාමීනී, මාගේ සුළු පියාණන් වන ඉසිදත්ත තෙමේ සිය බිරිඳගෙන් සතුටු වෙමින් අබ්‍රහ්මචාරී ව වාසය කළේ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ හේ ද සකදාගාමී ව සිටියේ කළුරිය කළේ තුසිත දෙව් නිකායෙහි උපන් බවයි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද මේ ධර්මය කෙසේ කෙසේ නම් තේරුම් ගන්නේ ද? එනම්, බ්‍රහ්මචාරී කෙනා ත් අබ්‍රහ්මචාරී කෙනා ත් දෙදෙනා ම මරණින් මතු සම සම අයුරින් උපදිත් නම් ඒ කෙසේ ද?’ යි.
ස්වාමීනි, එසේ කී කල්හී මම මිගසාලා උපාසිකාවට මෙසේ පැවසුවෙමි. ‘සොයුරිය, භාග්‍යවතුන් වහන්සේ ඔය කරුණ වදාරණ ලද්දේ ද, එය එපරිදි ම වෙයි.”
“ආනන්දය, බාල වූ, අව්‍යක්ත වූ, බොළඳ වූ, බොළඳ ප්‍රඥා ඇති මිගසාලා උපාසිකාව කවුද? පුරුෂ පුද්ගලයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රියාත්මක වන අයුරු දකිනා ඥානයෙන් යුතු තැනැත්තා කවුද?
ආනන්දය, ලෝකයෙහි මේ පුද්ගලයෝ සය දෙනෙක් විද්‍යමාන ව සිටිති. ඒ කවර සය දෙනෙක් ද යත්;
1. ආනන්දය, මෙහිලා එක්තරා පුද්ගලයෙක් සිල් ගුණයෙන් යුක්ත ව සැප සේ එකට වාසය කරයි. සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඔහු සමඟ එකට වාසය කිරීමෙන් සතුටු වෙති. ඔහු විසින් එය ශ්‍රවණයෙන් නොඅසන ලද්දේ වෙයි. බහුශ්‍රැතභාවයකිනුත් නොලැබුවේ වෙයි. දෘෂ්ටියකිනුත් වටහා නොගන්නා ලද්දේ වෙයි. ධර්මය තුළින් ලැබෙන විමුක්තියක් නොලැබුවේ වෙයි. හේ කය බිඳී මරණින් මතු පිරිහීම කරා යයි. විශේෂත්වයක් කරා නොයයි. පිරිහී යන්නේ ම වෙයි. විශේෂයක් කරා නොයන්නේ වෙයි.
2. ආනන්දය, මෙහිලා එක්තරා පුද්ගලයෙක් සිල් ගුණයෙන් යුක්ත ව සැප සේ එකට වාසය කරයි. සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඔහු සමඟ එකට වාසය කිරීමෙන් සතුටු වෙති. ඔහු විසින් එය ශ්‍රවණයෙන් අසන ලද්දේ වෙයි. බහුශ්‍රැතභාවයකිනුත් ලැබුවේ වෙයි. දෘෂ්ටියකිනුත් වටහා ගන්නා ලද්දේ වෙයි. ධර්මය තුළින් ලැබෙන විමුක්තියක් ලැබුවේ වෙයි. හේ කය බිඳී මරණින් මතු විශේෂත්වයක් කරා යයි. පිරිහීමක් කරා නොයයි. විශේෂයක් කරා යන්නේ ම වෙයි. පිරිහීමක් කරා නොයන්නේ වෙයි.
එහිලා නොයෙක් මිමි වලින් මනින්නෝ මැන බලති. එනම් ‘මොහු තුළත් ඒ ධර්මයෝ ම තිබෙත්. අසවලා තුළත් එම ධර්මයෝ ම තිබෙත්. කවර කරුණක් නිසා ද ඔවුන් අතුරෙන් කෙනෙක් පහත් වන්නේ, තව කෙනෙක් උසස් වන්නේ’ යි. ආනන්දය, මේ අයුරින් මනින්නට යෑමෙන් ඔවුන්ට එය බොහෝ කල් අහිත පිණිස ත්, දුක් පිණිස ත් පවතියි.
ආනන්දය, කලින් පැවසූ දෙදෙනාගෙන් එක්තරා පුද්ගලයෙක් සිල් ගුණයෙන් යුක්ත ව සැප සේ එකට වාසය කරයි ද, සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඔහු සමඟ එකට වාසය කිරීමෙන් සතුටු වෙත් ද, ඔහු විසින් එය ශ්‍රවණයෙන් අසන ලද්දේ ය, බහුශ්‍රැතභාවයකිනුත් ලැබුවේ ය, දෘෂ්ටියකිනුත් වටහා ගන්නා ලද්දේ ය, ධර්මය තුළින් ලැබෙන විමුක්තියක් ලැබුවේ ය. ආනන්දය, මේ පුද්ගලයා මුලින් ම පැවසූ පුද්ගලයාට වඩා යහපත් වෙයි. උසස් ද වෙයි. එයට හේතුව කුමක්ද? ආනන්දය, ධර්ම මාර්ගය විසින් ඒ පුද්ගලයා ව යහපතට පමුණුවන ලද්දේ ය. මොවුන්ගේ වෙනස තථාගතයන් හැර වෙන කවුරු නම් දනිත් ද?
එහෙයින් ආනන්දය, පුද්ගලයන් පිළිබඳ ව මනින්නට යාමෙන් වළකිව්. පුද්ගලයන් පිළිබඳ ව මැනීමකට යන්නට එපා. ආනන්දය, පුද්ගලයෙක් අන්‍ය පුද්ගලයන් පිළිබඳ ව මැනීමකින් ගන්නට යන විට ඒ පුද්ගලයන්ගේ ගුණ සාරා දමන්නේ ය. ආනන්දය, මම් හෝ පුද්ගලයන් පිළිබඳ ව මිම්මක් ගන්නෙමි. එසේ නැතිනම් මා වැනි වෙනත් කෙනෙකු හෝ කළ යුත්තේ ය.
3. ආනන්දය, මෙහිලා එක්තරා පුද්ගලයෙක් ක්‍රෝධයෙන් හා මාන්නයෙන් යුක්ත වූයේ වෙයි. ඔහු තුළ කලින් කලට ලෝභ සහගත දේ උපදියි. ඔහු විසින් එය ශ්‍රවණයෙන් නොඅසන ලද්දේ වෙයි. බහුශ්‍රැතභාවයකිනුත් නොලැබුවේ වෙයි. දෘෂ්ටියකිනුත් වටහා නොගන්නා ලද්දේ වෙයි. ධර්මය තුළින් ලැබෙන විමුක්තියක් නොලැබුවේ වෙයි. හේ කය බිඳී මරණින් මතු පිරිහීම කරා යයි. විශේෂත්වයක් කරා නොයයි. පිරිහී යන්නේ ම වෙයි. විශේෂයක් කරා නොයන්නේ වෙයි.
4. ආනන්දය, මෙහිලා එක්තරා පුද්ගලයෙක් ක්‍රෝධයෙන් හා මාන්නයෙන් යුක්ත වූයේ වෙයි. ඔහු තුළ කලින් කලට ලෝභ සහගත දේ උපදියි. ඔහු විසින් එය ශ්‍රවණයෙන් අසන ලද්දේ වෙයි. ….(පෙ)…. පිරිහීමක් කරා නොයන්නේ වෙයි.
එහිලා නොයෙක් මිමි වලින් මනින්නෝ මැන බලති. ….(පෙ)…. ආනන්දය, මම් හෝ පුද්ගලයන් පිළිබඳ ව මිම්මක් ගන්නෙමි. එසේ නැතිනම් මා වැනි වෙනත් කෙනෙකු හෝ කළ යුත්තේ ය.
5. ආනන්දය, මෙහිලා එක්තරා පුද්ගලයෙක් ක්‍රෝධයෙන් හා මාන්නයෙන් යුක්ත වූයේ වෙයි. ඔහු තුළ කලින් කලට අනවශ්‍ය කතාබහ උපදියි. ඔහු විසින් එය ශ්‍රවණයෙන් නොඅසන ලද්දේ වෙයි. බහුශ්‍රැතභාවයකිනුත් නොලැබුවේ වෙයි. දෘෂ්ටියකිනුත් වටහා නොගන්නා ලද්දේ වෙයි. ධර්මය තුළින් ලැබෙන විමුක්තියක් නොලැබුවේ වෙයි. හේ කය බිඳී මරණින් මතු පිරිහීම කරා යයි. විශේෂත්වයක් කරා නොයයි. පිරිහී යන්නේ ම වෙයි. විශේෂයක් කරා නොයන්නේ වෙයි.
6. ආනන්දය, මෙහිලා එක්තරා පුද්ගලයෙක් ක්‍රෝධයෙන් හා මාන්නයෙන් යුක්ත වූයේ වෙයි. ඔහු තුළ කලින් කලට අනවශ්‍ය කතාබහ උපදියි. ඔහු විසින් එය ශ්‍රවණයෙන් අසන ලද්දේ වෙයි. බහුශ්‍රැතභාවයකිනුත් ලැබුවේ වෙයි. දෘෂ්ටියකිනුත් වටහා ගන්නා ලද්දේ වෙයි. ධර්මය තුළින් ලැබෙන විමුක්තියක් ලැබුවේ වෙයි. හේ කය බිඳී මරණින් මතු විශේෂත්වයක් කරා යයි. පිරිහීමක් කරා නොයයි. විශේෂයක් කරා යන්නේ ම වෙයි. පිරිහීමක් කරා නොයන්නේ වෙයි.
එහිලා නොයෙක් මිමි වලින් මනින්නෝ මැන බලති. එනම් ‘මොහු තුළත් ඒ ධර්මයෝ ම තිබෙත්. අසවලා තුළත් එම ධර්මයෝ ම තිබෙත්. කවර කරුණක් නිසා ද ඔවුන් අතුරෙන් කෙනෙක් පහත් වන්නේ, තව කෙනෙක් උසස් වන්නේ’ යි. ආනන්දය, මේ අයුරින් මනින්නට යෑමෙන් ඔවුන්ට එය බොහෝ කල් අහිත පිණිස ත්, දුක් පිණිස ත් පවතියි.
ආනන්දය, කලින් පැවසූ දෙදෙනාගෙන් එක්තරා පුද්ගලයෙක් ක්‍රෝධයෙන් හා මාන්නයෙන් යුක්ත වූයේ වෙයි ද, ඔහු තුළ කලින් කලට අනවශ්‍ය කතාබහ උපදියි ද, ඔහු විසින් එය ශ්‍රවණයෙන් අසන ලද්දේ ය, බහුශ්‍රැතභාවයකිනුත් ලැබුවේ ය, දෘෂ්ටියකිනුත් වටහා ගන්නා ලද්දේ ය, ධර්මය තුළින් ලැබෙන විමුක්තියක් ලැබුවේ ය. ආනන්දය, මේ පුද්ගලයා මුලින් ම පැවසූ පුද්ගලයාට වඩා යහපත් වෙයි. උසස් ද වෙයි. එයට හේතුව කුමක්ද? ආනන්දය, ධර්ම මාර්ගය විසින් ඒ පුද්ගලයා ව යහපතට පමුණුවන ලද්දේ ය. මොවුන්ගේ වෙනස තථාගතයන් හැර වෙන කවුරු නම් දනිත් ද?
එහෙයින් ආනන්දය, පුද්ගලයන් පිළිබඳ ව මනින්නට යාමෙන් වළකිව්. පුද්ගලයන් පිළිබඳ ව මැනීමකට යන්නට එපා. ආනන්දය, පුද්ගලයෙක් අන්‍ය පුද්ගලයන් පිළිබඳ ව මැනීමකින් ගන්නට යන විට ඒ පුද්ගලයන්ගේ ගුණ සාරා දමන්නේ ය. ආනන්දය, මම් හෝ පුද්ගලයන් පිළිබඳ ව මිම්මක් ගන්නෙමි. එසේ නැතිනම් මා වැනි වෙනත් කෙනෙකු හෝ කළ යුත්තේ ය.
ආනන්දය, බාල වූ, අව්‍යක්ත වූ, බොළඳ වූ, බොළඳ ප්‍රඥා ඇති මිගසාලා උපාසිකාව කවුද? පුරුෂ පුද්ගලයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රියාත්මක වන අයුරු දකිනා ඥානයෙන් යුතු තැනැත්තා කවුද?
ආනන්දය, ලෝකයේ විද්‍යමාන ව සිටින පුද්ගලයෝ සය දෙනා මොවුහු ය. ආනන්දය, යම්බඳු වූ සීලයකින් පුරාණ තෙමේ සමන්විත වූයේ ද, එබඳු වූ සීලයකින් ඉසිදත්තයන් ද සමන්විත වූයේ නම්, මෙහිලා පුරාණ තෙමේ ඉසිදත්තයන් ගිය මග වත් නොදන්නේ ය. ආනන්දය, යම්බඳු වූ ප්‍රඥාවෙකින් ඉසිදත්ත තෙමේ සමන්විත වූයේ ද, එබඳු වූ ප්‍රඥාවකින් පුරාණ ද සමන්විත වූයේ නම්, මෙහිලා ඉසිදත්ත තෙම් පුරාණයන් ගිය මග වත් නොදන්නේ ය. ආනන්දය, මේ පුද්ගලයන් දෙදෙනා එක් එක් අංගයකින් දුර්වල ව සිටියහ.”
සාදු! සාදු!! සාදු!!!
මිගසාලා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-5-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M