එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය හා සිවුර ගෙන සැවැත් නුවරට පිඬු පිණිස පිවිසි සේක. සැවැත් නුවර පිණ්ඩපාතයෙහි වැඩම කොට පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකී පෙරළා වැඩම කොට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.
“යමු ආනන්දයෙනි, පූර්වාරාමය නම් වූ මිගාරමාතු ප්‍රාසාදය කරා දිවාවිහරණය පිණිස එළඹෙමු.”
“එසේ ය ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සමඟ පූර්වාරාමය නම් වූ මිගාරමාතු ප්‍රාසාදය කරා වැඩි සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.
“යමු ආනන්දයෙනි, පූර්වකොට්ඨක නම් වූ නහනතොට කරා පැන්පහසු වීම පිණිස යමු.”
“එසේ ය ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සමඟ පූර්වකොට්ඨක නම් වූ නහනතොට කරා පැන්පහසු වීම පිණිස වැඩිසේක. පූර්වකොට්ඨකයෙහි පැන්පහසු වී ගොඩ වී අඳන සිවුර ඇති ව සිරුරෙහි තෙත සිඳවමින් වැඩසිටි සේක.
එසමයෙහි පසේනදී කෝසල රජුගේ ශ්වේත නම් වූ හස්තිරාජයා මහා තූර්ය තාලම් ආදී වාද්‍යයෙන් යුක්ත ව පූර්වකොට්ඨකයෙන් ගොඩට එයි. එය දුටු ජනයා මෙසේ පවසයි.
‘භවත්නි, ඒකාන්තයෙන් රජුගේ හස්තිනාගයා ඉතා රූපවත් නොවැ. භවත්නි, ඒකාන්තයෙන් රජුගේ හස්තිනාගයා ඉතා දර්ශනීය නොවැ. භවත්නි, ඒකාන්තයෙන් රජුගේ හස්තිනාගයා දුටුවන් පහදනවා නොවැ. භවත්නි, ඒකාන්තයෙන් රජුගේ හස්තිනාගයා පිරිපුන් කයින් යුක්ත නොවැ’ යි.
මෙසේ ජනයා පැවසූ කල්හී ආයුෂ්මත් උදායී තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, ආරෝහපරිනාහයෙන් යුතු පිරිපුන් සිරුරක් ඇති හස්තිරාජයෙකුම දැකීමෙන් ජනයා මෙසේ කියන්නේ ද? එනම් ‘භවත්නි, ඒකාන්තයෙන් ම මේ ශ්‍රේෂ්ඨ සත්වයා නාගයෙකි’ යි. එසේ නැතහොත් වෙනත් ආරෝහපරිනාහ සම්පන්න පිරිපුන් සිරුරු ඇති සත්වයෙකුත් දැක ‘භවත්නි, ඒකාන්තයෙන් ම මේ ශ්‍රේෂ්ඨ සත්වයා නාගයෙකි’ යි කියන්නේ ද?”
“උදායී, ආරෝහපරිනාහයෙන් යුතු පිරිපුන් සිරුරක් ඇති හස්තිරාජයෙකුත් දැක ජනයා මෙසේ කියන්නේ ය. එනම් ‘භවත්නි, ඒකාන්තයෙන් ම මේ ශ්‍රේෂ්ඨ සත්වයා නාගයෙකි’ යි. එසේ ම උදායී, අශ්වයෙකුත් දැක ….(පෙ)…. එසේ ම උදායී, ගවයෙකුත් දැක ….(පෙ)…. එසේ ම උදායී, උරගයෙකුත් දැක ….(පෙ)…. එසේ ම උදායී, වෘක්ෂයකුත් දැක ….(පෙ)…. එසේ ම උදායී, ආරෝහ පරිනාහයෙන් යුතු පිරිපුන් සිරුරක් ඇති මිනිසෙකුත් දැක ජනයා මෙසේ කියන්නේ ය. එනම් ‘භවත්නි, ඒකාන්තයෙන් ම මේ ශ්‍රේෂ්ඨ සත්වයා නාගයෙකි’ යි. වැලිදු උදායී, යමෙක් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි කයෙන්, වචනයෙන්, මනසින් අකුසල් නොකරයි ද, මම ඔහු ශ්‍රේෂ්ඨ සත්වයා හෙවත් නාගයා යැයි කියමි.”
“ස්වාමීනී, ආශ්චර්යයකි! ස්වාමීනී, අද්භූතයෙකි! ‘වැලිදු උදායී, යමෙක් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි කයෙන්, වචනයෙන්, මනසින් අකුසල් නොකරයි ද, මම ඔහු ශ්‍රේෂ්ඨ සත්වයා හෙවත් නාගයා යැයි කියමි’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ මොනතරම් සුභාෂිතයක් ද? ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ මේ සුභාෂිතය මම මේ ගාථාවන්ගෙන් අනුමෝදන් වෙමි.
(ගාථා)
මනුෂ්‍ය වූ ම සම්බුදුරජහු තමන්වහන්සේ දමනය වූ සේක්, සමාහිත වූ සේක්, බ්‍රහ්මපථය නම් වූ ශ්‍රේෂ්ඨ මගෙහි වැඩවසන සේක්, සිත සංසිඳවීමෙහි ඇලී සිටින සේක.
සියළු ධර්මයන්ගෙන් පරතෙරට වැඩි ඒ ශ්‍රේෂ්ඨ බුදුරජුන් දැක මිනිස්සු වන්දනා කරති. අරහත් වූ බුදුරජුන්ගෙන් මා විසින් අසන ලද්දේ උන්වහන්සේට දෙවියෝ පවා වන්දනා කරති යි යන කරුණ යි.
සියළු සංයෝජනයන් ඉක්මවා ගිය කෙලෙස් වනයෙන් නිවනට පැමිණි කාමයන්ගෙන් නික්ම ගිය නෙක්ඛම්මයෙහි ඇලී වසන සම්බුදුරජුන් ගල් පර්වතයකින් ගිලිහී වැටෙන රනක් සෙයින් බබලන සේක.
අන්‍ය පර්වතයන් ඉක්මවා දිලෙන හිමවත් පව්ව සෙයින් බුද්ධ නම් වූ නාග තෙමේ නාග යන නම් ඇති සියල්ලන් අතුරින් සත්‍ය නාම වූ බුදුරජ අනුත්තර වන සේක.
ඔබවහන්සේට මම නාගයා යැයි ගුණ කියන්නෙමි. ඒ ශ්‍රේෂ්ඨ සත්ව තෙමේ කිසි අකුසලයක් නොකරයි. පිරිසිදු සිල්ගුණයෙන් යුතු සුරත භාවයෙන් ද, කරුණාවෙන් යුතු අහිංසාවෙන් ද ඒ ශ්‍රේෂ්ඨ නාගයාගේ ඉදිරි දෙපා සමන්විත වෙයි.
ධුතාංගයෙන් යුතු තපසින් ද, උතුම් බඹසරින් ද ඒ ශ්‍රේෂ්ඨ නාගයාගේ පසු දෙපා සමන්විත වෙයි. ඒ මහා නාග තෙමේ ශ්‍රද්ධාව නැමැති සොඬ ඇත්තේ ය. උපේක්ෂාව නැමැති සුදු දළ ඇත්තේ ය.
ඒ මහා නාගයාගේ සතිය නැමැති ගෙල ඇත්තේ ය. ප්‍රඥාව නැමැති සිරස ඇත්තේ ය. දහම් විමසීම නැමැති සොඬ අග ඇත්තේ ය. ධර්මය නැමැති කුස ඇත්තේ ය. විවේකය නැමැති වලිගයක් ද ඔහුට ඇත්තේ ය.
ඒ මහා නාග තෙමේ ධ්‍යාන වඩයි. ආධ්‍යාත්මයෙහි මැනැවින් සංසිඳී ආශ්වාසයෙහි ඇලී සිටියි. ඒ නාග තෙමේ සමාහිත සිතින් යන්නේ ය. ඒ නාග තෙමේ සමාහිත සිතින් සිටින්නේ ය.
සැතපුණේ ද නාග තෙමේ සමාහිත සිත් ඇත්තේ ය. හිඳින්නේ ද සමාහිත සිත් ඇත්තේ ය. හැම තැන්හි ම නාග තෙමේ සංවර ව සිටින්නේ ය. මෙය නාගයාගේ පරිපූර්ණ බව යි.
හේ නිවැරදි දෙයක් වළඳයි. වැරදි දෙයක් නොවළඳයි. ආහාර වස්ත්‍ර ආදිය ලැබ එහි රැස් කොට තැබීම දුරලයි.
කුඩා මහත් සියළු සංයෝජනයන්, බන්ධනයන් සිඳ දමා යම් යම් දිශාවකට යයි ද, අපේක්ෂාවක් නැති ව ම යයි.
ජලයෙහි උපන් සුදු නෙළුම වැඩෙන්නේ යම් සේ ද, මනා සුවඳින් යුතුව මනෝරම්‍ය වූ ඒ සුදු නෙළුම දියෙහි නොතැවරී තිබෙන්නේ යම් සේ ද,
එසෙයින් ම ලොවෙහි සුජාත උපතක් ලද බුදුරජාණෝ නොඇලී සිටින සේක. දියෙහි නොතැවරී පිපී දිලෙන පියුමක් සෙයින් ලොව හා නොතැවරී සිටින සේක.
දැල්වුණු මහා ගින්න ආහාර රහිත ව නිවී යයි ද, එසෙයින් ම සංස්කාරයන් සංසිඳී ගිය කල්හී නිවුණේ යැයි කියනු ලැබේ.
අරුත් මතුවෙන මේ උපමාව නුවණැත්තන් විසින් දෙසන ලද්දේ ය. උදායී තෙර නම් නාගයා විසින් දෙසන ලද බුද්ධ නම් නාගයා පිළිබඳ ව අවශේෂ ඛීණාශ්‍රව නාගයෝ දන්නාහ.
වීතරාගී වූ, වීතදෝෂී වූ, වීතමෝහී වූ, අනාශ්‍රව වූ නාග තෙමේ සිරුර අත්හරිමින් අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවෙන්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
නාග සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M