සැවැත් නුවර දී ය …..
එකල්හී ජාණුස්සෝණි බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව හිඳ ගත්තේ ය. එකත්පස් ව හුන් ඒ ජාණුස්සෝණි බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“භවත් ගෞතමයන් වහන්ස, ක්ෂත්‍රියවරු කවර අදහස් ඇත්තහු ද? කවර සෙවීම් ඇත්තහු ද? කවර ප්‍රාර්ථනා ඇත්තහු ද? කුමකට නැමුණු සිත් ඇත්තහු ද? කවර අවසාන ඉලක්කයක් ඇත්තහු ද?
ඛත්තියා ඛෝ බ්‍රාහ්මණ භෝගාධිප්පායා, පඤ්ඤූපවිචාරා, බලාධිට්ඨානා, පඨවිභිනිවේසා, ඉස්සරියපරියෝසානාති.
“බ්‍රාහ්මණය, ක්ෂත්‍රියයෝ භෝග සම්පත් රැස් කිරීම අදහස් කොට ඇත්තෝ ය. ප්‍රඥාව සෙවීමට ආශා ඇත්තෝ ය. බලවත් වීම පැතුම් කොට ඇත්තෝ ය. පොළොවේ අධිපති බවට නැමුණු සිත් ඇත්තෝ ය. රාජාභිෂේකය අවසාන ඉලක්කය කොට ඇත්තෝ ය.”
2. “භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණවරු කවර අදහස් ඇත්තහු ද? කවර සෙවීම් ඇත්තහු ද? කවර ප්‍රාර්ථනා ඇත්තහු ද? කුමකට නැමුණු සිත් ඇත්තහු ද? කවර අවසාන ඉලක්කයක් ඇත්තහු ද?”
“බ්‍රාහ්මණය, බ්‍රාහ්මයෝ භෝග සම්පත් රැස් කිරීම අදහස් කොට ඇත්තෝ ය. ප්‍රඥාව සෙවීමට ආශා ඇත්තෝ ය. මන්ත්‍ර ලැබීම පැතුම් කොට ඇත්තෝ ය. යාගයට නැමුණු සිත් ඇත්තෝ ය. බඹලොව ඉපදීම අවසාන ඉලක්කය කොට ඇත්තෝ ය.”
3. “භවත් ගෞතමයන් වහන්ස, ගෘහපතිවරු කවර අදහස් ඇත්තහු ද? කවර සෙවීම් ඇත්තහු ද? කවර ප්‍රාර්ථනා ඇත්තහු ද? කුමකට නැමුණු සිත් ඇත්තහු ද? කවර අවසාන ඉලක්කයක් ඇත්තහු ද?”
“බ්‍රාහ්මණය, ගෘහපතියෝ භෝග සම්පත් රැස් කිරීම අදහස් කොට ඇත්තෝ ය. ප්‍රඥාව සෙවීමට ආශා ඇත්තෝ ය. ශිල්ප දියුණුව පැතුම් කොට ඇත්තෝ ය. ව්‍යාපාරයන්හි නැමුණු සිත් ඇත්තෝ ය. කර්මාන්ත නිමාකිරීම අවසාන ඉලක්කය කොට ඇත්තෝ ය.”
4. “භවත් ගෞතමයන් වහන්ස, ස්ත්‍රීහු කවර අදහස් ඇත්තහු ද? කවර සෙවීම් ඇත්තහු ද? කවර ප්‍රාර්ථනා ඇත්තහු ද? කුමකට නැමුණු සිත් ඇත්තහු ද? කවර අවසාන ඉලක්කයක් ඇත්තහු ද?”
“බ්‍රාහ්මණය, ස්ත්‍රීහු පුරුෂයන් ලැබීම අදහස් කොට ඇත්තෝ ය. අලංකාර සෙවීමට ආශා ඇත්තෝ ය. පුතුන් ලැබීම පැතුම් කොට ඇත්තෝ ය. ගෘහයෙහි දෙවෙනි අධිපතිනියක් නැති ව තමා අධිපතිනිය ව සිටීමට නැමුණු සිත් ඇත්තෝ ය. ඉසුරු සම්පත් අවසාන ඉලක්කය කොට ඇත්තෝ ය.”
5. “භවත් ගෞතමයන් වහන්ස, සොරු කවර අදහස් ඇත්තහු ද? කවර සෙවීම් ඇත්තහු ද? කවර ප්‍රාර්ථනා ඇත්තහු ද? කුමකට නැමුණු සිත් ඇත්තහු ද? කවර අවසාන ඉලක්කයක් ඇත්තහු ද?”
“බ්‍රාහ්මණය, චෞරයෝ පැහැර ගැනීම අදහස් කොට ඇත්තෝ ය. සැඟවී සිටින තැන් සෙවීමට ආශා ඇත්තෝ ය. වංචාව පැතුම් කොට ඇත්තෝ ය. කළුවරට නැමුණු සිත් ඇත්තෝ ය. නොපෙනී සිටීම අවසාන ඉලක්කය කොට ඇත්තෝ ය.”
6. “භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රමණවරු කවර අදහස් ඇත්තහු ද? කවර සෙවීම් ඇත්තහු ද? කවර ප්‍රාර්ථනා ඇත්තහු ද? කුමකට නැමුණු සිත් ඇත්තහු ද? කවර අවසාන ඉලක්කයක් ඇත්තහු ද?”
“බ්‍රාහ්මණය, ශ්‍රමණයෝ ඉවසී ත්, සීල සංවරය ත් අදහස් කොට ඇත්තෝ ය. ප්‍රඥාව සෙවීමට ආශා ඇත්තෝ ය. සිල්වත් වීම පැතුම් කොට ඇත්තෝ ය. කිසිවකට ග්‍රහණය නොවීමට නැමුණු සිත් ඇත්තෝ ය. නිර්වාණය අවසාන ඉලක්කය කොට ඇත්තෝ ය.”
“භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්යයකි! භවත් ගෞතමයන් වහන්ස, අද්භූතයකි! භවත් ගෞතමයන් වහන්සේ ක්ෂත්‍රියයන්ගේ අදහස ත්, සෙවීමට ආශා කරන දෙය ත්, ප්‍රාර්ථනාව ත්, සිත නැමී ඇත් දෙය ත්, අවසානය ත් දන්නා සේක. භවත් ගෞතමයන් වහන්සේ බ්‍රාහ්මණයන්ගේ ත් ….(පෙ)…. භවත් ගෞතමයන් වහන්සේ ගෘහපතියන්ගේ ත් ….(පෙ)…. භවත් ගෞතමයන් වහන්සේ ස්ත්‍රීන්ගේ ත් ….(පෙ)…. භවත් ගෞතමයන් වහන්සේ සොරුන්ගේ ත් ….(පෙ)…. භවත් ගෞතමයන් වහන්සේ ශ්‍රමණයන්ගේ ත් අදහස ත්, සෙවීමට ආශා කරන දෙය ත්, ප්‍රාර්ථනාව ත්, සිත නැමී ඇත් දෙය ත්, අවසානය ත් දන්නා සේක.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර ය. ….(පෙ)…. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා දිවි ඇති තෙක් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු ලෙස පිළිගන්නා සේක්වා!”
සාදු! සාදු!! සාදු!!!
ඛත්තිය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M