අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.1.4.7. ඡළංගදාන සුත්තං

6.1.4.7. සය අංගයකින් යුත් දානය ගැන වදාළ දෙසුම

ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තේන ඛෝ පන සමයේන වේළුකණ්ටකී නන්දමාතා උපාසිකා සාරිපුත්තමොග්ගල්ලාන පමුඛේ භික්ඛුසංඝේ ඡළංගසමන්නාගතං දක්ඛිණං පතිට්ඨාපේති.

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේ පිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි වේළුකණ්ටකියෙහි නන්දමාතා උපාසිකා තොමෝ සාරිපුත්ත මොග්ගල්ලානයන් වහන්සේලා ප්‍රමුඛ භික්ෂු සංඝයා විෂයෙහි සය අංගයකින් යුක්ත වූ දානයක් පිළිගන්වයි.

අද්දසා ඛෝ භගවා දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන වේළුකණ්ටකිං නන්දමාතරං උපාසිකං සාරිපුත්තමොග්ගල්ලාන පමුඛේ භික්ඛුසංඝේ ඡළංගසමන්නාගතං දක්ඛිණං පතිට්ඨාපෙන්තිං දිස්වා භික්ඛූ ආමන්තේසි.

භාග්‍යවතුන් වහන්සේ මිනිස් ඇස ඉක්මවා ගිය පිරිසිදු වූ දිවැසින් වේළුකණ්ටකියෙහි නන්දමාතා උපාසිකාව සාරිපුත්ත මොග්ගල්ලානයන් වහන්සේලා ප්‍රමුඛ භික්ෂු සංඝයා විෂයෙහි සය අංගයකින් යුක්ත වූ දානයක් පිළිගන්වන අයුරු දුටු සේක. දැක භික්ෂූන් අමතා වදාළ සේක.

“ඒසා භික්ඛවේ වේළුකණ්ටකී නන්දමාතා උපාසිකා සාරිපුත්තමොග්ගල්ලානපමුඛේ භික්ඛුසංඝේ ඡළංගසමන්නාගතං දක්ඛිණං පතිට්ඨාපේති.”

“මහණෙනි, වේළුකණ්ටකියෙහි මේ නන්දමාතා උපාසිකාව සාරිපුත්ත මොග්ගල්ලානයන් වහන්සේලා ප්‍රමුඛ භික්ෂු සංඝයා විෂයෙහි සය අංගයකින් යුක්ත වූ දානයක් පිළිගන්වයි.

කථඤ්ච භික්ඛවේ ඡළංගසමන්නාගතා දක්ඛිණා හෝති:

ඉධ භික්ඛවේ දායකස්ස තීණංගානි හොන්ති. පටිග්ගාහකානං තීණංගානි.

මහණෙනි, දානයක් සය අංගයකින් සමන්විත වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා දායක පක්ෂයෙහි අංග තුනකි. ප්‍රතිග්‍රාහක පක්ෂයෙහි අංග තුනකි.

කතමානි දායකස්ස තීණංගානි?

ඉධ භික්ඛවේ දායකෝ පුබ්බේව දානා සුමනෝ හෝති, දදං චිත්තං පසාදේති, දත්වා අත්තමනෝ හෝති. ඉමානි දායකස්ස තීණංගානි.

දායක පක්ෂයෙහි අංග තුන මොනවා ද? මහණෙනි, මෙහිලා දායක තෙමේ දානයට කලින් ම සිත සතුටු කරගන්නේ වෙයි. දන් දෙන අවස්ථාවෙහි සිත පහදවා ගන්නේ වෙයි. දන් දීමෙන් පසු සතුටු සිත් ඇත්තේ වෙයි. මේ දායකයාගේ අංග තුන යි.

කතමානි පටිග්ගාහකානං තීණංගානි?

ඉධ භික්ඛවේ පටිග්ගාහකා වීතරාගා වා හොන්ති රාගවිනයාය වා පටිපන්නා. වීතදෝසා වා හොන්ති දෝසවිනයාය වා පටිපන්නා. වීතමෝහා වා හොන්ති මෝහවිනයාය වා පටිපන්නා. ඉමානි පටිග්ගාහකානං තීණංගානි.

ප්‍රතිග්‍රාහක පක්ෂයෙහි අංග තුන මොනවා ද? මහණෙනි, මෙහිලා ප්‍රතිග්‍රාහකයෝ වීතරාගීහු හෝ වෙති. රාගය දුරු කිරීම පිණිස පිළිපන්නෝ හෝ වෙති. වීතදෝසීහු හෝ වෙති. ද්වේෂය දුරු කිරීම පිණිස පිළිපන්නෝ හෝ වෙති. වීතමෝහීහු හෝ වෙති. මෝහය දුරු කිරීම පිණිස පිළිපන්නෝ හෝ වෙති. මේ ප්‍රතිග්‍රාහකයාගේ අංග තුන යි.

ඉති දායකස්ස තීණංගානි, පටිග්ගාහකානං තීණංගානි. ඒවං ඛෝ භික්ඛවේ ඡළංගසමන්නාගතා දක්ඛිණා හෝති.

මෙසේ දායක පක්ෂයෙහි අංග තුනකි. ප්‍රතිග්‍රාහක පක්ෂයෙහි අංග තුනකි. මහණෙනි, මෙසේ දානයක් අංග සයකින් යුක්ත වෙයි.

ඒවං ඡළංගසමන්නාගතාය භික්ඛවේ දක්ඛිණාය න සුකරං පුඤ්ඤස්ස පමාණං ගහේතුං ”එත්තකෝ පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ සුඛස්සාහාරෝ සෝවග්ගිකෝ සුඛවිපාකෝ සග්ගසංවත්තනිකෝ ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තතී”ති. අථ ඛෝ අසංඛෙය්‍යෝ අප්පමෙය්‍යො මහාපුඤ්ඤක්ඛන්ධොත්වේව සංඛං ගච්ඡති.

මහණෙනි, මේ අයුරින් සය අංගයකින් යුක්ත වූ දානයෙහි පුණ්‍ය විපාකය ප්‍රමාණ කිරීම පහසු නැත. මෙපමණ පුණ්‍ය ප්‍රවාහයක් ඇත්තේ ය. කුසල ප්‍රවාහයක් ඇත්තේ ය. සැප ලබා දෙන්නේ ය. ස්වර්ග සැප දෙන්නේ ය. සැප විපාක ඇත්තේ ය. ස්වර්ගයෙහි උපදවන්නේ ය. ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, හිත සුව පිණිස පවතින්නේ ය කියා පමණ කළ නොහැක්කකි. නමුත් සංඛ්‍යාවකට ගත නොහැකි ප්‍රමාණයක් කළ නොහැකි මහා පුණ්‍යස්කන්ධයක් යන සංඛ්‍යාවට යයි.

සෙය්‍යථාපි භික්ඛවේ මහාසමුද්දේ න සුකරං උදකස්ස පමාණං ගහේතුං.

“එත්තකානි උදකාළ්හකානීති වා එත්තකානි උදකාළ්හකසතානී’ති වා, එත්තකානි උදකාළ්හකසහස්සානී’ති වා, එත්තකානි උදකාළ්හකසතසහස්සානී’ති වා. අථ ඛෝ අසංඛෙය්‍යො අප්පමෙය්‍යෝ මහාඋදකක්ඛන්ධොත්වේව සංඛං ගච්ඡති.

මහණෙනි, එය මෙබඳු දෙයකි. යම් සේ මහා සයුරෙහි මෙපමණ දිය නැළි ඇත්තේ ය, මෙපමණ දිය නැළි සිය ගණනක් ඇත්තේ ය, මෙපමණ දිය නැළි දහස් ගණනක් ඇත්තේ ය, මෙපමණ දිය නැළි සිය දහස් ගණනක් ඇත්තේ ය වශයෙන් ජලය ප්‍රමාණ කිරීමට පහසු නැත. වැලිදු සංඛ්‍යාවකට ගත නොහැකි ප්‍රමාණයක් කළ නොහැකි මහා ජලස්කන්ධයක් ය යන සංඛ්‍යාවට යයි.

ඒවමේවං ඛෝ භික්ඛවේ ඒවං ඡළංගසමන්නාගතාය දක්ඛිණාය න සුකරං පුඤ්ඤස්ස පමාණං ගහේතුං: “එත්තකෝ පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ සුඛස්සාහාරෝ සෝවග්ගිකෝ සුඛවිපාකෝ සග්ගසංවත්තනිකෝ ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තතී”ති. අථ ඛෝ අසංඛෙය්‍යො අප්පමෙය්‍යෝ මහාපුඤ්ඤක්ඛන්ධොත්වේව සංඛං ගච්ඡතීති.

එසෙයින් ම මහණෙනි, මේ අයුරින් සය අංගයකින් යුක්ත වූ දානයෙහි පුණ්‍ය විපාකය ප්‍රමාණ කිරීම පහසු නැත. මෙපමණ පුණ්‍ය ප්‍රවාහයක් ඇත්තේ ය. කුසල ප්‍රවාහයක් ඇත්තේ ය. සැප ලබා දෙන්නේ ය. ස්වර්ග සැප දෙන්නේ ය. සැප විපාක ඇත්තේ ය. ස්වර්ගයෙහි උපදවන්නේ ය. ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, හිත සුව පිණිස පවතින්නේ ය කියා පමණ කළ නොහැක්කකි. වැලිදු සංඛ්‍යාවකට ගත නොහැකි ප්‍රමාණයක් කළ නොහැකි මහා පුණ්‍යස්කන්ධයක් යන සංඛ්‍යාවට යයි.

(ගාථා)

පුබ්බේව දානා සුමනෝ දදං චිත්තං පසාදයේ,
දත්වා අත්තමනෝ හෝති ඒසා යඤ්ඤස්ස සම්පදා

දානයට කලින් සතුටු සිත් ඇත්තේ වෙයි. දන් දෙන විට සිත පැහැදෙයි. දන් දී සතුටු සිත් ඇත්තේ වෙයි. මෙය දානයෙහි සම්පත්තිය යි.

වීතරාගා වීතදෝසා වීතමෝහා අනාසවා,
ඛෙත්තං යඤ්ඤස්ස සම්පන්නං සඤ්ඤතා බ්‍රහ්මචාරිනෝ

වීතරාගී වූ වීතදෝසී වූ, වීතමෝහී වූ, ක්ෂීණාශ්‍රව වූ, සීල සම්පන්න වූ, සංවර ඉඳුරන් ඇත්තා වූ බ්‍රහ්මචාරී රහතන් වහන්සේලා දානයෙහි ක්ෂේත්‍රය වෙති.

සයං ආචමයිත්වාන දත්වා සකේහි පාණිහි
අත්තනෝ පරතෝ චේසෝ යඤ්ඤෝ හෝති මහප්ඵලෝ.

තමා ම අත් පා සෝදා සිය අතින් දන් පූජා කොට දායක පක්ෂයෙනුත්, ප්‍රතිග්‍රාහක පක්ෂයෙනුත් පිරිසිදු බව ලබන දානය මහත්ඵල වෙයි.

ඒවං යජිත්වා මේධාවී සද්ධෝ මුත්තේන චේතසා’
අබ්‍යාපජ්ඣං සුඛං ලෝකං පණ්ඩිතෝ උපපජ්ජතී’ති.

මෙසේ නුවණැති සැදැහැවත් තැනැත්තා මසුරු බවින් මිදුණු සිතින් යුතුව දන් දී දුක් රහිත වූ සැප ඇති සුගතියෙහි උපදින්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

ඡළංගදාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M