එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනාථ පිණ්ඩික සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හී ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ භාවනාවෙන් හුදෙකලාව වැඩසිටින කල්හී මෙබඳු කල්පනාවක් සිතෙහි පහළ විය. ‘අපි සෝතාපන්න වෙමු. අපායට නොවැටෙන ස්වභාවය ඇති, නියත වශයෙන් ම නිවන අවබෝධ කරන්නමෝ වෙමු’ යි මෙබඳු ඥානයක් තිබෙන්නේ කවර දෙවියන් හට ද? යි.
එසමයෙහි තිස්ස නම් භික්ෂුවක් නොබෝ කල්හී කළුරිය කළේ එක්තරා බ්‍රහ්ම ලෝකයක උපන්නේ වෙයි. එහි ද ඔහු පිළිබඳ ව මෙසේ දනිති. ‘තිස්ස බ්‍රහ්ම තෙමේ මහා ඉර්ධි ඇත්තේ ය. මහානුභාව ඇත්තේ ය’ යනුවෙනි.
ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ බලවත් පුරුෂයෙක් හැකිලූ ඇතක් දිගහරින්නේ යම් සේ ද, දිගු කළ අතක් හකුලන්නේ යම් සේ ද, එබඳු කලක් තුළ ජේතවනයෙන් නොපෙනී ගොස් ඒ බ්‍රහ්ම ලෝකයෙහි පහළ වූ සේක. තිස්ස බ්‍රහ්ම තෙමේ දුරින් ම වඩිනා ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ දුටුවේ ය. දැක ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේට මෙය පැවසුවේ ය.
“මොග්ගල්ලාන නිදුකාණන් වහන්ස, වඩිනා සේක්වා! මොග්ගල්ලාන නිදුකාණන් වහන්ස, මනා වැඩම කිරීමකි. මොග්ගල්ලාන නිදුකාණන් වහන්සේ මෙහි වැඩම කිරීම සඳහා බොහෝ කලකින් ඉඩ ලබා ගත් සේක. මොග්ගල්ලාන නිදුකාණන් වහන්ස, මේ අසුනක් පණවන ලද්දේ ය. වැඩ හිඳිනු මැනැව.”
එකල්හී ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. තිස්ස බ්‍රහ්ම තෙමේ ද ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් තිස්ස බ්‍රහ්මයා හට ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ මෙය වදාළ සේක.
“තිස්සයෙනි, ‘අපි සෝතාපන්න වෙමු. අපායට නොවැටෙන ස්වභාවය ඇති, නියත වශයෙන් ම නිවන අවබෝධ කරන්නමෝ වෙමු’ යි මෙබඳු ඥානයක් තිබෙන්නේ කවර දෙවියන් හට ද?”
“මොග්ගල්ලාන නිදුකාණන් වහන්ස, ‘අපි සෝතාපන්න වෙමු. අපායට නොවැටෙන ස්වභාවය ඇති, නියත වශයෙන් ම නිවන අවබෝධ කරන්නමෝ වෙමු’ යි යන මෙබඳු ඥානයක් චාතුම්මහාරාජික දෙවියන් හට ඇත්තේ ය.”
“තිස්සයෙනි, ‘අපි සෝතාපන්න වෙමු. අපායට නොවැටෙන ස්වභාවය ඇති, නියත වශයෙන් ම නිවන අවබෝධ කරන්නමෝ වෙමු’ යි යන මෙබඳු ඥානයක් චාතුම්මහාරාජික සියළු දෙවියන්ට ම තිබෙන්නේ ද?”
“නැත. මොග්ගල්ලාන නිදුකාණෙනි, සියළු චාතුම්මහාරාජික දෙවියන් හට ‘අපි සෝතාපන්න වෙමු. අපායට නොවැටෙන ස්වභාවය ඇති, නියත වශයෙන් ම නිවන අවබෝධ කරන්නමෝ වෙමු’ යි යන ඥානය නැත්තේ ය.
මොග්ගල්ලාන නිදුකාණෙනි, යම් චාතුම්මහාරාජික දෙවිවරු බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුතු නොවෙත් ද, ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුතු නොවෙත් ද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුතු නොවෙත් ද, ආර්යකාන්ත ශීලයෙන් යුතු නොවෙත් ද, ඒ දෙවියන් හට ‘අපි සෝතාපන්න වෙමු. අපායට නොවැටෙන ස්වභාවය ඇති, නියත වශයෙන් ම නිවන අවබෝධ කරන්නමෝ වෙමු’ යන ඥානය නැත්තේ ය.
මොග්ගල්ලාන නිදුකාණෙනි, යම් චාතුම්මහාරාජික දෙවිවරු බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුතු වෙත් ද, ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුතු වෙත් ද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුතු වෙත් ද, ආර්යකාන්ත ශීලයෙන් යුතු වෙත් ද, ඒ දෙවියන් හට ‘අපි සෝතාපන්න වෙමු. අපායට නොවැටෙන ස්වභාවය ඇති, නියත වශයෙන් ම නිවන අවබෝධ කරන්නමෝ වෙමු’ යන ඥානය ඇත්තේ ය.”
“තිස්සයෙනි, ‘අපි සෝතාපන්න වෙමු. අපායට නොවැටෙන ස්වභාවය ඇති, නියත වශයෙන් ම නිවන අවබෝධ කරන්නමෝ වෙමු’ යන ඥානය තිබෙන්නේ චාතුම්මහාරාජික දෙවියන්ට පමණ ද? එසේ ත් නැත්නම්, තව්තිසාවැසි දෙවියන්ට ත් ….(පෙ)…. යාමවැසි දෙවියන්ට ත් ….(පෙ)…. තුසිත දෙවියන්ට ත් ….(පෙ)…. නිම්මාණරතී දෙවියන්ට ත් ….(පෙ)…. ‘අපි සෝතාපන්න වෙමු. අපායට නොවැටෙන ස්වභාවය ඇති, නියත වශයෙන් ම නිවන අවබෝධ කරන්නමෝ වෙමු’ යන ඥානය පරනිම්මිත වසවත්තී දෙවියන්ට ද තිබෙන්නේ ද?”
“මොග්ගල්ලාන නිදුකාණන් වහන්ස, ‘අපි සෝතාපන්න වෙමු. අපායට නොවැටෙන ස්වභාවය ඇති, නියත වශයෙන් ම නිවන අවබෝධ කරන්නමෝ වෙමු’ යි යන මෙබඳු ඥානයක් පරනිම්මිත වසවත්තී දෙවියන්ට ද ඇත්තේ ය.”
“තිස්සයෙනි, ‘අපි සෝතාපන්න වෙමු. අපායට නොවැටෙන ස්වභාවය ඇති, නියත වශයෙන් ම නිවන අවබෝධ කරන්නමෝ වෙමු’ යි යන මෙබඳු ඥානයක් පරනිම්මිත වසවත්තී සියළු දෙවියන්ට ම තිබෙන්නේ ද?”
“නැත. මොග්ගල්ලාන නිදුකාණෙනි, සියළු පරනිම්මිත වසවත්තී දෙවියන් හට ‘අපි සෝතාපන්න වෙමු. අපායට නොවැටෙන ස්වභාවය ඇති, නියත වශයෙන් ම නිවන අවබෝධ කරන්නමෝ වෙමු’ යි යන ඥානය නැත්තේ ය.
මොග්ගල්ලාන නිදුකාණෙනි, යම් පරනිම්මිත වසවත්තී දෙවිවරු බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුතු නොවෙත් ද, ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුතු නොවෙත් ද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුතු නොවෙත් ද, ආර්යකාන්ත ශීලයෙන් යුතු නොවෙත් ද, ඒ දෙවියන් හට ‘අපි සෝතාපන්න වෙමු. අපායට නොවැටෙන ස්වභාවය ඇති, නියත වශයෙන් ම නිවන අවබෝධ කරන්නමෝ වෙමු’ යන ඥානය නැත්තේ ය.
මොග්ගල්ලාන නිදුකාණෙනි, යම් පරනිම්මිත වසවත්තී දෙවිවරු බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුතු වෙත් ද, ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුතු වෙත් ද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුතු වෙත් ද, ආර්යකාන්ත ශීලයෙන් යුතු වෙත් ද, ඒ දෙවියන් හට ‘අපි සෝතාපන්න වෙමු. අපායට නොවැටෙන ස්වභාවය ඇති, නියත වශයෙන් ම නිවන අවබෝධ කරන්නමෝ වෙමු’ යන ඥානය ඇත්තේ ය.”
ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ තිස්ස බ්‍රහ්මයාගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වී බලවත් පුරුෂයෙක් හැකිලූ ඇතක් දිගහරින්නේ යම් සේ ද, දිගු කළ අතක් හකුලන්නේ යම් සේ ද, එබඳු කලක් තුළ බ්‍රහ්ම ලෝකයෙන් නොපෙනී ගොස් ජේතවනයෙහි පහළ වූ සේක.
සාදු! සාදු!! සාදු!!!
මොග්ගල්ලාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M