අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.1.4.3. දුතිය අපරිහාන සුත්තං

6.1.4.3. නොපිරිහීම ගැන වදාළ දෙවෙනි දෙසුම

සාවත්ථිනිදානං …..

සැවැත් නුවර දී ය …..

ඉමං භික්ඛවේ රත්තිං අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කේවලකප්පං ජේතවනං ඕභාසෙත්වා යේනාහං තේනුපසංකමි. උපසංකමිත්වා මං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතා ඛෝ භික්ඛවේ සා දේවතා මං ඒතදවෝච:

මහණෙනි, මේ රැයෙහි එක්තරා දෙවියෙක් මැදියම් රැයෙහි මනහර වර්ණයෙන් යුතුව මුළු ජේතවන වෙහෙර බබුළුවාගෙන මා වෙත පැමිණියේ ය. පැමිණ මා හට සකසා වන්දනා කොට එකත්පස් ව සිට ගත්තේ ය. එකත්පස් ව සිටි ඒ දෙවියා මට මෙය සැළ කළේ ය.

“ඡයිමේ භන්තේ ධම්මා භික්ඛුනෝ අපරිහානාය සංවත්තන්ති. කතමේ ඡ: සත්ථුගාරවතා, ධම්මගාරවතා, සංඝගාරවතා, සික්ඛාගාරවතා, හිරිගාරවතා, ඔත්තප්පගාරවතා. ඉමේ ඛෝ භන්තේ ඡ ධම්මා භික්ඛුනෝ අපරිහානාය සංවත්තන්තීති.”

‘ස්වාමීනී, මේ කරුණු සය භික්ෂුවකගේ නොපිරිහීම පිණිස පවතියි. ඒ කවර කරුණු සයක් ද යත්;

ශාස්තෘ ගෞරවයෙන් යුතු බව ය. ධර්ම ගෞරවයෙන් යුතු බව ය. සංඝ ගෞරවයෙන් යුතු බව ය. ශික්ෂා ගෞරවයෙන් යුතු බව ය. පවට ඇති ලැජ්ජාව ගැන ගෞරවයෙන් යුතු බව ය. පවට ඇති භය ගැන ගෞරවයෙන් යුතු බව ය.

ස්වාමීනී, මේ වනාහී භික්ෂුවකගේ නොපිරිහීම පිණිස පවතින කරුණු සය යි.’

ඉදමවෝච භික්ඛවේ සා දේවතා, ඉදං වත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථේවන්තරධායීති.

මහණෙනි, ඒ දෙවියා මෙය පැවසුවේ ය. මෙය පවසා මා හට සකසා වන්දනා කොට, පැදකුණු කොට එහි ම නොපෙනී ගියේ ය.

(ගාථා)

සත්ථුගරු ධම්මගරු සංඝේ ච තිබ්බගාරවෝ
හිරිඔත්තප්පසම්පන්නෝ සප්පතිස්සෝ සගාරවෝ
අභබ්බෝ පරිහානාය නිබ්බානස්සේව සන්තිකේති.

ශාස්තෘ ගෞරවයෙන් යුතු, ධර්ම ගෞරවයෙන් යුතු, සංඝයා කෙරෙහි ද බලවත් ගෞරවයෙන් යුතු, ලැජ්ජා භය දෙකෙන් යුක්ත වූ, යටහත් පැවතුම් ඇති, වැඩිහිටි ගෞරවය ඇති භික්ෂුව පිරිහීමට නුසුදුස්සෙකි. හේ නිවන සමීපයෙහි ම වෙයි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය අපරිහාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M