මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි වැඩවෙසෙන සේක. එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය හා සිවුරු ගෙන බොහෝ භික්ෂූන් සමඟ ගිජ්ඣකුට පර්වතයෙන් පහළට බසිද්දී එක්තරා ප්‍රදේශයක මහත් දැව කඳක් දුටු සේක. දැක භික්ෂූන් ඇමතූ සේක.
“ආයුෂ්මත්නි, අර මහත් දැව කඳ ඔබ දකින්නහු ද?”
“එසේ ය ආයුෂ්මතුන් වහන්ස”
“ආයුෂ්මත්නි, චිත්ත වශී භාවයට පත්, ඉර්ධිමත් භික්ෂුවක් කැමති නම් ඔය දැව කඳ පඨවි ධාතුව වශයෙන් ම සළකන්නේ ය. මක් නිසාද යත්, ආයුෂ්මත්නි, යම් කරුණක් නිසාවෙන් චේතෝ වශී ප්‍රාප්ත ඉර්ධිමත් භික්ෂුව ඔය දැව කඳ පඨවි ධාතුව වශයෙන් ම සළකන්නේ නම් ඒ පඨවි ධාතුව ඔය දැව කඳෙහි ඇත්තේ ය.
ආයුෂ්මත්නි, චිත්ත වශී භාවයට පත්, ඉර්ධිමත් භික්ෂුවක් කැමති නම් ඔය දැව කඳ ආපෝ ධාතුව වශයෙන් ම සළකන්නේ ය. ….(පෙ)…. තේජෝ ධාතුව වශයෙන් ම සළකන්නේ ය. ….(පෙ)…. වායෝ ධාතුව වශයෙන් ම සළකන්නේ ය ….(පෙ)… සුභ වශයෙන් ම සළකන්නේ ය ….(පෙ). අසුභ වශයෙන් ම සළකන්නේ ය. මක් නිසාද යත්, ආයුෂ්මත්නි, යම් කරුණක් නිසාවෙන් චේතෝ වශී ප්‍රාප්ත ඉර්ධිමත් භික්ෂුව ඔය දැව කඳ අසුභ වශයෙන් ම සළකන්නේ නම් ඒ අසුභ ධාතුව ඔය දැව කඳෙහි ඇත්තේ ය.”
සාදු! සාදු!! සාදු!!!
දාරුක්ඛන්ධ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-4-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M