අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.1.4.12. නාගිත සුත්තං

6.1.4.12. නාගිත තෙරුන්ට වදාළ දෙසුම

ඒවං මේ සුතං ඒකං සමයං භගවා කෝසලේසු චාරිකං චරමානෝ මහතා භික්ඛුසංඝේන සද්ධිං යේන ඉච්ඡානංගලං නාම කෝසලානං බ්‍රාහ්මණගාමෝ, තදවසරි. තත්‍ර සුදං භගවා ඉච්ඡානංගලේ විහරති ඉච්ඡානංගලවනසණ්ඩේ.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයෙහි මහත් වූ භික්ෂු සංඝයා සමඟ චාරිකාවෙහි වඩමින් ඉච්ඡානංගල නම් වූ කෝසලවාසී බ්‍රාහ්මණ ගමකට වැඩම කළ සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ඒ ඉච්ඡානංගලයෙහි ඉච්ඡානංගල වන ලැහැබෙහි වැඩවසන සේක.

අස්සෝසුං ඛෝ ඉච්ඡානංගඳිකා බ්‍රාහ්මණගහපතිකා “සමණෝ ඛලු භෝ ගෝතමෝ සක්‍යපුත්තෝ සක්‍යකුලා පබ්බජිතෝ ඉච්ඡානංගලං අනුප්පත්තෝ ඉච්ඡානංගලේ විහරති ඡානංගලවනසණ්ඩේ.

තං ඛෝ පන භවන්තං ගෝතමං ඒවං කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භුග්ගතෝ ‘ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ ….(පෙ)…. බුද්ධෝ භගවා”ති. සෝ ඉමං ලෝකං සදේවකං ….(පෙ)…. (සාදු ඛෝ පන තථාරූපානං) අරහතං දස්සනං හෝතී”ති.

ඉච්ඡානංගලවැසි බ්‍රාහ්මණ ගෘහපතීහු මෙකරුණ ඇසූහ. ‘ශාක්‍ය පුත්‍ර වූ ශාක්‍ය කුලයෙන් නික්මී පැවිදි වූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ඉච්ඡානංගලයට වැඩම කොට ඉච්ඡානංගලයෙහි ඉච්ඡානංගල වන ලැහැබෙහි වැඩ වාසය කරති’ යි.

ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳු වූ කල්‍යාණ කීර්ති ඝෝෂාවක් උස් ව පැන නැංගේ ය. එනම් ‘මේ මේ කරුණෙනුත් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. ….(පෙ)…. බුද්ධ වන සේක. භගවා වන සේක.’ උන්වහන්සේ මේ දෙවියන් සහිත ….(පෙ)…. එබඳු වූ රහතුන්ගේ දැක්ම පවා ඉතා යහපත් ය’ යනුවෙනි.

අථ ඛෝ ඉච්ඡානඩ්ගලකා බ්‍රාහ්මණගහපතිකා තස්සා රත්තියා අච්චයේන පහූතං ඛාදනීයං භෝජනීයං ආදාය යේන ඉච්ඡානංගලවනසණ්ඩං තේනුපසංකමිංසු. උපසංකමිත්වා බහිද්වාරකොට්ඨකේ අට්ඨංසු උච්චාසද්දා මහාසද්දා.

ඉක්බිති ඉච්ඡානංගලවැසි බ්‍රාහ්මණගෘහපතීහු ඒ රාත්‍රිය ඇවෑමෙන් බොහෝ වූ ඛාද්‍යභෝජ්‍යයන් ගෙන ඉච්ඡානංගල වන ලැහැබ යම් තැනක ඇත්තේ ද, එතැනට පැමිණියහ. පැමිණ දොරටුවෙන් බැහැර කොටසෙහි උස් හඬ ඇති ව, මහා ඝෝෂා ඇති ව සිටියාහු ය.

තේන ඛෝ පන සමයේන ආයස්මා නාගිතෝ භගවතෝ උපට්ඨාකෝ හෝති. අථ ඛෝ භගවා ආයස්මන්තං නාගිතං ආමන්තේසි: කේ පන තේ නාගිත උච්චාසද්දා මහාසද්දා කේවට්ටා මඤ්ඤේ මච්ඡවිලෝපේති.

එසමයෙහි ආයුෂ්මත් නාගිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වෙති. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නාගිත තෙරුන් ඇමතූ සේක.

“නාගිතයෙනි, ඒ උස් හඬින් කෑ ගසන්නෝ, මහා හඬින් කෑ ගසන්නෝ කවරහු ද? මසුන් මරා විකුණන තැන සිටින කෙවුලන් බඳු නොවැ.”

ඒතේ භන්තේ ඉච්ඡානංගලිකා බ්‍රාහ්මණගහපතිකා පහූතං ඛාදනීයං භෝජනීයං ආදාය බහිද්වාරකොට්ඨකේ ඨිතා භගවන්තංයේව උද්දිස්ස භික්ඛුසංඝං චාති.

“ස්වාමීනී, මේ ඉච්ඡානංගලවැසි බ්‍රාහ්මණගෘහපතීහු භාග්‍යවතුන් වහන්සේ ද, භික්ෂු සංඝයා ද උදෙසා බොහෝ වූ ඛාද්‍ය භෝජ්‍ය ගෙනවුත් බාහිර දොරටු කොටුවෙහි සිටියාහු ය.”

මාහං නාගිත, යසේන සමාගමං. මා ච මයා යසෝ. යෝ ඛෝ නාගිත, නයිමස්ස නෙක්ඛම්මසුඛස්ස පවිවේකසුඛස්ස උපසමසුඛස්ස සම්බෝධසුඛස්ස නිකාමලාභී අස්ස අකිච්ඡලාභී අකසිරලාභී, යස්සාහං නෙක්ඛම්මසුඛස්ස පවිවේකසුඛස්ස උපසමසුඛස්ස සම්බෝධසුඛස්ස නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී, සෝ තං මීළ්හසුඛං මිද්ධසුඛං ලාභසක්කාරසිලෝකසුඛං සාදියෙය්‍යාති.

“නාගිතයෙනි, පිරිවර හා සමඟ මම එක් නොවෙම්වා! පිරිවර ද මා සමඟ එක් නොවේවා! නාගිතයෙනි, මම් යම් නෙක්ඛම්ම සැපයක්, හුදෙකලා විවේකයෙන් ලද සැපයක්, සංසිඳීමෙන් ලද සැපයක්, සම්බෝධි සැපයක්, කැමති සේ ලබන්නෙම් ද, නිදුකින් ලබන්නෙම් ද, බොහෝ සෙයින් ලබන්නෙම් ද, එසේ මා ලබන මේ නෙක්ඛම්ම සුවය, පවිවේක සුවය, උපසම සුවය, සම්බෝධි සුවය යම් කෙනෙකුට කැමති සේ නොලැබෙන්නේ නම්, නිදුකින් නොලැබෙන්නේ නම්, බොහෝ සෙයින් නොලැබෙන්නේ නම් ඔහු ඒ අසූචි සැපය, නිද්‍රා සැපය, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ගෙන් ලැබෙන සැපය පිළිගන්නේ ය.”

අධිවාසේතු දානි භන්තේ භගවා, අධිවාසේතු, සුගතෝ. අධිවාසනකාලෝ දානි භන්තේ භගවතෝ. යේන යේනේවදානි භන්තේ භගවා ගමිස්සති, තන්නින්නාව භවිස්සන්ති බ්‍රාහ්මණගහපතිකා, නේගමා චේ ව ජානපදා ච. සෙය්‍යථාපි භන්තේ ථුල්ලඵුසිතකේ දේවේ වස්සන්තේ යථානින්නං උදකානි පවත්තන්ති, ඒවමේව ඛෝ භන්තේ යේන යේනේව දානි භගවා ගමිස්සති, තන්නින්නාව භවිස්සන්ති බ්‍රාහ්මණගහපතිකා නේගමා චේව ජානපදා ච. තං කිස්ස හේතු: තථා හි භන්තේ භගවතෝ සීලපඤ්ඤාණන්ති.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ දැන් ඉවසන සේක්වා! සුගතයන් වහන්සේ ඉවසන සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේට මෙය ඉවසන්නට කාලය යි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ යම් යම් දිශාවකට වඩිනා සේක් ද, ඒ ඒ දිශාවට බ්‍රාහ්මණගෘහපතීහු නිගම ජනපදවාසීහු නැඹුරු වී සිටිත් ම ය. ස්වාමීනී, එය මෙබඳු දෙයකි. මහත් දිය බිඳු සහිත ව වැස්ස වසිනා කල්හී පහළට නැඹුරු වූ බිමට අනුව ජලය ගලා යයි ද, ස්වාමීනී, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ යම් යම් දිශාවකට වඩිනා සේක් ද, ඒ ඒ දිශාවට බ්‍රාහ්මණගෘහපතීහු නිගම ජනපදවාසීහු නැඹුරු වී සිටිත් ම ය. මක් නිසා ද යත්, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ සීලය හා ඥානය නිසාවෙනි.”

මාහං නාගිත, යසේන සමාගමං. මා ච මයා යසෝ. යෝ ඛෝ නාගිත, නයිමස්ස නෙක්ඛම්මසුඛස්ස පවිවේකසුඛස්ස උපසමසුඛස්ස සම්බෝධසුඛස්ස නිකාමලාභී අස්ස අකිච්ඡලාභී අකසිරලාභී, යස්සාහං නෙක්ඛම්මසුඛස්ස පවිවේකසුඛස්ස උපසමසුඛස්ස සම්බෝධසුඛස්ස නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී, සෝ තං මීළ්හසුඛං මිද්ධසුඛං ලාභසක්කාරසිලෝකසුඛං සාදියෙය්‍ය.

“නාගිතයෙනි, පිරිවර හා සමඟ මම එක් නොවෙම්වා! පිරිවර ද මා සමඟ එක් නොවේවා! නාගිතයෙනි, මම් යම් නෙක්ඛම්ම සැපයක්, හුදෙකලා විවේකයෙන් ලද සැපයක්, සංසිඳීමෙන් ලද සැපයක්, සම්බෝධි සැපයක්, කැමති සේ ලබන්නෙම් ද, නිදුකින් ලබන්නෙම් ද, බොහෝ සෙයින් ලබන්නෙම් ද, එසේ මා ලබන මේ නෙක්ඛම්ම සුවය, පවිවේක සුවය, උපසම සුවය, සම්බෝධි සුවය යම් කෙනෙකුට කැමති සේ නොලැබෙන්නේ නම්, නිදුකින් නොලැබෙන්නේ නම්, බොහෝ සෙයින් නොලැබෙන්නේ නම් ඔහු ඒ අසූචි සැපය, නිද්‍රා සැපය, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ගෙන් ලැබෙන සැපය පිළිගන්නේ ය.

(1) ඉධාහං නාගිත, භික්ඛුං පස්සාමි ගාමන්තවිහාරිං සමාහිතං නිසින්නං. තස්ස මය්හං නාගිත, ඒවං හෝති: “ඉදානිමං ආයස්මන්තං ආරාමිකෝ වා සමණුද්දේසෝ වා සහධම්මිකෝ වා තම්හා සමාධිම්හා චාවෙස්සතී”ති තේනාහං නාගිත, තස්ස භික්ඛුනෝ න අත්තමනෝ හෝමි ගාමන්තවිහාරේන.

1. නාගිතයෙනි, මම මෙහිලා ගමෙහි වාසය කරන භික්ෂුවක් වාඩි වී චිත්ත සමාධියෙන් සිටිනු දකිමි. එකල්හී මට නාගිතයෙනි, මෙබඳු සිතක් වෙයි. ‘දැන් ආරාමිකයෙක් වේවා, හෙරණක් වේවා, සහදැමියෙක් වේවා පැමිණ මේ ආයුෂ්මතුන් ඒ සමාධියෙන් බැහැර කරන්නේ ය’ යි. එහෙයින් නාගිතයෙනි, මම ඒ භික්ෂුවගේ ගමෙහි වාසය කිරීම ගැන සතුටට පත් නොවෙමි.

(2) ඉධ පනාහං, නාගිත, භික්ඛුං පස්සාමි ආරඤ්ඤිකං අරඤ්ඤේ පචලායමානං නිසින්නං. තස්ස මය්හං නාගිත, ඒවං හෝති: “ඉදානි අයමායස්මා ඉමං නිද්දාකිලමථං පටිවිනෝදෙත්වා අරඤ්ඤසඤ්ඤං යේව මනසිකරිස්සති ඒකත්තන්ති. තේනාහං නාගිත, තස්ස භික්ඛුනෝ අත්තමනෝ හෝමි අරඤ්ඤවිහාරේන.

2. නාගිතයෙනි, මම මෙහිලා අරණ්‍යයෙහි වාසය කරන භික්ෂුවක් අරණ්‍යයෙහි හිඳිමින් නිදිකිරා වැටෙනු දකිමි. එකල්හී මට නාගිතයෙනි, මෙබඳු සිතක් වෙයි. ‘දැන් මේ ආයුෂ්මතුන් මේ නිදිමත වෙහෙස දුරු කොට අරණ්‍ය සංඥාව ම මෙනෙහි කොට සිත එකඟ කරන්නේ ය’ යි. එහෙයින් නාගිතයෙනි, මම ඒ භික්ෂුවගේ අරණ්‍යයෙහි වාසය කිරීම ගැන සතුටට පත් වෙමි.

(3) ඉධ පනාහං නාගිත භික්ඛුං පස්සාමි ආරඤ්ඤකං අරඤ්ඤේ අසමාහිතං නිසින්නං. තස්ස මය්හං නාගිත, ඒවං හෝති: “ඉදානි අයමායස්මා අසමාහිතං වා චිත්තං සමාදහිස්සති සමාහිතං වා චිත්තං අනුරක්ඛිස්සතී’ති. තේනාහං නාගිත, තස්ස භික්ඛුනෝ අත්තමනෝ හෝමි අරඤ්ඤවිහාරේන.

3. නාගිතයෙනි, මම මෙහිලා අරණ්‍යයෙහි වාසය කරන භික්ෂුවක් අරණ්‍යයෙහි එකඟ නොවූ සිතින් හිඳිනු දකිමි. එකල්හී මට නාගිතයෙනි, මෙබඳු සිතක් වෙයි. ‘දැන් මේ ආයුෂ්මතුන් එකඟ නොවූ සිත එකඟ කරන්නේ ය. එකඟ වූ හෝ සිත රැකගන්නේ ය’ යි. එහෙයින් නාගිතයෙනි, මම ඒ භික්ෂුවගේ අරණ්‍යයෙහි වාසය කිරීම ගැන සතුටට පත් වෙමි.

(4) ඉධ පනාහං නාගිත, භික්ඛුං පස්සාමි ආරඤ්ඤකං අරඤ්ඤෙ සමාහිතං නිසින්නං. තස්ස මය්හං නාගිත, ඒවං හෝති: “ඉදානි අයමායස්මා අවිමුත්තං වා චිත්තං විමෝචෙස්සති, විමුත්තං වා චිත්තං අනුරක්ඛිස්සතී”ති. තේනාහං නාගිත තස්ස භික්ඛුනෝ අත්තමනෝ හෝමි අරඤ්ඤවිහාරේන.

4. නාගිතයෙනි, මම මෙහිලා අරණ්‍යයෙහි වාසය කරන භික්ෂුවක් අරණ්‍යයෙහි එකඟ වූ සිතින් හිඳිනු දකිමි. එකල්හී මට නාගිතයෙනි, මෙබඳු සිතක් වෙයි. ‘දැන් මේ ආයුෂ්මතුන් නීවරණයන්ගෙන් නිදහස් නොවූ සිත නිදහස් කරගන්නේ ය. නීවරණයන්ගෙන් නිදහස් වූ සිත හෝ රැකගන්නේ ය’ යි. එහෙයින් නාගිතයෙනි, මම ඒ භික්ෂුවගේ අරණ්‍යයෙහි වාසය කිරීම ගැන සතුටට පත් වෙමි.

(5) ඉධ පනාහං නාගිත, භික්ඛුං පස්සාමි ගාමන්තවිහාරිං ලාභිං චීවරපිණ්ඩපාතසේනාසනගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරානං. සෝ තං ලාභසක්කාරසිලෝකං නිකාමයමානෝ රිඤ්චති පටිසල්ලානං, රිඤ්චති අරඤ්ඤවනපත්ථානි පන්තානි සේනාසනානි, ගාමනිගමරාජධානිං ඕසරිත්වා වාසං කප්පේති. තේනාහං නාගිත, තස්ස භික්ඛුනෝ න අත්තමනෝ හෝමි ගාමන්තවිහාරේන.

5. නාගිතයෙනි, මම මෙහිලා ගමෙහි වාසය කරන සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ලබන සුළු වූ භික්ෂුවක් දකිමි. ඔහු ඒ ලාභ සත්කාර ප්‍රශංසාවට ආශා කරමින් භාවනාව අත්හරියි. අරණ්‍ය, දුර ඈත වනසෙනසුන්හි වාසය කිරීම අත්හරියි. ගම්, නියම්ගම්, රාජධානි ආදියෙහි වැද වාසය කරයි. එහෙයින් නාගිතයෙනි, මම ඒ භික්ෂුවගේ ගමෙහි වාසය කිරීම ගැන සතුටට පත් නොවෙමි.

(6) ඉධ පනාහං නාගිත, භික්ඛුං පස්සාමි ආරඤ්ඤකං ලාභිං චීවරපිණ්ඩපාතසේනාසනගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරානං. සෝ තං ලාභසක්කාරසිලෝකං පටිපණාමෙත්වා න රිඤ්චති පටිසල්ලානං, න රිඤ්චති අරඤ්ඤවනපත්ථානි පන්තානි සේනාසනානි. තේනාහං නාගිත තස්ස භික්ඛුනෝ අත්තමනෝ හෝමි අරඤ්ඤවිහාරේන.

6. නාගිතයෙනි, මම මෙහිලා අරණ්‍යයෙහි වාසය කරන සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ලබන සුළු වූ භික්ෂුවක් දකිමි. ඔහු ඒ ලාභ සත්කාර ප්‍රශංසාව අත්හැර භාවනාව අත්නොහරියි. අරණ්‍ය, දුර ඈත වනසෙනසුන්හි වාසය කිරීම අත්නොහරියි. එහෙයින් නාගිතයෙනි, මම ඒ භික්ෂුවගේ අරණ්‍යයෙහි වාසය කිරීම ගැන සතුටට පත් වෙමි.

යස්මාහං නාගිත, සමයේ අද්ධානමග්ගප්පටිපන්නෝ න කඤ්චි පස්සාමි පුරතෝ වා පච්ඡතෝ වා, ඵාසු මේ නාගිත, තස්මිං සමයේ හෝති අන්තමසෝ උච්චාරපස්සාවකම්මායාති.

නාගිතයෙනි, යම්කලක මම දීර්ඝ මාර්ගයෙහි ගමන් කරන්නෙම් ද, ඉදිරියේ හෝ පසු පස්සෙහි හෝ කිසිවෙක් පෙනෙන්නට නැත්නම්, නාගිතයෙනි, එසමයෙහි මා හට අඩු ගණනේ වැසිකිළි කැසිකිළි කරන්නට පවා හෝ පහසුවක් ඇත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

නාගිත සූත්‍රය නිමා විය.

දේවතාවග්ගෝ චතුත්ථෝ.

සිව්වෙනි දේවතා වර්ගය අවසන් විය.

තස්සුද්දානං:

එහි පිළිවෙල උද්දානයයි :

සෙක්ඛා ද්වේ අපරිහානි මොග්ගල්ලාන විජ්ජාභාගියා විවාද දානත්තකාරී නිදානං කිම්බිලදාරුක්ඛන්ධේන නාගිතෝති.

සේඛ සූත්‍රය, අපරිහානීය සූත්‍ර දෙක, මොග්ගල්ලාන සූත්‍රය, විජ්ජාභාගීය සූත්‍රය, විවාදමූල සූත්‍රය, දාන සූත්‍රය, අත්තකාර සූත්‍රය, නිදාන සූත්‍රය, කිම්බිල සූත්‍රය, දාරුක්ඛන්ධ සූත්‍රය සහ නාගිත සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දොළොසකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-4-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M