එක් සමයෙක්හි බොහෝ ස්ථවිර භික්ෂූහු බරණැස ඉසිපතන මිගදායෙහි වැඩවාසය කරති. එකල්හී පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකී මණ්ඩලමාලයෙහි රැස් ව හුන් ඒ ස්ථවිර භික්ෂූන් අතර මේ කථාව ඇති විය.
“ආයුෂ්මත්නි, මනෝභාවනීය භික්ෂුවක් දැකීම පිණිස එළඹෙන්නට සුදුසු කල් කවරේ ද?”
මෙසේ පැවසූ කල්හී එක්තරා භික්ෂුවක් ඒ භික්ෂූන්ට මෙය පැවසුවේ ය.
“ආයුෂ්මත්නි, යම් කලෙක මනෝභාවනීය භික්ෂුව පසුබත පිණ්ඩපාතයෙන් වැළකී පෙරළා පැමිණ පා දෝවනය කොට පළඟක් බැඳ කය ඍජු කොට භාවනා අරමුණෙහි සිහිය පිහිටුවාගෙන වාසය කරයි ද, මනෝභාවනීය භික්ෂුවක් දැකීම පිණිස එළඹෙන්නට එය සුදුසු කාලය යි.”
මෙසේ පැවසූ කල්හී තවත් භික්ෂුවක් ඒ භික්ෂුවට මෙය පැවසුවේ ය.
“ආයුෂ්මත, යම් කලෙක මනෝභාවනීය භික්ෂුව පසුබත පිණ්ඩපාතයෙන් වැළකී පෙරළා පැමිණ පා දෝවනය කොට පළඟක් බැඳ කය ඍජු කොට භාවනා අරමුණෙහි සිහිය පිහිටුවාගෙන වාසය කරයි ද, ආයුෂ්මත, මනෝභාවනීය භික්ෂුවක් දැකීම පිණිස එළඹෙන්නට එය සුදුසු කාලය නොවෙයි. එසමයෙහි ඔහුගේ පිණ්ඩපාතයේ හැසිරීමෙන් ලත් වෙහෙස ද සංසිඳුණේ නොවෙයි. එසමයෙහි ඔහුගේ දන් වැළඳීමෙන් හටගත් වෙහෙස ද සංසිඳුණේ නොවෙයි. එහෙයින් මනෝභාවනීය භික්ෂුව දකිනු පිණිස යාමට එය නොකාලය යි. ආයුෂ්මත, යම් කලෙක මනෝභාවනීය භික්ෂුව සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට විහාර සෙවණැල්ලෙහි පළඟක් බැඳ කය ඍජු කොට භාවනා අරමුණෙහි සිහිය පිහිටුවාගෙන හුන්නේ වෙයි ද, මනෝභාවනීය භික්ෂුවක් දැකීම පිණිස එළඹෙන්නට එය සුදුසු කාලය යි.”
මෙසේ පැවසූ කල්හී තවත් භික්ෂුවක් ඒ භික්ෂුවට මෙය පැවසුවේ ය.
“ආයුෂ්මත, යම් කලෙක මනෝභාවනීය භික්ෂුව සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට විහාර සෙවණැල්ලෙහි පළඟක් බැඳ කය ඍජු කොට භාවනා අරමුණෙහි සිහිය පිහිටුවාගෙන හුන්නේ වෙයි ද, මනෝභාවනීය භික්ෂුවක් දැකීම පිණිස එළඹෙන්නට එය සුදුසු කාලය නොවෙයි. ඒ භික්ෂුව විසින් දහවල් කාලයෙහි යම් සමාධි නිමිත්තක් මෙනෙහි කරන ලද්දේ වෙයි ද, එසමයෙහි ඔහුගේ මනසෙහි ඒ සමාධි නිමිත්ත හැසිරෙයි. එහෙයින් මනෝභාවනීය භික්ෂුව දකිනු පිණිස යාමට එය නොකාලය යි. ආයුෂ්මත, යම් කලක මනෝභාවනීය භික්ෂුව රාත්‍රී පශ්චිම යාමයෙහි නැගිට පළඟක් බැඳ කය ඍජු කොට භාවනා අරමුණෙහි සිහිය පිහිටුවාගෙන හුන්නේ වෙයි ද, මනෝභාවනීය භික්ෂුවක් දැකීම පිණිස එළඹෙන්නට එය සුදුසු කාලය යි.”
මෙසේ පැවසූ කල්හී තවත් භික්ෂුවක් ඒ භික්ෂුවට මෙය පැවසුවේ ය.
“ආයුෂ්මත, යම් කලෙක මනෝභාවනීය භික්ෂුව රාත්‍රී පශ්චිම යාමයෙහි නැගිට පළඟක් බැඳ කය ඍජු කොට භාවනා අරමුණෙහි සිහිය පිහිටුවාගෙන හුන්නේ වෙයි ද, එසමයෙහි ඒ භික්ෂුවගේ කයෙහි ඕජස් නැගී සිටියේ වෙයි. ඒ භික්ෂුවට බුදුරජුන්ගේ ශාසනය මෙනෙහි කරන්නට පහසු වෙයි. එහෙයින් මනෝභාවනීය භික්ෂුවක් දැකීම පිණිස එළඹෙන්නට එය සුදුසු කාලය නොවෙයි.”
මෙසේ පැවසූ කල්හී ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේ ස්ථවිර භික්ෂූන් වහන්සේලාට මෙය වදාළහ.
“ආයුෂ්මත්නි, මා විසින් භාග්‍යවතුන් වහන්සේ වෙතින් මෙකරුණ අසන ලද්දේ ය. උන්වහන්සේ වෙතින් පිළිගන්නා ලද්දේ ය.
‘භික්ෂුව, මනෝභාවනීය භික්ෂුවක් දැකීම පිණිස එළඹෙන්නට සුදුසු කල් සයකි. ඒ කවර සය කාලයක් ද යත්;
භික්ෂුව, මෙහිලා යම් කලෙක භික්ෂුවක් කාමරාගයෙන් වෙළී, කාමරාගයෙන් යටකොට ගත් සිතින් වාසය කරයි නම්, උපන්නා වූ කාමරාගයෙන් නිදහස් වීම ඒ අයුරින් ම නොදනියි නම් එසමයෙහි මනෝභාවනීය භික්ෂුවක් කරා එළඹ ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ආයුෂ්මත, මම වනාහී කාමරාගයෙන් පීඩිත ව, කාමරාගයට යටවුණු සිතින් වාසය කරමි. උපන් කාමරාගයෙන් නිදහස් වීමක් ද ඒ වූ සැටියෙන් ම නොදන්නෙමි. ආයුෂ්මත් තෙමේ ඒකාන්තයෙන් කාමරාගයේ ප්‍රහාණය පිණිස මට දහම් දෙසන්නේ නම් මැනැවැ’ යි. මනෝභාවනීය භික්ෂුව ඔහුට කාමරාගය ප්‍රහාණය වීම පිණිස ධර්මය දෙසයි. භික්ෂුව මනෝභාවනීය භික්ෂුවක් දැකීම පිණිස එළඹෙන්නට සුදුසු වූ මේ පළමු කාලය යි.
තව ද භික්ෂුව, යම් කලෙක භික්ෂුවක් ද්වේෂයෙන් වෙළී, ද්වේෂයෙන් යටකොට ගත් සිතින් වාසය කරයි නම්, ….(පෙ)…. තව ද භික්ෂුව, යම් කලෙක භික්ෂුවක් ථීනමිද්ධයෙන් වෙළී, ථිනමිද්ධයෙන් යටකොට ගත් සිතින් වාසය කරයි නම්, ….(පෙ)…. තව ද භික්ෂුව, යම් කලෙක භික්ෂුවක් උද්ධච්ච කුක්කුච්චයෙන් වෙළී, උද්ධච්ච කුක්කුච්චයෙන් යටකොට ගත් සිතින් වාසය කරයි නම්, ….(පෙ)…. තව ද භික්ෂුව, යම් කලෙක භික්ෂුවක් විචිකිච්ඡාවෙන් වෙළී, විචිකිච්ඡාවෙන් යටකොට ගත් සිතින් වාසය කරයි නම්, ….(පෙ)…. තව ද භික්ෂුව, යම් කලෙක භික්ෂුවක් යම් නිමිත්තකට පැමිණ යම් නිමිත්තක් මෙනෙහි කරන කල්හී මේ ජීවිතයේදී ම ආශ්‍රවයන්ගේ ක්ෂය වීම වෙයි ද, ඒ නිමිත්ත නොදනියි නම්, නොදකියි නම්, එසමයෙහි මනෝභාවනීය භික්ෂුවක් කරා එළඹ ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ආයුෂ්මත, මම වනාහී යම් නිමිත්තකට පැමිණ යම් නිමිත්තක් මෙනෙහි කරන කල්හී මේ ජීවිතයේදී ම ආශ්‍රවයන්ගේ ක්ෂය වීම වෙයි ද, ඒ නිමිත්ත නොදනිමි. නොදකිමි. ආයුෂ්මත් තෙමේ මට ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිණිස දහම් දෙසන්නේ නම් මැනැවැ’ යි. මනෝභාවනීය භික්ෂුව ඔහුට ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිණිස ධර්මය දෙසයි. භික්ෂුව මනෝභාවනීය භික්ෂුවක් දැකීම පිණිස එළඹෙන්නට සුදුසු වූ මේ සයවෙනි කාලය යි.’
ආයුෂ්මත්නි, ‘භික්ෂුව, මේ වනාහී මනෝභාවනීය භික්ෂුවක් දැකීම පිණිස එළඹෙන්නට සුදුසු කල් සය යි’ යනුවෙන් මා විසින් භාග්‍යවතුන් වහන්සේ වෙතින් මෙකරුණ අසන ලද්දේ ය. උන්වහන්සේ වෙතින් පිළිගන්නා ලද්දේ ය.
සාදු! සාදු!! සාදු!!!
දුතිය සමය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M