සැවැත් නුවර දී ය …..
එකල්හී එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳ ගත්තේ ය. එකත්පස් ව හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, මනෝභාවනීය භික්ෂුවක් දැකීම පිණිස එළඹෙන්නට සුදුසු කල් කෙතෙක් ද?”
ඡයිමේ භික්ඛු සමයා මනෝභාවනීයස්ස භික්ඛුනෝ දස්සනාය උපසංකමිතුං. කතමේ ඡ:
“භික්ෂුව, මනෝභාවනීය භික්ෂුවක් දැකීම පිණිස එළඹෙන්නට සුදුසු කල් සයකි. ඒ කවර සය කාලයක් ද යත්;
1. භික්ෂුව, මෙහිලා යම් කලෙක භික්ෂුවක් කාමරාගයෙන් වෙළී, කාමරාගයෙන් යටකොට ගත් සිතින් වාසය කරයි නම්, උපන්නා වූ කාමරාගයෙන් නිදහස් වීම ඒ අයුරින් ම නොදනියි නම් එසමයෙහි මනෝභාවනීය භික්ෂුවක් කරා එළඹ ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ආයුෂ්මත, මම වනාහී කාමරාගයෙන් පීඩිත ව, කාමරාගයට යටවුණු සිතින් වාසය කරමි. උපන් කාමරාගයෙන් නිදහස් වීමක් ද ඒ වූ සැටියෙන් ම නොදන්නෙමි. ආයුෂ්මත් තෙමේ ඒකාන්තයෙන් කාමරාගයේ ප්‍රහාණය පිණිස මට දහම් දෙසන්නේ නම් මැනැවැ’ යි. මනෝභාවනීය භික්ෂුව ඔහුට කාමරාගය ප්‍රහාණය වීම පිණිස ධර්මය දෙසයි. භික්ෂුව මනෝභාවනීය භික්ෂුවක් දැකීම පිණිස එළඹෙන්නට සුදුසු වූ මේ පළමු කාලය යි.
2. තව ද භික්ෂුව, යම් කලෙක භික්ෂුවක් ද්වේෂයෙන් වෙළී, ද්වේෂයෙන් යටකොට ගත් සිතින් වාසය කරයි නම්, උපන්නා වූ ද්වේෂයෙන් නිදහස් වීම ඒ අයුරින් ම නොදනියි නම් එසමයෙහි මනෝභාවනීය භික්ෂුවක් කරා එළඹ ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ආයුෂ්මත, මම වනාහී ද්වේෂයෙන් පීඩිත ව, ද්වේෂයට යටවුණු සිතින් වාසය කරමි. උපන් ද්වේෂයෙන් නිදහස් වීමක් ද ඒ වූ සැටියෙන් ම නොදන්නෙමි. ආයුෂ්මත් තෙමේ ඒකාන්තයෙන් ද්වේෂයේ ප්‍රහාණය පිණිස මට දහම් දෙසන්නේ නම් මැනැවැ’ යි. මනෝභාවනීය භික්ෂුව ඔහුට ද්වේෂය ප්‍රහාණය වීම පිණිස ධර්මය දෙසයි. භික්ෂුව මනෝභාවනීය භික්ෂුවක් දැකීම පිණිස එළඹෙන්නට සුදුසු වූ මේ දෙවෙනි කාලය යි.
3. තව ද භික්ෂුව, යම් කලෙක භික්ෂුවක් ථීනමිද්ධයෙන් වෙළී, ථිනමිද්ධයෙන් යටකොට ගත් සිතින් වාසය කරයි නම්, උපන්නා වූ ථිනමිද්ධයෙන් නිදහස් වීම ඒ අයුරින් ම නොදනියි නම් එසමයෙහි මනෝභාවනීය භික්ෂුවක් කරා එළඹ ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ආයුෂ්මත, මම වනාහී ථීනමිද්ධයෙන් පීඩිත ව, ථිනමිද්ධයට යටවුණු සිතින් වාසය කරමි. උපන් ථීනමිද්ධයෙන් නිදහස් වීමක් ද ඒ වූ සැටියෙන් ම නොදන්නෙමි. ආයුෂ්මත් තෙමේ ඒකාන්තයෙන් ථීනමිද්ධයේ ප්‍රහාණය පිණිස මට දහම් දෙසන්නේ නම් මැනැවැ’ යි. මනෝභාවනීය භික්ෂුව ඔහුට ථීනමිද්ධය ප්‍රහාණය වීම පිණිස ධර්මය දෙසයි. භික්ෂුව මනෝභාවනීය භික්ෂුවක් දැකීම පිණිස එළඹෙන්නට සුදුසු වූ මේ තෙවෙනි කාලය යි.
4. තව ද භික්ෂුව, යම් කලෙක භික්ෂුවක් උද්ධච්ච කුක්කුච්චයෙන් වෙළී, උද්ධච්ච කුක්කුච්චයෙන් යටකොට ගත් සිතින් වාසය කරයි නම්, උපන්නා වූ උද්ධච්ච කුක්කුච්චයෙන් නිදහස් වීම ඒ අයුරින් ම නොදනියි නම් එසමයෙහි මනෝභාවනීය භික්ෂුවක් කරා එළඹ ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ආයුෂ්මත, මම වනාහී උද්ධච්ච කුක්කුච්චයෙන් පීඩිත ව, උද්ධච්ච කුක්කුච්චයට යටවුණු සිතින් වාසය කරමි. උපන් උද්ධච්ච කුක්කුච්චයෙන් නිදහස් වීමක් ද ඒ වූ සැටියෙන් ම නොදන්නෙමි. ආයුෂ්මත් තෙමේ ඒකාන්තයෙන් උද්ධච්ච කුක්කුච්චයේ ප්‍රහාණය පිණිස මට දහම් දෙසන්නේ නම් මැනැවැ’ යි. මනෝභාවනීය භික්ෂුව ඔහුට උද්ධච්ච කුක්කුච්චය ප්‍රහාණය වීම පිණිස ධර්මය දෙසයි. භික්ෂුව මනෝභාවනීය භික්ෂුවක් දැකීම පිණිස එළඹෙන්නට සුදුසු වූ මේ සිව්වෙනි කාලය යි.
5. තව ද භික්ෂුව, යම් කලෙක භික්ෂුවක් විචිකිච්ඡාවෙන් වෙළී, විචිකිච්ඡාවෙන් යටකොට ගත් සිතින් වාසය කරයි නම්, උපන්නා වූ විචිකිච්ඡාවෙන් නිදහස් වීම ඒ අයුරින් ම නොදනියි නම් එසමයෙහි මනෝභාවනීය භික්ෂුවක් කරා එළඹ ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ආයුෂ්මත, මම වනාහී විචිකිච්ඡාවෙන් පීඩිත ව, විචිකිච්ඡාවට යටවුණු සිතින් වාසය කරමි. උපන් විචිකිච්ඡාවෙන් නිදහස් වීමක් ද ඒ වූ සැටියෙන් ම නොදන්නෙමි. ආයුෂ්මත් තෙමේ ඒකාන්තයෙන් විචිකිච්ඡාවේ ප්‍රහාණය පිණිස මට දහම් දෙසන්නේ නම් මැනැවැ’ යි. මනෝභාවනීය භික්ෂුව ඔහුට විචිකිච්ඡාව ප්‍රහාණය වීම පිණිස ධර්මය දෙසයි. භික්ෂුව මනෝභාවනීය භික්ෂුවක් දැකීම පිණිස එළඹෙන්නට සුදුසු වූ මේ පස්වෙනි කාලය යි.
6. තව ද භික්ෂුව, යම් කලෙක භික්ෂුවක් යම් නිමිත්තකට පැමිණ යම් නිමිත්තක් මෙනෙහි කරන කල්හී මේ ජීවිතයේදී ම ආශ්‍රවයන්ගේ ක්ෂය වීම වෙයි ද, ඒ නිමිත්ත නොදනියි නම්, නොදකියි නම්, එසමයෙහි මනෝභාවනීය භික්ෂුවක් කරා එළඹ ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ආයුෂ්මත, මම වනාහී යම් නිමිත්තකට පැමිණ යම් නිමිත්තක් මෙනෙහි කරන කල්හී මේ ජීවිතයේදී ම ආශ්‍රවයන්ගේ ක්ෂය වීම වෙයි ද, ඒ නිමිත්ත නොදනිමි. නොදකිමි. ආයුෂ්මත් තෙමේ මට ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිණිස දහම් දෙසන්නේ නම් මැනැවැ’ යි. මනෝභාවනීය භික්ෂුව ඔහුට ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිණිස ධර්මය දෙසයි. භික්ෂුව මනෝභාවනීය භික්ෂුවක් දැකීම පිණිස එළඹෙන්නට සුදුසු වූ මේ සයවෙනි කාලය යි.
භික්ෂුව, මේ වනාහී මනෝභාවනීය භික්ෂුවක් දැකීම පිණිස එළඹෙන්නට සුදුසු කල් සය යි.
සාදු! සාදු!! සාදු!!!
පඨම සමය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M