සැවැත් නුවර දී ය …….
එකල්හී ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේ ‘ආයුෂ්මත් මහණෙනි’ යි කියා භික්ෂූන් අමතා වදාළ සේක. ‘ආයුෂ්මතුන් වහන්සැ’යි ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේ මෙය වදාළ සේක.
“ආයුෂ්මත්නි, ආශ්චර්යයකි! ආයුෂ්මත්නි, අද්භූත දෙයකි! මේ වනාහී සුභාෂිතයක් ම ය. ඒ සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සත්වයන්ගේ පිරිසිදු බව පිණිස ත්, ශෝක වැළපීම් ඉක්මවීම පිණිස ත්, දුක් දොම්නස් නැතිවීම පිණිස ත්, නිවන් මග අවබෝධ වීම පිණිස ත්, නිවන සාක්ෂාත් කිරීම පිණිස ත්, පංච කාම ගුණය නම් වූ කරදර මධ්‍යයෙහි ඉඩ අවකාශ ලබාගැනීම අවබෝධ කරන ලද්දේ ය. එනම් මේ සයක් වූ සිහි කරන කරුණු ය. ඒ කවර සයක් ද යත්;
1. ආයුෂ්මත්නි, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ තථාගතයන් සිහි කරයි. එනම් ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අරහං වන සේක. ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. ආයුෂ්මත්නි, ආර්ය ශ්‍රාවකයා යම් කලෙක තථාගතයන් සිහි කරයි නම්, එසමයෙහි ඔහු තුළ රාගයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. ද්වේෂයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. මෝහයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. එසමයෙහි ඔහුගේ සිත ගේධයෙන් නික්මුණේ, මිදුණේ, නැගී සිටියේ, තථාගතයන් වහන්සේගේ ගුණ අරභයා ඍජු බවට පත්වූයේ වෙයි. ආයුෂ්මත්නි, ගේධ යනු මෙය පංචකාම ගුණයන්ට කියන්නා වූ නමකි. ආයුෂ්මත්නි, ඒ ආර්ය ශ්‍රාවක තෙමේ සර්වප්‍රකාරයෙන් ම අහස සම වූ සිතින් විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛරී නිදුක් සිතින් වාසය කරයි. ආයුෂ්මත්නි, මෙය ත් අරමුණු කොට මෙහිලා ඇතැම් සත්වයෝ මෙසේ පිරිසිදු ස්වභාවයට පත්වෙති.
2. තව ද ආයුෂ්මත්නි, ආර්ය ශ්‍රාවක තෙමේ ධර්මය සිහි කරයි. එනම් ‘භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මය ස්වාක්ඛාත වන සේක. ….(පෙ)…. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී වන සේක’ යනුවෙනි. ආයුෂ්මත්නි, ආර්ය ශ්‍රාවකයා යම් කලෙක ධර්මය සිහි කරයි නම්, එසමයෙහි ඔහු තුළ රාගයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. ද්වේෂයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. මෝහයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. එසමයෙහි ඔහුගේ සිත ගේධයෙන් නික්මුණේ, මිදුණේ, නැගී සිටියේ, ධර්මයේ ගුණ අරභයා ඍජු බවට පත්වූයේ වෙයි. ආයුෂ්මත්නි, ගේධ යනු මෙය පංචකාම ගුණයන්ට කියන්නා වූ නමකි. ආයුෂ්මත්නි, ඒ ආර්ය ශ්‍රාවක තෙමේ සර්වප්‍රකාරයෙන් ම අහස සම වූ සිතින් විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛරී නිදුක් සිතින් වාසය කරයි. ආයුෂ්මත්නි, මෙය ත් අරමුණු කොට මෙහිලා ඇතැම් සත්වයෝ මෙසේ පිරිසිදු ස්වභාවයට පත් වෙති.
3. තව ද ආයුෂ්මත්නි, ආර්ය ශ්‍රාවක තෙමේ සංඝයා සිහි කරයි. එනම් ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ සුපටිපන්න වන සේක. ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින්කෙත වන සේක’ යනුවෙනි. ආයුෂ්මත්නි, ආර්ය ශ්‍රාවකයා යම් කලෙක සංඝයා සිහි කරයි නම්, එසමයෙහි ඔහු තුළ රාගයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. ද්වේෂයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. මෝහයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. එසමයෙහි ඔහුගේ සිත ගේධයෙන් නික්මුණේ, මිදුණේ, නැගී සිටියේ, සංඝයාගේ ගුණ අරභයා ඍජු බවට පත්වූයේ වෙයි. ආයුෂ්මත්නි, ගේධ යනු මෙය පංචකාම ගුණයන්ට කියන්නා වූ නමකි. ආයුෂ්මත්නි, ඒ ආර්ය ශ්‍රාවක තෙමේ සර්වප්‍රකාරයෙන් ම අහස සම වූ සිතින් විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛරී නිදුක් සිතින් වාසය කරයි. ආයුෂ්මත්නි, මෙය ත් අරමුණු කොට මෙහිලා ඇතැම් සත්වයෝ මෙසේ පිරිසිදු ස්වභාවයට පත්වෙති.
4. තව ද ආයුෂ්මත්නි, ආර්ය ශ්‍රාවක තෙමේ තමාගේ සිල් සිහි කරයි. එනම් ‘කඩ නොවූ ත්, ….(පෙ)…. සමාධිය පිණිස පවතින්නා වූ ත් තමාගේ සිල් සිහි කරයි. ආයුෂ්මත්නි, ආර්ය ශ්‍රාවකයා යම් කලෙක සීලය සිහි කරයි නම්, එසමයෙහි ඔහු තුළ රාගයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. ද්වේෂයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. මෝහයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. එසමයෙහි ඔහුගේ සිත ගේධයෙන් නික්මුණේ, මිදුණේ, නැගී සිටියේ, සීලය අරභයා ඍජු බවට පත්වූයේ වෙයි. ආයුෂ්මත්නි, ගේධ යනු මෙය පංචකාම ගුණයන්ට කියන්නා වූ නමකි. ආයුෂ්මත්නි, ඒ ආර්ය ශ්‍රාවක තෙමේ සර්වප්‍රකාරයෙන් ම අහස සම වූ සිතින් විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛරී නිදුක් සිතින් වාසය කරයි. ආයුෂ්මත්නි, මෙය ත් අරමුණු කොට මෙහිලා ඇතැම් සත්වයෝ මෙසේ පිරිසිදු ස්වභාවයට පත්වෙති.
5. තව ද ආයුෂ්මත්නි, ආර්ය ශ්‍රාවක තෙමේ තමාගේ ත්‍යාග ගුණය සිහි කරයි. එනම් ‘ඒකාන්තයෙන් ම මට ලාභයකි. ඒකාන්තයෙන් ම මට මනා වූ ලැබීමකි. ….(පෙ)…. අනුන්ගේ ඉල්ලීමට සුදුස්සෙක්මි. දන් බෙදීමෙහි ඇලී සිටිමි’ යි තම ත්‍යාග ගුණය සිහි කරයි. ආයුෂ්මත්නි, ආර්ය ශ්‍රාවකයා යම් කලෙක ත්‍යාගය සිහි කරයි නම්, එසමයෙහි ඔහු තුළ රාගයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. ද්වේෂයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. මෝහයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. එසමයෙහි ඔහුගේ සිත ගේධයෙන් නික්මුණේ, මිදුණේ, නැගී සිටියේ, ත්‍යාගය අරභයා ඍජු බවට පත්වූයේ වෙයි. ආයුෂ්මත්නි, ගේධ යනු මෙය පංචකාම ගුණයන්ට කියන්නා වූ නමකි. ආයුෂ්මත්නි, ඒ ආර්ය ශ්‍රාවක තෙමේ සර්වප්‍රකාරයෙන් ම අහස සම වූ සිතින් විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛරී නිදුක් සිතින් වාසය කරයි. ආයුෂ්මත්නි, මෙය ත් අරමුණු කොට මෙහිලා ඇතැම් සත්වයෝ මෙසේ පිරිසිදු ස්වභාවයට පත්වෙති.
6. තව ද ආයුෂ්මත්නි, ආර්ය ශ්‍රාවක තෙමේ දේවතානුස්සතිය වඩයි. එනම් ‘චාතුර්මහාරාජික දෙවිවරු ඇත්තාහ. තව්තිසාවැසි දෙවිවරු ඇත්තාහ. යාම දෙවිවරු ඇත්තාහ. තුසිත දෙවිවරු ඇත්තාහ. නිම්මාණරතී දෙවිවරු ඇත්තාහ. පරනිම්මිත වසවත්තී දෙවිවරු ඇත්තාහ. බ්‍රහ්මකායික දෙවිවරු ඇත්තාහ. එයටත් ඉහළ තලවල දෙවිවරු ඇත්තාහ. යම්බඳු වූ ශ්‍රද්ධාවකින් යුතු ඒ දෙවිවරු මේ මනුලොවින් චුත ව එහි උපන්නාහු නම් මා තුළ ද එබඳු වූ ශ්‍රද්ධාවක් දකින්නට ලැබෙයි. යම්බඳු වූ සීලයකින් ….(පෙ)…. යම්බඳු වූ ශ්‍රැතයකින් ….(පෙ)…. යම්බඳු වූ ත්‍යාගයකින් ….(පෙ)…. යම්බඳු වූ ප්‍රඥාවකින් යුතු ඒ දෙවිවරු මේ මනුලොවින් චුත ව එහි උපන්නාහු නම් මා තුළ ද එබඳු වූ ප්‍රඥාවක් දකින්නට ලැබෙයි’ යනුවෙනි. ආයුෂ්මත්නි, ආර්ය ශ්‍රාවකයා යම් කලෙක තමාගේ ත්, ඒ දෙවියන්ගේ ත් ශ්‍රද්ධාව ත්, සීලය ත්, ශ්‍රැතය ත්, ත්‍යාගය ත්, ප්‍රඥාව ත් සිහි කරයි නම්, එසමයෙහි ඔහු තුළ රාගයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. ද්වේෂයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. මෝහයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. එසමයෙහි ඔහුගේ සිත ගේධයෙන් නික්මුණේ, මිදුණේ, නැගී සිටියේ, දෙවියන් අරභයා ඍජු බවට පත්වූයේ වෙයි. ආයුෂ්මත්නි, ගේධ යනු මෙය පංචකාම ගුණයන්ට කියන්නා වූ නමකි. ආයුෂ්මත්නි, ඒ ආර්ය ශ්‍රාවක තෙමේ සර්වප්‍රකාරයෙන් ම අහස සම වූ සිතින් විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛරී නිදුක් සිතින් වාසය කරයි. ආයුෂ්මත්නි, මෙය ත් අරමුණු කොට මෙහිලා ඇතැම් සත්වයෝ මෙසේ පිරිසිදු ස්වභාවයට පත්වෙති.
ආයුෂ්මත්නි, ආශ්චර්යයකි! ආයුෂ්මත්නි, අද්භූත දෙයකි! මේ වනාහී සුභාෂිතයක් ම ය. ඒ සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සත්වයන්ගේ පිරිසිදු බව පිණිස ත්, ශෝක වැළපීම් ඉක්මවීම පිණිස ත්, දුක් දොම්නස් නැතිවීම පිණිස ත්, නිවන් මග අවබෝධ වීම පිණිස ත්, නිවන සාක්ෂාත් කිරීම පිණිස ත්, පංච කාම ගුණය නම් වූ කරදර මධ්‍යයෙහි ඉඩ අවකාශ ලබාගැනීම අවබෝධ කරන ලද්දේ ය. එනම් මේ සයක් වූ සිහි කරන කරුණු ය.
සාදු! සාදු!! සාදු!!!
මහාකච්චාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M