එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ සවස් යාමයෙහි භාවනාවෙන් නැගිට උපස්ථාන ශාලාවට වැඩි සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක.
ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ද සවස් යාමයෙහි භාවනාවෙන් නැගිට උපස්ථාන ශාලාවට වැඩි සේක. වැඩම කොට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත් සේක. ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ද ….(පෙ)…. ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ ද ….(පෙ)…. ආයුෂ්මත් මහා කච්චායනයන් වහන්සේ ද ….(පෙ)…. ආයුෂ්මත් මහා කොට්ඨිතයන් වහන්සේ ද ….(පෙ)…. ආයුෂ්මත් මහා චුන්දයන් වහන්සේ ද ….(පෙ)…. ආයුෂ්මත් මහා කප්පිනයන් වහන්සේ ද ….(පෙ)…. ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ ද ….(පෙ)…. ආයුෂ්මත් රේවතයන් වහන්සේ ද ….(පෙ)…. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ද සවස් යාමයෙහි භාවනාවෙන් නැගිට උපස්ථාන ශාලාවට වැඩි සේක. වැඩම කොට භාග්‍යවතුන් වහන්සේ සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත් සේක.
එකල්හී භාග්‍යවතුන් වහන්සේ රාත්‍රී බොහෝ වේලා ගතවන තුරු වාඩිවීමෙන් කල්ගෙවා හුනස්නෙන් නැගිට විහාරයට පිවිසි සේක. ඒ ආයුෂ්මත් තෙරුන් වහන්සේලා ද භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ කලකින් හුනස්නෙන් නැගිට තම තමන්ගේ වෙහෙරට වැඩි සේක. එහි පැවිදි ව වැඩි කලක් නැති යම් ඒ නවක භික්ෂූහු වෙත් ද, මේ ධර්ම විනයට අළුතින් පැමිණියාහු වෙත් ද, ඔවුහු හිරු නැගෙන තෙක් ගොරවමින් සැතපී සිටියහ.
භාග්‍යවතුන් වහන්සේ මිනිස් දැක්ම ඉක්මවා ගිය පිරිසිදු දිවැසින් ඒ හිරු උදාවෙන තෙක් ගොරවමින් සැතපී සිටින භික්ෂූන් දුටු සේක. දැක උපස්ථාන ශාලාවට වැඩම කළ සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් ඇමතූ සේක.
“මහණෙනි, සාරිපුත්තයෝ කොහි යැ? මහා මොග්ගල්ලානයෝ කොහි යැ? මහා කස්සපයෝ කොහි යැ? මහා කච්චායනයෝ කොහි යැ? මහා කොට්ඨිතයෝ කොහි යැ? මහා චුන්දයෝ කොහි යැ? මහා කප්පිනයෝ කොහි යැ? අනුරුද්ධයෝ කොහි යැ? රේවතයෝ කොහි යැ? ආනන්දයෝ කොහි යැ? මහණෙනි, ඒ ස්ථවිර ශ්‍රාවකයෝ කොහි ගියාහු ද?”
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වැඩම කොට නොබෝ වේලාවකින් ඒ ආයුෂ්මත් තෙරුන් වහන්සේලා ද හුනස්නෙන් නැගිට තම තමන්ගේ වෙහෙරට වැඩි සේක.”
“මහණෙනි, ‘ස්ථවිර භික්ෂූහු වැඩම කළහ’ යි කියා නවක වූ ඔබ කුමක් නිසා හිරු නැගෙන තෙක් ගොරවමින් නිදන්නහු ද? මහණෙනි, ඒ කිමෙකැයි සිතව් ද? කිම? ඔටුණු පළන් ක්ෂත්‍රීය රජෙක් කැමති තාක් යහන් සුවයෙහි, ස්පර්ශ සුවයෙහි, නිදි සුවයෙහි යළි යළි යෙදෙමින් වාසය කරන්නේ දිවි ඇති තෙක් රාජ්‍ය කරන්නේ ජනපදවාසීන්ට ප්‍රිය මනාප වූයේ ය කියා ඔබ විසින් දැක තිබේ ද? අසා තිබේ ද?”
“ස්වාමීනී, එය නොවේ ම ය.”
“මැනැවි මහණෙනි. ඔටුණු පළන් ක්ෂත්‍රීය රජෙක් කැමති තාක් යහන් සුවයෙහි, ස්පර්ශ සුවයෙහි, නිදි සුවයෙහි යළි යළි යෙදෙමින් වාසය කරන්නේ දිවි ඇති තෙක් රාජ්‍ය කරන්නේ ජනපදවාසීන්ට ප්‍රිය මනාප වූයේ ය කියා මා විසින් ද නොදකින ලද්දේ ය. නොඅසන ලද්දේ ය.
මහණෙනි, ඒ කිමෙකැයි සිතව් ද? කිම? රට වැසියෙක් වේවා ….(පෙ)…. පියා සතු දායාදය ලැබුවෙක් වේවා ….(පෙ)…. සේනාපතියෙක් වේවා ….(පෙ)…. ගම් නායකයෙක් වේවා ….(පෙ)…. පිරිස් නායකයෙක් කැමති තාක් යහන් සුවයෙහි, ස්පර්ශ සුවයෙහි, නිදි සුවයෙහි යළි යළි යෙදෙමින් වාසය කරන්නේ දිවි ඇති තෙක් පිරිසට නායකත්වය දරන්නේ පිරිසට ප්‍රිය මනාප වූයේ ය කියා ඔබ විසින් දැක තිබේ ද? අසා තිබේ ද?”
“ස්වාමීනී, එය නොවේ ම ය.”
“මැනැවි මහණෙනි. පිරිස් නායකයෙක් කැමති තාක් යහන් සුවයෙහි, ස්පර්ශ සුවයෙහි, නිදි සුවයෙහි යළි යළි යෙදෙමින් වාසය කරන්නේ දිවි ඇති තෙක් පිරිසට නායකත්වය දරන්නේ පිරිසට ප්‍රිය මනාප වූයේ ය කියා මා විසින් ද නොදකින ලද්දේ ය. නොඅසන ලද්දේ ය.
මහණෙනි, ඒ කිමෙකැයි සිතව් ද? කිම? ශ්‍රමණයෙක් වේවා බ්‍රාහ්මණයෙක් වේවා කැමති තාක් යහන් සුවයෙහි, ස්පර්ශ සුවයෙහි, නිදි සුවයෙහි යළි යළි යෙදෙමින් වාසය කරන්නේ, ඉන්ද්‍රියන්හි නොවසා ගත් දොරටු ඇත්තේ, බොජුනෙහි අරුත නොදන්නේ, නිදි වැරීමෙහි නොයෙදුණේ, කුසල ධර්මයන්හි නොයෙදුණේ, රෑ පෙරයමෙහි – පැසුළු යමෙහි බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කිරීමෙහි නොයෙදුණේ, ආශ්‍රවයන් ක්ෂය කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම තම විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරන්නේ ය කියා ඔබ විසින් දැක තිබේ ද? අසා තිබේ ද?”
“ස්වාමීනී, එය නොවේ ම ය.”
“මැනැවි මහණෙනි. ශ්‍රමණයෙක් වේවා බ්‍රාහ්මණයෙක් වේවා කැමති තාක් යහන් සුවයෙහි, ස්පර්ශ සුවයෙහි, නිදි සුවයෙහි යළි යළි යෙදෙමින් වාසය කරන්නේ, ඉන්ද්‍රියන්හි නොවසා ගත් දොරටු ඇත්තේ, බොජුනෙහි අරුත නොදන්නේ, නිදි වැරීමෙහි නොයෙදුණේ, කුසල ධර්මයන්හි නොයෙදුණේ, රෑ පෙරයමෙහි – පැසුළු යමෙහි බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කිරීමෙහි නොයෙදුණේ, ආශ්‍රවයන් ක්ෂය කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම තම විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරන්නේ ය කියා මා විසින් ද නොදකින ලද්දේ ය. නොඅසන ලද්දේ ය.
එහෙයින් මහණෙනි, මෙසේ හික්මිය යුත්තේ ය. ‘ඉන්ද්‍රියන්හි වසා ගත් දොරටු ඇත්තහු වන්නෙමු. බොජුනෙහි අරුත දන්නෝ වන්නෙමු. නිදි වැරීමෙහි යෙදුණෝ වන්නෙමු. කුසල ධර්මයන්හි යෙදුණෝ, රෑ පෙරයමෙහි – පැසුළු යමෙහි බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කිරීමෙහි යෙදුණෝ වන්නෙමු’ යි. මහණෙනි, මෙසේ ඔබ විසින් හික්මිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
කුසල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M