අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.5.3.7. භෝග සුත්තං

5.5.3.7. භෝග සම්පත් ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, භෝග සම්පත් කෙරෙහි මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්;

භෝගයෝ ගින්නට සාධාරණ වෙති. භෝගයෝ ජලයට සාධාරණ වෙති. භෝගයෝ රජුට සාධාරණ වෙති. භෝගයෝ සොරුන්ට සාධාරණ වෙති.

භෝගයෝ තමාට ප්‍රිය නොවූ පුද්ගලයන්ගේ දායාදයට සාධාරණ වෙති.

මහණෙනි, භෝග සම්පත් කෙරෙහි මේ ආදීනව පස යි.

මහණෙනි, භෝග සම්පත් කෙරෙහි මේ අනුසස් පසකි. ඒ කවර පසක් ද යත්;

භෝග හේතුවෙන් තමා සුවපත් කරයි. පිනවයි. මැනැවින් සැපසේ ජීවත් වෙයි. මව්පියන් සුවපත් කරයි. පිනවයි. මැනැවින් සැපසේ ජීවත් වෙයි. අඹුදරු දාස කම්කරු පුරුෂයින් සුවපත් කරයි. පිනවයි. මැනැවින් සැපසේ ජීවත් වෙයි. යහළු මිත්‍රයන් සුවපත් කරයි. පිනවයි. මැනැවින් සැපසේ ජීවත් වෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි යළි යළි ත් සැප විපාක ලැබ දෙන ස්වර්ගයෙහි උපත සලසන දන් පැන් පුදන්නේ වෙයි.

මහණෙනි, භෝග සම්පත් කෙරෙහි මේ අනුසස් පස යි.

සාදු! සාදු!! සාදු!!!

භෝග සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M