සැවැත් නුවර දී ය …..
මහණෙනි, බොහෝ කල් එක් තැනක විසීමෙහි මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්;
බොහෝ බඩු රැස් කරගත් බහු භාණ්ඩිකයෙක් වෙයි. බොහෝ බෙහෙත් රැස් කරගත් බහු භේසජ්ජකයෙක් වෙයි. බොහෝ බාහිර කටයුතුවල යෙදුණේ කුමක් කුමක් කළ යුතු දැයි සොයා බලන්නේ බොහෝ කටයුතු ඇත්තේ වෙයි. ගිහි පැවිද්දන් හා එකට එක් ව වසන්නේ, නොගැලපෙන ගිහියන් හා එක් ව සිටින්නේ වෙයි. ඒ ආවාසයෙන් බැහැර යන කල්හී අපේක්ෂා සහිත ව නික්ම යන්නේ වෙයි.
මහණෙනි, මේ වනාහී බොහෝ කල් එක් තැනක විසීමෙහි ආදීනව පස යි.
මහණෙනි, අවස්ථානුකූල ව විසීමෙහි මේ අනුසස් පසකි. ඒ කවර පසක් ද යත්;
බොහෝ බඩු රැස් කරගත් බහු භාණ්ඩිකයෙක් නොවෙයි. බොහෝ බෙහෙත් රැස් කරගත් බහු භේසජ්ජකයෙක් නොවෙයි. බොහෝ බාහිර කටයුතුවල නොයෙදුණේ කුමක් කුමක් කළ යුතු දැයි සොයා නොබලන්නේ බොහෝ කටයුතු නැත්තේ වෙයි. ගිහි පැවිද්දන් හා එකට එක් ව නොවසන්නේ, නොගැලපෙන ගිහියන් හා එක් ව නොසිටින්නේ වෙයි. ඒ ආවාසයෙන් බැහැර යන කල්හී අපේක්ෂා රහිත ව නික්ම යන්නේ වෙයි.
මහණෙනි, මේ වනාහී අවස්ථානුකූල ව විසීමෙහි අනුසස් පස යි.
සාදු! සාදු!! සාදු!!!
පඨම අතිනිවාස සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M