අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.5.2.3. සීල සුත්තං

5.5.2.3. සීලය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, දුස්සීලයාගේ සීල විපත්තියෙහි මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්;

මහණෙනි, මෙහිලා සිල් වැනසුණු ගිහි දුස්සීලයා ප්‍රමාදය හේතුවෙන් මහත් වූ භෝග සම්පත්වල හානියට පැමිණෙයි. මහණෙනි, දුස්සීලයාගේ සීල විපත්තියෙහි මේ පළමු ආදීනවය යි.

තව ද මහණෙනි, සිල් වැනසුණු ගිහි දුස්සීලයාගේ ලාමක අපකීර්තියක් පැතිර යයි. මහණෙනි, දුස්සීලයාගේ සීල විපත්තියෙහි මේ දෙවෙනි ආදීනවය යි.

තව ද මහණෙනි, සිල් වැනසුණු ගිහි දුස්සීලයා ක්ෂත්‍රීය පිරිසක් හෝ වේවා, බ්‍රාහ්මණ පිරිසක් හෝ වේවා, ගෘහපති පිරිසක් හෝ වේවා, ශ්‍රමණ පිරිසක් හෝ වේවා, යම් ම වූ පිරිසක් කරා එළඹෙයි නම් තේජස් නැති ව සැක සහිත ව එළඹෙන්නේ වෙයි. මහණෙනි, දුස්සීලයාගේ සීල විපත්තියෙහි මේ තුන්වෙනි ආදීනවය යි.

තව ද මහණෙනි, සිල් වැනසුණු ගිහි දුස්සීලයා සිහිමුළා ව කළුරිය කරයි. මහණෙනි, දුස්සීලයාගේ සීල විපත්තියෙහි මේ සිව්වෙනි ආදීනවය යි.

තව ද මහණෙනි, සිල් වැනසුණු ගිහි දුස්සීලයා කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් වූ නිරයෙහි උපදියි. මහණෙනි, දුස්සීලයාගේ සීල විපත්තියෙහි මේ පස්වෙනි ආදීනවය යි.

මහණෙනි, දුස්සීලයාගේ සීල විපත්තියෙහි මේ ආදීනව පස යි.

මහණෙනි, සිල්වතාගේ සීල සම්පත්තියෙහි මේ අනුසස් පසකි. ඒ කවර පසක් ද යත්;

මහණෙනි, මෙහිලා සිල්වතා සීලසම්පන්න වූයේ අප්‍රමාදය හේතුවෙන් මහත් වූ භෝග සම්පත් දියුණුවට පැමිණෙයි. මහණෙනි, සිල්වතාගේ සීල සම්පත්තියෙහි මේ පළමු ආනිශංසය යි.

තව ද මහණෙනි, සිල්වතා සීලසම්පන්න වූයේ කල්‍යාණ කීර්ති ඝෝෂාවක් පැතිර යයි. මහණෙනි, සිල්වතාගේ සීල සම්පත්තියෙහි මේ දෙවෙනි ආනිශංසය යි.

තව ද මහණෙනි, සිල්වතා සීලසම්පන්න වූයේ ක්ෂත්‍රීය පිරිසක් හෝ වේවා, බ්‍රාහ්මණ පිරිසක් හෝ වේවා, ගෘහපති පිරිසක් හෝ වේවා, ශ්‍රමණ පිරිසක් හෝ වේවා, යම් ම වූ පිරිසක් කරා එළඹෙයි නම් විශාරද ව සැක රහිත ව එළඹෙන්නේ වෙයි. මහණෙනි, සිල්වතාගේ සීල සම්පත්තියෙහි මේ තෙවෙනි ආනිශංසය යි.

තව ද මහණෙනි, සිල්වතා සීලසම්පන්න වූයේ සිහි මුළා නොවී කළුරිය කරයි. මහණෙනි, සිල්වතාගේ සීල සම්පත්තියෙහි මේ සිව්වෙනි ආනිශංසය යි.

තව ද මහණෙනි, සිල්වතා සීලසම්පන්න වූයේ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදියි. මහණෙනි, සිල්වතාගේ සීල සම්පත්තියෙහි මේ පස්වෙනි ආනිශංසය යි.

මහණෙනි, සිල්වතාගේ සීල සම්පත්තියෙහි මේ අනුසස් පස යි.

සාදු! සාදු!! සාදු!!!

සීල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M