සැවැත් නුවර දී ය …..
මහණෙනි, සිත වෙළා බැඳෙන මේ බන්ධන පසකි. ඒ කවර පසක් ද යත්;
1. මහණෙනි, මෙහිලා භික්ෂුව පංචකාම ගුණයන් පිළිබඳව දුරු නොකර ගත් රාගයෙන් යුක්ත වූයේ වෙයි. දුරු නොකර ගත් ආශාවෙන් යුක්ත වූයේ වෙයි. දුරු නොකර ගත් ප්‍රේමයෙන් යුක්ත වූයේ වෙයි. දුරු නොකර ගත් පිපාසයෙන් යුක්ත වූයේ වෙයි. දුරු නොකර ගත් දාහයෙන් යුක්ත වූයේ වෙයි. දුරු නොකර ගත් තෘෂ්ණාවෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, යම් මේ භික්ෂුවක් පංචකාම ගුණයන් පිළිබඳව දුරු නොකර ගත් රාගයෙන් යුක්ත වූයේ නම්, දුරු නොකර ගත් ආශාවෙන් යුක්ත වූයේ නම්, දුරු නොකර ගත් ප්‍රේමයෙන් යුක්ත වූයේ නම්, දුරු නොකර ගත් පිපාසයෙන් යුක්ත වූයේ නම්, දුරු නොකර ගත් දාහයෙන් යුක්ත වූයේ නම්, දුරු නොකර ගත් තෘෂ්ණාවෙන් යුක්ත වූයේ නම් එකල්හී කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින් දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට ඔහුගේ සිත නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින් දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට යම් කරුණකින් නොපෙළඹෙයි නම් මෙසේ ඔහුගේ සිතෙහි බැඳී ඇති මෙම පළමුවෙනි බන්ධනය යි.
2.-5. තව ද මහණෙනි, භික්ෂුව කය පිළිබඳව දුරු නොකර ගත් රාගයෙන් යුක්ත වූයේ වෙයි. ….(පෙ)…. රූපය පිළිබඳව දුරු නොකර ගත් රාගයෙන් යුක්ත වූයේ වෙයි. ….(පෙ)…. තවද මහණෙනි, භික්ෂුව කුස පුරා ඇති තාක් වළඳා නින්දෙන් ලැබෙන සැපයෙහි, ස්පර්ශ සැපයෙහි, අලස සැපයෙහි යෙදෙමින් වාසය කරයි. ….(පෙ)…. තවද මහණෙනි, භික්ෂුව එක්තරා දෙව්ලොවක සිත පිහිටුවාගෙන බඹසරෙහි වාසය කරයි. එනම් ‘මම් මේ සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින්, දෙවියෙක් හෝ වන්නෙමි. අන්‍ය වූ දෙවිකෙනෙක් හෝ වන්නෙමි’යි. මහණෙනි, යම් මේ භික්ෂුවක් එක්තරා දෙව්ලොවක සිත පිහිටුවාගෙන වාසය කරයි නම්, එනම් ‘මම් මේ සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙක් හෝ වන්නෙමි. අන්‍ය වූ දෙවිකෙනෙක් හෝ වන්නෙමි’යි. එකල්හී කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින් දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට ඔහුගේ සිත නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින් දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට යම් කරුණකින් නොපෙළඹෙයි නම් මෙසේ ඔහුගේ සිතෙහි බැඳී ඇති මෙම පස්වෙනි බන්ධනය යි.
මහණෙනි, මේ වනාහී සිත වෙළා බැඳෙන මේ බන්ධන පස යි.
සාදු! සාදු!! සාදු!!!
විනිබන්ධ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M