අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.4.5.7. වස්සන්තරාය සුත්තං

5.4.5.7. වැස්සට අනතුරු වීම් ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, යම් වැසි අනතුරක් නිමිති කියන්නෝ නොදනිත් ද, යම් තැනක නිමිති කියන්නන්ගේ ඇස නොවැටෙයි ද, මේ ඒ වැස්සට ඇති අනතුරු පස ය. ඒ කවර පසක් ද යත්;

මහණෙනි, ඉහළ අහස් තලයෙහි තේජෝ ධාතුව කිපෙයි. එකල්හී උපන් වැසි වළාකුළු ඒ තේජෝ ධාතුවෙන් දැවී පහවී යයි. මහණෙනි, යම් වැසි අනතුරක් නිමිති කියන්නෝ නොදනිත් ද, යම් තැනක නිමිති කියන්නන්ගේ ඇස නොවැටෙයි ද, මේ ඒ වැස්සට ඇති පළමු අනතුර යි.

තව ද මහණෙනි, ඉහළ අහස් තලයෙහි වායෝ ධාතුව කිපෙයි. එකල්හී උපන් වැසි වළාකුළු ඒ වායෝ ධාතුවෙන් විසිර පහවී යයි. මහණෙනි, යම් වැසි අනතුරක් නිමිති කියන්නෝ නොදනිත් ද, යම් තැනක නිමිති කියන්නන්ගේ ඇස නොවැටෙයි ද, මේ ඒ වැස්සට ඇති දෙවෙනි අනතුර යි.

තව ද මහණෙනි, රාහු අසුරේන්ද්‍රයා දෝතින් අහසේ ඇති ජලය ගෙන මහා සයුරෙහි හෙලන්නේ ය. මහණෙනි, යම් වැසි අනතුරක් නිමිති කියන්නෝ නොදනිත් ද, යම් තැනක නිමිති කියන්නන්ගේ ඇස නොවැටෙයි ද, මේ ඒ වැස්සට ඇති තෙවෙනි අනතුර යි.

තව ද මහණෙනි, වැස්ස වළාහක දෙවිවරු ප්‍රමාදී ව වාසය කරති. මහණෙනි, යම් වැසි අනතුරක් නිමිති කියන්නෝ නොදනිත් ද, යම් තැනක නිමිති කියන්නන්ගේ ඇස නොවැටෙයි ද, මේ ඒ වැස්සට ඇති සිව්වෙනි අනතුර යි.

තව ද මහණෙනි, මිනිස්සු අධාර්මික ව වාසය කරති. මහණෙනි, යම් වැසි අනතුරක් නිමිති කියන්නෝ නොදනිත් ද, යම් තැනක නිමිති කියන්නන්ගේ ඇස නොවැටෙයි ද, මේ ඒ වැස්සට ඇති පස්වෙනි අනතුර යි.

මහණෙනි, යම් වැසි අනතුරක් නිමිති කියන්නෝ නොදනිත් ද, යම් තැනක නිමිති කියන්නන්ගේ ඇස නොවැටෙයි ද, මේ ඒ වැස්සට ඇති අනතුරු පස ය.

සාදු! සාදු!! සාදු!!!

වස්සන්තරාය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-5-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M