සැවැත් නුවර දී ය …..
මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ව වූයේ පංච මහා සිහිනයක් පහළ වූයේ ය. ඒ කවර සිහින පසක් ද යත්;
මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ව වූයේ මේ මහා පෘථිවිය මහා සයනාසනයක් විය. හිමාල පර්වත රාජයා කොට්ටය විය. වම් අත පූර්ව දිශාවෙහි සයුර ඉක්මවා පිහිටියේ ය. දකුණු අත බටහිර දිශාවෙහි සයුර ඉක්මවා පිහිටියේ ය. පා යුග දකුණු සයුර ඉක්මවා පිහිටියේ ය. මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ව වූයේ ම මේ පළමු වෙනි මහා සිහිනය පහළ වූයේ ය.
තව ද මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ව වූයේ තිරිය නම් වූ තෘණ වර්ගය සිය නාභියෙන් මතු ව උඩට නැගී ගොස් අහස් තලයෙහි වැද සුවිසල් ව පැතිර ගියේ ය. මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ව වූයේ ම මේ දෙවෙනි මහා සිහිනය පහළ වූයේ ය.
මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ව වූයේ කළු හිස් ඇති සුදු පැහැ ඇති පණුවෝ පාදයන් දෙපසින් නැගී දණහිස තෙක් පිරී වසා සිටියාහු ය. මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ව වූයේ ම මේ තුන් වෙනි මහා සිහිනය පහළ වූයේ ය.
තව ද මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ව වූයේ නා නා පැහැයෙන් යුතු පක්ෂීහු සතර දෙනෙක් සිව් දිශාවෙන් පියඹා අවුත් පා මුල වැතිර සියල්ලෝ ම සුදු පැහැයට පත්වූවාහු ය. මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ව වූයේ ම මේ සිව් වෙනි මහා සිහිනය පහළ වූයේ ය.
තව ද මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ව වූයේ මහත් වූ අසුචි පර්වතයක් මුදුනෙහි අසුචි නොතැවරෙමින් සක්මන් කරමින් සිටියේ ය. මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ව වූයේ ම මේ පස් වෙනි මහා සිහිනය පහළ වූයේ ය.
මහණෙනි, යම් හෙයකින් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ව වූයේ මේ මහා පෘථිවිය මහා සයනාසනයක් වූයේ ද, හිමාල පර්වත රාජයා කොට්ටය වූයේ ද, වම් අත පූර්ව දිශාවෙහි සයුර ඉක්මවා පිහිටියේ ද, දකුණු අත බටහිර දිශාවෙහි සයුර ඉක්මවා පිහිටියේ ද, පා යුග දකුණු සයුර ඉක්මවා පිහිටියේ ද, මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කරන ලද්දේ ද, ඒ අභිසම්බෝධියට නිමිත්ත වශයෙන් මේ පළමු වැනි මහා ස්වප්නය පහළ වූයේ ය.
මහණෙනි, යම් හෙයකින් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ව වූයේ තිරිය නම් වූ තෘණ වර්ගය සිය නාභියෙන් මතු ව උඩට නැගී ගොස් අහස් තලයෙහි වැද සුවිසල් ව පැතිර ගියේ ද, මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කොට යම්තාක් නුවණැති දෙවි මිනිසුන් අතර මැනැවින් ප්‍රකාශයට පත්කරන ලද්දේ වෙයි ද, ඒ අභිසම්බෝධියට නිමිත්ත වශයෙන් මේ දෙවැනි මහා ස්වප්නය පහළ වූයේ ය.
මහණෙනි, යම් හෙයකින් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ව වූයේ කළු හිස් ඇති සුදු පැහැ ඇති පණුවෝ පාදයන් දෙපසින් නැගී දණහිස තෙක් පිරී වසා සිටියාහු ද, මහණෙනි, බොහෝ සුදු වත් හඳින ගිහි ශ්‍රාවකයෝ තථාගතයන් දිවි හිමියෙන් සරණ ගත වූවාහු වෙත් ද, ඒ අභිසම්බෝධියට නිමිත්ත වශයෙන් මේ තුන් වැනි මහා ස්වප්නය පහළ වූයේ ය.
මහණෙනි, යම් හෙයකින් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ව වූයේ නා නා පැහැයෙන් යුතු පක්ෂීහු සතර දෙනෙක් සිව් දිශාවෙන් පියඹා අවුත් පා මුල වැතිර සියල්ලෝ ම සුදු පැහැයට පත්වූවාහු ද, මහණෙනි, මේ වර්ණයෝ සතරකි. ක්ෂත්රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය හා ශුද්‍ර වර්ණයන් ය. ඔවුහු ගිහි ගෙයින් නික්ම තථාගතයන් වහන්සේ ප්‍රවිදිත ධර්ම විනයෙහි පැවිදි ව අනුත්තර වූ අරහත්ඵල විමුක්තිය සාක්ෂාත් කරත් ද, ඒ අභිසම්බෝධියට නිමිත්ත වශයෙන් මේ සිව් වැනි මහා ස්වප්නය පහළ වූයේ ය.
මහණෙනි, යම් හෙයකින් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ව වූයේ මහත් වූ අසුචි පර්වතයක් මුදුනෙහි අසුචි නොතැවරෙමින් සක්මන් කරමින් සිටියේ ද, මහණෙනි, තථාගතයන් වහන්සේ සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ආදිය ලබන්නාහු වෙති. එහිලා තථාගතයන් වහන්සේ ඒ සිව්පසයට නොඇලී, මුසපත් නොවී, නොබැසගෙන, ආදීනව දකිමින්, ඇල්ම දුරුකරන ප්‍රඥාවෙන් යුතුව නොඇලෙමින් පරිහරණය කරත් ද, ඒ අභිසම්බෝධියට නිමිත්ත වශයෙන් මේ පස් වැනි මහා ස්වප්නය පහළ වූයේ ය.
මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ව වූයේ මේ පංච මහා සිහිනයෝ පහළ වූහ.
සාදු! සාදු!! සාදු!!!
මහා සුපින සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-5-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M