අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.4.5.4. කාරණපාලී සුත්තං

5.4.5.4. කාරණපාලී බ්‍රාහ්මණයාට පැවසූ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවෙසෙන සේක. එසමයෙහි කාරණපාලී බ්‍රාහ්මණයා ලිච්ඡවීන්ගේ කර්මාන්ත කටයුතු කරවයි. එකල්හී කාරණපාලී බ්‍රාහ්මණයා දුරින් ම පැමිණෙන පිංගියානි බ්‍රාහ්මණයා දුටුවේ ය. දැක පිංගියානි බ්‍රාහ්මණයා ගෙන් මෙය ඇසුවේ ය.

“භවත් පිංගියානි, කොහි සිට නම් මේ මධ්‍යාහ්නයෙහි එන්නෙහි ද?”

“භවත, මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟ සිට එන්නෙමි.”

“භවත් පිංගියානි, ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ප්‍රඥාවෙහි ව්‍යක්ත භාවය ගැන කුමක් සිතන්නෙහි ද? හේ නුවණැත්තෙකැයි සිතන්නෙහි ද?”

“භවත, මම් කවුද? ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ප්‍රඥාවෙහි ව්‍යක්ත බව කෙසේ නම් දැනගන්නෙම් ද? යමෙක් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ප්‍රඥාවේ ව්‍යක්ත භාවය ගැන දැනගන්නේ නම් ඒකාන්තයෙන් ම හේ එබඳු ම වූ කෙනෙකු විය යුතුයි.”

“භවත් පිංගියානි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේට උදාර වූ ප්‍රශංසාවෙන් ප්‍රශංසා කරනවා නොවැ.”

“භවත, මම් කවුද? ශ්‍රමණ ගෞතමයන් වහන්සේට කෙසේ ප්‍රශංසා කරන්නෙම් ද? දෙව් මිනිසුන් හට ශ්‍රේෂ්ඨ වූ ඒ භවත් ගෞතමයන් වහන්සේ ප්‍රශංසා ලබන ගුණයන්ගෙන් ම ප්‍රශංසාර්හ වන සේක.”

“භවත් පිංගියානි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තුළ කවර කරුණක් දකිමින් ද මෙතරම් ම මහා ප්‍රසාදයකින් යුක්ත ව සිටින්නේ?”

“භවත, එය මෙබඳු දෙයකි. අග්‍ර වූ රස ඇති දෙයක් අනුභව කොට තෘප්තියට පැමිණි පුරුෂයෙක් අන්‍ය වූ හීන රස ඇති දෙයට කැමති නොවන්නේ යම් සේ ද, එසෙයින් ම භවත, භවත් ගෞතමයන් වහන්සේගේ ධර්මය යම් යම් කරුණකින් අසයි නම්, එනම් සූත්‍රයෙන් වන්නට පුළුවනි, ගාථා සහිත සූත්‍රයෙන් වන්නට පුළුවනි, ගාථා රහිත සූත්‍රයෙන් වන්නට පුළුවනි, අද්භූත ධර්මයෙන් වන්නට පුළුවනි, ඒ ඒ කරුණෙන් අන්‍ය වූ බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයින්ගේ කථාවන් අසන්නට කැමැත්තක් නැත්තේ ම ය.

භවත, එය මෙබඳු දෙයකි. කුසගින්නෙන් හා දුර්වලකමින් පීඩාවට පත් පුරුෂයෙක් මී වදයක් ලැබ එහි යම් යම් තැනකින් රස විඳින්නේ, ඒ ඒ තැනින් ඉතා මියුරු වූ අතෘප්තිකර රසය ම ලබන්නේ යම් සේ ද, එසෙයින් ම භවත, භවත් ගෞතමයන් වහන්සේගේ ධර්මය යම් යම් කරුණකින් අසයි නම්, එනම් සූත්‍රයෙන් වන්නට පුළුවනි, ගාථා සහිත සූත්‍රයෙන් වන්නට පුළුවනි, ගාථා රහිත සූත්‍රයෙන් වන්නට පුළුවනි, අද්භූත ධර්මයෙන් වන්නට පුළුවනි, ඒ ඒ කරුණෙන් සිතේ සතුට ඇති වන්නේ ම ය. චිත්ත ප්‍රසාදය ලැබෙන්නේ ම ය.

භවත, එය මෙබඳු දෙයකි. සුදු සඳුන් වේවා, රත් සඳුන් වේවා, සඳුන් ගැටයක් ලැබ එහි මුලින් වේවා, මැදින් වේවා, අගින් වේවා පුරුෂයෙක් යම් යම් තැනකින් ආඝ්‍රාණය කරන්නේ අති මිහිරි වූ අතෘප්තිකර සුවඳක් ලබන්නේ යම් සේ ද, එසෙයින් ම භවත, භවත් ගෞතමයන් වහන්සේගේ ධර්මය යම් යම් කරුණකින් අසයි නම්, එනම් සූත්‍රයෙන් වන්නට පුළුවනි, ගාථා සහිත සූත්‍රයෙන් වන්නට පුළුවනි, ගාථා රහිත සූත්‍රයෙන් වන්නට පුළුවනි, අද්භූත ධර්මයෙන් වන්නට පුළුවනි, ඒ ඒ කරුණෙන් ප්‍රමුදිත බව ඇති වෙයි. සොම්නස ම ඇතිවෙයි.

භවත, එය මෙබඳු දෙයකි. රෝගී ව දුකට පැමිණි බොහෝ සේ ගිලන් වූ පුරුෂයෙක් සිටියි. දක්ෂ වෛද්‍යවරයෙක් ඔහුගේ රෝගය සැණෙකින් සුවපත් කරන්නේ යම් සේ ද, එසෙයින් ම භවත, භවත් ගෞතමයන් වහන්සේගේ ධර්මය යම් යම් කරුණකින් අසයි නම්, එනම් සූත්‍රයෙන් වන්නට පුළුවනි, ගාථා සහිත සූත්‍රයෙන් වන්නට පුළුවනි, ගාථා රහිත සූත්‍රයෙන් වන්නට පුළුවනි, අද්භූත ධර්මයෙන් වන්නට පුළුවනි, ඒ ඒ කරුණෙන් ශෝක වැළපීම් දුක් දොම්නස් උපායාසයන් නැති වී යන්නේ ය.

භවත, එය මෙබඳු දෙයකි. පැහැදිලි දිය ඇති, මිහිරි දිය ඇති, සිහිල් දිය ඇති, සුදු වැලිතලා ඇති, මනා තොට ඇති රමණීය පොකුණක් වෙයි ද, එතැනට ග්‍රීෂ්මයෙන් තැවුණු, ග්‍රීෂ්මයෙන් මැඩුණු, ක්ලාන්ත වූ පීඩාවට පත් පැන් බොනු කැමති පුරුෂයෙක් එන්නේ ද, හේ ඒ පොකුණට බැස ස්නානය කොට පැන් බී සියළු ක්ලාන්තයන්, පරිදාහයන් සංසිඳුවන්නේ යම් සේ ද, එසෙයින් ම භවත, භවත් ගෞතමයන් වහන්සේගේ ධර්මය යම් යම් කරුණකින් අසයි නම්, එනම් සූත්‍රයෙන් වන්නට පුළුවනි, ගාථා සහිත සූත්‍රයෙන් වන්නට පුළුවනි, ගාථා රහිත සූත්‍රයෙන් වන්නට පුළුවනි, අද්භූත ධර්මයෙන් වන්නට පුළුවනි, ඒ ඒ කරුණෙන් සියළු කායික මානසික පීඩා ක්ලාන්තයෝ, දාහයෝ සංසිඳී යන්නාහ.”

මෙසේ පැවසූ කල්හී කාරණපාලී බ්‍රාහ්මණ තෙමේ අසුනින් නැගිට උතුරු සළුව ඒකාංශ කොට දකුණු දණ මඬල පොළොවෙහි තබා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි දිශාවට හැරී ඇඳිලි බැඳ තුන් වරක් උදන් ඇනුවේ ය. ‘ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!’ යි.

භවත් පිංගියානි, ඉතා මනහර ය. භවත් පිංගියානි, ඉතා මනහර ය. භවත් පිංගියානි, යටිකුරු වූ දෙයක් උඩට හරවා තබන්නේ යම් සේ ද, වැසූ දෙයක් විවර කර පෙන්වන්නේ යම් සේ ද, මං මුළා වූවෙකුට නිවැරදි මග කියන්නේ යම් සේ ද, ඇස් ඇත්තෝ රූප දකිත්වා යි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ යම් සේ ද, එසෙයින් ම භවත් පිංගියානි විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්මය පවසන ලද්දේ ය. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මය ද, භික්ෂු සංඝයා ද සරණ යමි. භවත් පිංගියානි, අද පටන් මා දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් පිළිගනු මැනැව!”

සාදු! සාදු!! සාදු!!!

කාරණපාලී සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M