සැවැත් නුවර දී ය …..
එකල්හී ද්‍රෝණ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූයේ ය. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව හිඳ ගත්තේ ය. එකත්පස් ව හුන් ද්‍රෝණ බමුණා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේය.
“භවත් ගෞතමයන් වහන්ස, මෙකරුණ මවිසින් අසන ලද්දේ ය. එනම් ‘ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ජරා ජීර්ණ වූ, වයෝවෘද්ධ වූ, මහළු වූ, පිළිවෙළින් වයසට ගිය, බ්‍රාහ්මණයන්ට නොවඳින්නේ හෝ වෙයි. දැක හුනස්නෙන් නොනැගිටින්නේ හෝ වෙයි. අසුනින් නොපවරන්නේ හෝ වෙයි’ කියා ය. භවත් ගෞතමයෙනි, එය එසේ ම ය. ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ජරා ජීර්ණ වූ, වයෝවෘද්ධ වූ, මහළු වූ, පිළිවෙළින් වයසට ගිය, බ්‍රාහ්මණයන්ට නොවඳින්නේ හෝ වෙයි. දැක හුනස්නෙන් නොනැගිටින්නේ හෝ වෙයි. අසුනින් නොපවරන්නේ හෝ වෙයි. භවත් ගෞතමයන් වහන්ස, මෙය ගැලපෙන දෙයක් නම් නොවෙයි.”
“ද්‍රෝණයෙනි, ඔබ ත් බ්‍රාහ්මණයෙක් වශයෙන් ප්‍රතිඥා දෙන්නෙහි ද?”
“භවත් ගෞතමයන් වහන්ස, යමෙක් යම් කෙනෙකු අරභයා ‘මව් පසිනුත් පිය පසිනුත් යන දෙපසින් ම සුජාත උපතක් ලද, පිරිසිදු මව් කුසක් ඇති, සත්වෙනි මීමුතු පරපුර තෙක් ජාතිවාදයෙන් නින්දා නොලද, නොබැහැර කළ බ්‍රාහ්මණයා ය, උගන්වන්නා වූ වේද මන්ත්‍රධර වූ නිඝණ්ඩු, කේටූභ, සාක්ෂර ප්‍රභේද සහිත වූ ඉතිහාසය පස්වෙනි කොට ඇති ත්‍රිවේදයෙහි කෙළ පැමිණියේ ය, වේද පද හදාරණ, ව්‍යාකරණ දත්, ලෝකායත ශාස්ත්‍රයෙහි ද, මහා පුරුෂ ලක්ෂණයෙහි ද මනා දැනුමක් ඇති බ්‍රාහ්මණයා ය’ කියා මනාකොට කියන්නේ නම් භවත් ගෞතමයන් වහන්ස, ඒ මා සඳහා ම කියන්නේ ය.
භවත් ගෞතමයන් වහන්ස, මම් වනාහී මව් පසිනුත් පිය පසිනුත් යන දෙපසින් ම සුජාත උපතක් ලද, පිරිසිදු මව් කුසක් ඇති, සත්වෙනි මීමුතු පරපුර තෙක් ජාතිවාදයෙන් නින්දා නොලද, නොබැහැර කළ අයෙක්මි. උගන්වන්නා වූ වේද මන්ත්‍රධර වූ නිඝණ්ඩු, කේටූභ, සාක්ෂර ප්‍රභේද සහිත වූ ඉතිහාසය පස්වෙනි කොට ඇති ත්‍රිවේදයෙහි කෙළ පැමිණියේ ය, වේද පද හදාරණ, ව්‍යාකරණ දත්, ලෝකායත ශාස්ත්‍රයෙහි ද, මහා පුරුෂ ලක්ෂණයෙහි ද මනා දැනුමක් ඇති බ්‍රාහ්මණයෙක් වෙමි.”
“ද්‍රෝණය, බ්‍රාහ්මණයන්ගේ මන්ත්‍ර රචනා කළ, මන්ත්‍ර පැවසූ, පෙර සිටි ඍෂිවරු වෙත් ද, ඒ ඍෂිවරුන් විසින් ගයන ලද, කියන ලද, රැස් කරන ලද, ඒ පැරණි මන්ත්‍ර පද මෙකල බ්‍රාහ්මණවරු ඒ අනුව ගයත් නම්, ඒ අනුව කියත් නම්, ඒ අනුව හදාරවත් නම්, ඒ අනුව සජ්ඣායනා කරවත් නම්, ඒ අනුව වනපොත් කරවත් නම්, ඒ කවර ඍෂිවරුගේ ද? අට්ටක, වාමක, වාමදේව, වෙස්සාමිත්ත, යමතග්ගී, අංගීරස, භාරද්වාජ, වාසෙට්ඨ, කස්සප, භගු යන මේ දස ඍෂීහු ය. ඔවුහු පස් වැදෑරුම් බමුණන් පණවති. බ්‍රහ්මසම බමුණා ය, දේවසම බමුණා ය, සීමාව තුළ සිටින බමුණා ය, සීමා බිඳගත් බමුණා ය, පස්වෙනි සැඩොල් බමුණා ය වශයෙනි. ද්‍රෝණය, මොවුන් අතුරින් ඔබ අයත් වන්නේ කාට ද?”
“භවත් ගෞතමයන් වහන්ස, අපි මේ පස් වැදෑරුම් බ්‍රාහ්මණයන් ගැන නොදනිමු. වැලිදු අපි බ්‍රාහ්මණයන් බව නම් දනිමු. භවත් ගෞතමයන් වහන්සේ යම් අයුරකින් මේ පංච බ්‍රාහ්මණයන් ගැන මම දැනගන්නෙම් ද, ඒ අයුරින් මට දහම් දෙසන සේක් නම් මැනැවි.”
“එසේ වී නම් බ්‍රාහ්මණය, අසව. මැනැවින් මෙනෙහි කරව. පවසන්නෙමි.”
“එසේ ය භවතැ”යි ද්‍රෝණ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“ද්‍රෝණය, බ්‍රාහ්මණයෙක් බ්‍රහ්මයා හා සමාන වන්නේ කෙසේ ද? ද්‍රෝණය, මෙහිලා බ්‍රාහ්මණ තෙමේ මව් පසිනුත් පිය පසිනුත් යන දෙපසින් ම සුජාත උපතක් ලද, පිරිසිදු මව් කුසක් ඇති, සත්වෙනි මීමුතු පරපුර තෙක් ජාතිවාදයෙන් නින්දා නොලද, බැහැර නොකළේ වෙයි. හේ සතලිස් අට වර්ෂයක් වේදමන්ත්‍ර හදාරමින් කුමර බඹසර හැසිරෙයි. සතලිස් අට වර්ෂයක් වේදමන්ත්‍ර හදාරමින් කුමර බඹසර හැසිරී ආචාර්යවරයාට ධර්මයෙන් ම ගුරුපඬුරු සොයයි. අධර්මයෙන් නොවෙයි. ද්‍රෝණය, එහිලා ධර්මය යනු කුමක් ද? ගොවිතැනෙනුත් නොවෙයි. වෙළඳාමෙනුත් නොවෙයි. ගවයන් රැකීමෙනුත් නොවෙයි. ධනුශ්ශිල්පයෙනුත් නොවෙයි. රාජපුරුෂ බවෙනුත් නොවෙයි. වෙනත් ශිල්පයකිනුත් නොවෙයි. හුදෙක් ම භික්ෂාවෙහි හැසිරීමෙන් අතට ගත් කබලට අවමන් නොකරමින් වෙසෙයි. හේ ආචාර්යවරයාට ගුරුපඬුරු සොයා දී කෙස් රැවුල් බහා කසාවත් හැඳ පොරොවා අනගාරික ව පැවිදි වෙයි. හේ එසේ පැවිදි වූයේ මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙවෙනි දිශාව ද, තුන්වෙනි දිශාව ද, සතරවෙනි දිශාව ද, උඩ යට සරස හැම තැන්හි සියළු දෙනාට සම ලෙසින් සියළු ලෝකයා හට මෛත්‍රී සහගත වූ මහත් වූ මහග්ගත වූ අප්‍රමාණ වූ අවෛරී වූ අව්‍යාපාද සිත පතුරුවා වාසය කරයි. කරුණා ….(පෙ)…. මුදිතා ….(පෙ)…. උපේක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙවෙනි දිශාව ද, තුන්වෙනි දිශාව ද, සතරවෙනි දිශාව ද, උඩ යට සරස හැම තැන්හි සියළු දෙනාට සම ලෙසින් සියළු ලෝකයා හට උපේක්ෂා සහගත වූ මහත් වූ මහග්ගත වූ අප්‍රමාණ වූ අවෛරී වූ අව්‍යාපාද සිත පතුරවා වාසය කරයි. හේ මේ සතර බ්‍රහ්ම විහාරයන් වඩා කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත බඹලොවෙහි ඉපදෙයි. මෙසේ ද්‍රෝණය, බ්‍රාහ්මණයා බ්‍රහ්මසම වෙයි.
ද්‍රෝණය, බ්‍රාහ්මණයෙක් දෙවියන් හා සමාන වන්නේ කෙසේ ද? ද්‍රෝණය, මෙහිලා බ්‍රාහ්මණ තෙමේ මව් පසිනුත් පිය පසිනුත් යන දෙපසින් ම සුජාත උපතක් ලද, පිරිසිදු මව් කුසක් ඇති, සත්වෙනි මීමුතු පරපුර තෙක් ජාතිවාදයෙන් නින්දා නොලද, බැහැර නොකළේ වෙයි. හේ සතලිස් අට වර්ෂයක් වේදමන්ත්‍ර හදාරමින් කුමර බඹසර හැසිරෙයි. සතලිස් අට වර්ෂයක් වේදමන්ත්‍ර හදාරමින් කුමර බඹසර හැසිරී ආචාර්යවරයාට ධර්මයෙන් ම ගුරුපඬුරු සොයයි. අධර්මයෙන් නොවෙයි. ද්‍රෝණය, එහිලා ධර්මය යනු කුමක් ද? ගොවිතැනෙනුත් නොවෙයි. වෙළඳාමෙනුත් නොවෙයි. ගවයන් රැකීමෙනුත් නොවෙයි. ධනුශ්ශිල්පයෙනුත් නොවෙයි. රාජපුරුෂ බවෙනුත් නොවෙයි. වෙනත් ශිල්පයකිනුත් නොවෙයි. හුදෙක් ම භික්ෂාවෙහි හැසිරීමෙන් අතට ගත් කබලට අවමන් නොකරමින් වෙසෙයි. හේ ආචාර්යවරයාට ගුරුපඬුරු සොයා දී ධර්මයෙන් ම බිරිඳක් සොයයි. අධර්මයෙන් නොවෙයි. එහිලා ද්‍රෝණය, ධර්මය යනු කුමක් ද? මිලට ගන්නේ නොවෙයි, විකුණන්නේ නොවෙයි. අතපැන් වත්කොට දෙන බැමිණියක් ම සොයයි. හේ බැමිණිය ළඟට පමණක් යයි. ක්ෂත්‍රීය ගැහැණිය වෙත නොයයි. වෛශ්‍ය ගැහැණිය වෙත නොයයි. ශුද්‍ර ගැහැණිය වෙත නොයයි. සැඩොල් ගැහැණිය වෙත නොයයි. වැදි ගැහැණිය වෙත නොයයි. කුළුපොතු ගැහැණිය වෙත නොයයි. රථකාර ගැහැණිය වෙත නොයයි. පුක්කුස ගැහැණිය වෙත නොයයි. ගැබ්ගත් ගැහැණිය වෙත නොයයි. දරුවාට කිරි දෙන ගැහැණිය වෙත නොයයි. වැඩිවිය නොපත් ගැහැණිය වෙත නොයයි. ද්‍රෝණය, බ්‍රාහ්මණයා මක් නිසා ද ගැබිණිය වෙත නොයන්නේ ? ඉදින් ද්‍රෝණය, බ්‍රාහ්මණයා ගැබිණිය වෙත යයි නම්, ඒ දරුවා හෝ දැරිය මහා අසුචි රාශියෙහි උපදින්නේ වෙයි. එහෙයින් ද්‍රෝණය, බ්‍රාහ්මණයා ගැබිණිය කරා නොයයි. ද්‍රෝණය, බ්‍රාහ්මණයා මක් නිසා ද කිරිපොවන්නිය වෙත නොයන්නේ ? ඉදින් ද්‍රෝණය, බ්‍රාහ්මණයා දරුවාට කිරිපොවන්නිය වෙත යයි නම්, ඒ දරුවා හෝ දැරිය අසුචි පානය කරන්නේ වෙයි. එහෙයින් ද්‍රෝණය, බ්‍රාහ්මණයා කිරිපොවන්නිය කරා නොයයි. ද්‍රෝණය, බ්‍රාහ්මණයා මක් නිසා ද වැඩිවිය නොපත් ස්ත්‍රිය වෙත නොයන්නේ ? ඉදින් ද්‍රෝණය, බ්‍රාහ්මණයා වැඩිවිය නොපත් ස්ත්‍රිය වෙත යයි නම්, එය නොගැලපෙයි. බ්‍රාහ්මණයා හට බැමිණිය කාමයෙහි අරුත නොසපයන්නී වෙයි. ජවයෙහි අරුත නොසපයන්නී වෙයි. රතියෙහි අරුත නොසපයන්නී වෙයි. බ්‍රාහ්මණයා හට බැමිණිය දරු පරපුර බිහි කිරීම පිණිස ම වෙයි. හේ දරුවෙකු හෝ දැරියක උපදවා කෙස් රැවුල් බහා කසාවත් හැඳ පොරොවා ගෙන අනගාරික ව පැවිදි වෙයි. හේ එසේ පැවිදි වූයේ කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. සතරවෙනි ධ්‍යානයට සමවැදී වාසය කරන්නේ වෙයි. හේ මේ දැහැන් සතර වඩා කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි ඉපදෙයි. මෙසේ ද්‍රෝණය, බ්‍රාහ්මණයා දේවසම වෙයි.
ද්‍රෝණය, බ්‍රාහ්මණයෙක් තම සීමාවෙහි සිටින්නේ කෙසේ ද? ද්‍රෝණය, මෙහිලා බ්‍රාහ්මණ තෙමේ මව් පසිනුත් පිය පසිනුත් යන දෙපසින් ම සුජාත උපතක් ලද, පිරිසිදු මව් කුසක් ඇති, සත්වෙනි මීමුතු පරපුර තෙක් ජාතිවාදයෙන් නින්දා නොලද, බැහැර නොකළේ වෙයි. හේ සතලිස් අට වර්ෂයක් වේදමන්ත්‍ර හදාරමින් කුමර බඹසර හැසිරෙයි. සතලිස් අට වර්ෂයක් වේදමන්ත්‍ර හදාරමින් කුමර බඹසර හැසිරී ආචාර්යවරයාට ධර්මයෙන් ම ගුරුපඬුරු සොයයි. අධර්මයෙන් නොවෙයි. ද්‍රෝණය, එහිලා ධර්මය යනු කුමක් ද? ගොවිතැනෙනුත් නොවෙයි. වෙළඳාමෙනුත් නොවෙයි. ගවයන් රැකීමෙනුත් නොවෙයි. ධනුශ්ශිල්පයෙනුත් නොවෙයි. රාජපුරුෂ බවෙනුත් නොවෙයි. වෙනත් ශිල්පයකිනුත් නොවෙයි. හුදෙක් ම භික්ෂාවෙහි හැසිරීමෙන් අතට ගත් කබලට අවමන් නොකරමින් වෙසෙයි. හේ ආචාර්යවරයාට ගුරුපඬුරු සොයා දී ධර්මයෙන් ම බිරිඳක් සොයයි. අධර්මයෙන් නොවෙයි. එහිලා ද්‍රෝණය, ධර්මය යනු කුමක් ද? මිලට ගන්නේ නොවෙයි, විකුණන්නේ නොවෙයි. අතපැන් වත්කොට දෙන බැමිණියක් ම සොයයි. හේ බැමිණිය ළඟට පමණක් යයි. ක්ෂත්‍රීය ගැහැණිය වෙත නොයයි. වෛශ්‍ය ගැහැණිය වෙත නොයයි. ශුද්‍ර ගැහැණිය වෙත නොයයි. සැඩොල් ගැහැණිය වෙත නොයයි. වැදි ගැහැණිය වෙත නොයයි. කුළුපොතු ගැහැණිය වෙත නොයයි. රථකාර ගැහැණිය වෙත නොයයි. පුක්කුස ගැහැණිය වෙත නොයයි. ගැබ්ගත් ගැහැණිය වෙත නොයයි. දරුවාට කිරි දෙන ගැහැණිය වෙත නොයයි. වැඩිවිය නොපත් ගැහැණිය වෙත නොයයි. ද්‍රෝණය, බ්‍රාහ්මණයා මක් නිසා ද ගැබිණිය වෙත නොයන්නේ ? ඉදින් ද්‍රෝණය, බ්‍රාහ්මණයා ගැබිණිය වෙත යයි නම්, ….(පෙ)…. බ්‍රාහ්මණයා හට බැමිණිය දරු පරපුර බිහි කිරීම පිණිස ම වෙයි. හේ දරුවෙකු හෝ දැරියක උපදවා දරුවාගේ ආශ්වාදය කැමති ව ගිහි ගෙදර වාසය කරයි. ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි නොවෙයි. යම්තාක් බ්‍රාහ්මණයන්ගේ පැරණි සීමාව ඇද්ද, එහි ම සිටියි. එය නොඉක්මවයි. යම්තාක් බ්‍රාහ්මණයන්ගේ පැරණි සීමාව ඇද්ද, එහි ම සිටියි ද, එය නොඉක්මවයි ද එහෙයින් සීමාව තුළ සිටිය බ්‍රාහ්මණයා යැයි කියනු ලැබේ. මෙසේ ද්‍රෝණය, බ්‍රාහ්මණයා සීමාව තුළ සිටියේ වෙයි.
ද්‍රෝණය, බ්‍රාහ්මණයෙක් තම සීමාව බිඳගෙන සිටින්නේ කෙසේ ද? ද්‍රෝණය, මෙහිලා බ්‍රාහ්මණ තෙමේ මව් පසිනුත් පිය පසිනුත් යන දෙපසින් ම සුජාත උපතක් ලද, පිරිසිදු මව් කුසක් ඇති, සත්වෙනි මීමුතු පරපුර තෙක් ජාතිවාදයෙන් නින්දා නොලද, බැහැර නොකළේ වෙයි. හේ සතලිස් අට වර්ෂයක් වේදමන්ත්‍ර හදාරමින් කුමර බඹසර හැසිරෙයි. සතලිස් අට වර්ෂයක් වේදමන්ත්‍ර හදාරමින් කුමර බඹසර හැසිරී ආචාර්යවරයාට ධර්මයෙන් ම ගුරුපඬුරු සොයයි. අධර්මයෙන් නොවෙයි. ද්‍රෝණය, එහිලා ධර්මය යනු කුමක් ද? ගොවිතැනෙනුත් නොවෙයි. වෙළඳාමෙනුත් නොවෙයි. ගවයන් රැකීමෙනුත් නොවෙයි. ධනුශ්ශිල්පයෙනුත් නොවෙයි. රාජපුරුෂ බවෙනුත් නොවෙයි. වෙනත් ශිල්පයකිනුත් නොවෙයි. හුදෙක් ම භික්ෂාවෙහි හැසිරීමෙන් අතට ගත් කබලට අවමන් නොකරමින් වෙසෙයි. හේ ආචාර්යවරයාට ගුරුපඬුරු සොයා දී ධර්මයෙනුත්, අධර්මයෙනුත් බිරිඳක් සොයයි. මිලට ගන්නේ ත් වෙයි, විකුණන්නේ ත් වෙයි. අතපැන් වත්කොට දෙන බැමිණියකුත් සොයයි. හේ බැමිණිය ළඟට ත් යයි. ක්ෂත්‍රීය ගැහැණිය ළඟට ත් යයි. වෛශ්‍ය ගැහැණිය ළඟට ත් යයි. ශුද්‍ර ගැහැණිය ළඟට ත් යයි. සැඩොල් ගැහැණිය ළඟට ත් යයි. වැදි ගැහැණිය ළඟට ත් යයි. කුළුපොතු ගැහැණිය ළඟට ත් යයි. රථකාර ගැහැණිය ළඟට ත් යයි. පුක්කුස ගැහැණිය ළඟට ත් යයි. ගැබ්ගත් ගැහැණිය ළඟට ත් යයි. දරුවාට කිරි දෙන ගැහැණිය ළඟට ත් යයි. වැඩිවිය නොපත් ගැහැණිය ළඟට ත් යයි. බ්‍රාහ්මණයා හට බැමිණිය කාමයෙහි අරුත සපයන්නී ද වෙයි. ජවයෙහි අරුත සපයන්නී ද වෙයි. රතියෙහි අරුත සපයන්නී ද වෙයි. දරු පරපුර බිහි කිරීම ම පිණිස නොවෙයි. යම්තාක් බ්‍රාහ්මණයන්ගේ පැරණි සීමාව ඇද්ද, එහි නොසිටියි. එය ඉක්මවයි. යම්තාක් බ්‍රාහ්මණයන්ගේ පැරණි සීමාව ඇද්ද, එහි නොසිටියි ද, එය ඉක්මවයි ද එහෙයින් සීමාව බිඳගත් බ්‍රාහ්මණයා යැයි කියනු ලැබේ. මෙසේ ද්‍රෝණය, බ්‍රාහ්මණයා සීමාව බිඳගෙන සිටියේ වෙයි.
ද්‍රෝණය, බ්‍රාහ්මණයෙක් සැඩොලා හා සමාන වන්නේ කෙසේ ද? ද්‍රෝණය, මෙහිලා බ්‍රාහ්මණ තෙමේ මව් පසිනුත් පිය පසිනුත් යන දෙපසින් ම සුජාත උපතක් ලද, පිරිසිදු මව් කුසක් ඇති, සත්වෙනි මීමුතු පරපුර තෙක් ජාතිවාදයෙන් නින්දා නොලද, බැහැර නොකළේ වෙයි. හේ සතලිස් අට වර්ෂයක් වේදමන්ත්‍ර හදාරමින් කුමර බඹසර හැසිරෙයි. සතලිස් අට වර්ෂයක් වේදමන්ත්‍ර හදාරමින් කුමර බඹසර හැසිරී ආචාර්යවරයාට ධර්මයෙනුත්, අධර්මයෙනුත් ගුරුපඬුරු සොයයි. ද්‍රෝණය, එහිලා ධර්මය යනු කුමක් ද? ගොවිතැනෙනුත් නොවෙයි. වෙළඳාමෙනුත් නොවෙයි. ගවයන් රැකීමෙනුත් නොවෙයි. ධනුශ්ශිල්පයෙනුත් නොවෙයි. රාජපුරුෂ බවෙනුත් නොවෙයි. වෙනත් ශිල්පයකිනුත් නොවෙයි. හුදෙක් ම භික්ෂාවෙහි හැසිරීමෙන් අතට ගත් කබලට අවමන් නොකරමින් වෙසෙයි. හේ ආචාර්යවරයාට ගුරුපඬුරු සොයා දී ධර්මයෙනුත්, අධර්මයෙනුත් බිරිඳක් සොයයි. මිලට ගන්නේ ත් වෙයි, විකුණන්නේ ත් වෙයි. අතපැන් වත්කොට දෙන බැමිණියකුත් සොයයි. හේ බැමිණිය ළඟට ත් යයි. ක්ෂත්‍රීය ගැහැණිය ළඟට ත් යයි. වෛශ්‍ය ගැහැණිය ළඟට ත් යයි. ශුද්‍ර ගැහැණිය ළඟට ත් යයි. සැඩොල් ගැහැණිය ළඟට ත් යයි. වැදි ගැහැණිය ළඟට ත් යයි. කුළුපොතු ගැහැණිය ළඟට ත් යයි. රථකාර ගැහැණිය ළඟට ත් යයි. පුක්කුස ගැහැණිය ළඟට ත් යයි. ගැබ්ගත් ගැහැණිය ළඟට ත් යයි. දරුවාට කිරි දෙන ගැහැණිය ළඟට ත් යයි. වැඩිවිය නොපත් ගැහැණිය ළඟට ත් යයි. බ්‍රාහ්මණයා හට බැමිණිය කාමයෙහි අරුත සපයන්නී ද වෙයි. ජවයෙහි අරුත සපයන්නී ද වෙයි. රතියෙහි අරුත සපයන්නී ද වෙයි. දරු පරපුර බිහි කිරීම ම පිණිස නොවෙයි. හේ හැම රැකියාවකින් ම ජීවිකාව ගෙනියයි. එවිට බ්‍රාහ්මණයෝ ඔහුගෙන් මෙසේ අසන්නාහු ය. ‘භවත, කුමක් හෙයින් බ්‍රාහ්මණයෙක් යැයි ප්‍රතිඥා දෙමින් හැම රැකියාවකින් ම ජීවත් වන්නෙහි ද?’ එවිට හේ මෙසේ කියයි. ‘භවත, ගින්න යම් සේ පිරිසිදු දේ ත් දවයි ද, අපිරිසිදු දේ ත් දවයි ද, එය හා ගින්න මිශ්‍ර වන්නේ නැත. එසෙයින් ම භවත, සියළු රැකියාවන් කරමින් බ්‍රාහ්මණයා ජීවත් වෙන්නේ නමුත් එය හා ඔහු නොතැවරෙයි.’ සියළු රැකියාවන්ගෙන් ජීවත් වන්නේ ය යන කරුණෙන් ද්‍රෝණය, හේ චණ්ඩාල බ්‍රාහ්මණයා යැයි කියනු ලැබේ. මෙසේ ද්‍රෝණය, බ්‍රාහ්මණයා බ්‍රාහ්මණ චණ්ඩාලයෙක් වෙයි.
ද්‍රෝණය, බ්‍රාහ්මණයන්ගේ මන්ත්‍ර රචනා කළ, මන්ත්‍ර පැවසූ, පෙර සිටි ඍෂිවරු වෙත් ද, ඒ ඍෂිවරුන් විසින් ගයන ලද, කියන ලද, රැස් කරන ලද, ඒ පැරණි මන්ත්‍ර පද මෙකල බ්‍රාහ්මණවරු ඒ අනුව ගයත් නම්, ඒ අනුව කියත් නම්, ඒ අනුව හදාරවත් නම්, ඒ අනුව සජ්ඣායනා කරවත් නම්, ඒ අනුව වනපොත් කරවත් නම්, ඒ කවර ඍෂිවරුගේ ද? අට්ටක, වාමක, වාමදේව, වෙස්සාමිත්ත, යමතග්ගී, අංගීරස, භාරද්වාජ, වාසෙට්ඨ, කස්සප, භගු යන මේ දස ඍෂීහු ය. ඔවුහු පස් වැදෑරුම් බමුණන් පණවති. බ්‍රහ්මසම බමුණා ය, දේවසම බමුණා ය, සීමාව තුළ සිටින බමුණා ය, සීමා බිඳගත් බමුණා ය, පස්වෙනි සැඩොල් බමුණා ය වශයෙනි. ද්‍රෝණය, මොවුන් අතුරින් ඔබ අයත් වන්නේ කාට ද?” “භවත් ගෞතමයන් වහන්ස, මෙසේ ඇති කල්හී අපි සැඩොලා හා සමාන බමුණා තරම් වත් නොවටින්නෙමු.
භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර ය. ….(පෙ)…. අද පටන් මා දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් භවත් ගෞතමයන් වහන්සේ පිළිගන්නා සේක්වා !”
සාදු! සාදු!! සාදු!!!
ද්‍රෝණ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-5-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M