අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.4.5.1. සෝණ සුත්තං

5.4.5.1. සුනඛයා උපමා කොට වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, බ්‍රාහ්මණයන් තුළ තිබූ මේ පැරණි සිරිත් පස මෙකල සුනඛයන් අතර දිස්වෙයි. බ්‍රාහ්මණයන් අතර නොවෙයි. ඒ කවර පසක් ද යත්;

මහණෙනි, පෙර සිටි බමුණෝ බැමිණිය වෙත පමණක් ගියාහු ය. නොබැමිණිය වෙත නොවෙයි. මහණෙනි, මෙකල බමුණෝ බැමිණිය වෙත ත් යති. නොබැමිණිය වෙත ත් යති. මෙකල සුනඛයෝ සුනඛිය කරා පමණක් යති. සුනඛියක් නොවන එකියක් කරා නොයති. මහණෙනි, බ්‍රාහ්මණයන් තුළ තිබූ මේ පළමු පැරණි සිරිත මෙකල සුනඛයන් අතර දිස්වෙයි. බ්‍රාහ්මණයන් අතර නොවෙයි.

මහණෙනි, පෙර සිටි බමුණෝ වැඩිවිය පැමිණි බැමිණිය කරා පමණක් ගියාහු ය. වැඩිවිය නොපැමිණි බැමිණිය වෙත නොවෙයි. මහණෙනි, මෙකල බමුණෝ වැඩිවිය පැමිණි බැමිණිය වෙත ත් යති. වැඩිවිය නොපැමිණි බැමිණිය වෙත ත් යති. මෙකල සුනඛයෝ වැඩිවිය පැමිණි සුනඛිය කරා පමණක් යති. වැඩිවිය නොපැමිණි සුනඛිය කරා නොයති. මහණෙනි, බ්‍රාහ්මණයන් තුළ තිබූ මේ දෙවෙනි පැරණි සිරිත මෙකල සුනඛයන් අතර දිස්වෙයි. බ්‍රාහ්මණයන් අතර නොවෙයි.

මහණෙනි, පෙර සිටි බමුණෝ බැමිණිය මිලට නොගත්හ. අලෙවි නොකළහ. අන්‍යෝන්‍ය ප්‍රේමයෙන් ම එක් ව කුල පරම්පරාව පවත්වනු පිණිස අඹුසැමියන් ලෙස සිටියාහු ය. මහණෙනි, මෙකල බමුණෝ බැමිණිය මිලට ගනිති. අලෙවි කරති. අන්‍යෝන්‍ය ප්‍රේමයෙනුත් එක් ව කුල පරම්පරාව පවත්වනු පිණිස අඹුසැමියන් ලෙස සිටිති. අන්‍යෝන්‍ය ප්‍රේමයෙන් තොරවත් එක්ව කුල පරම්පරාව පවත්වනු පිණිස අඹුසැමියන් ලෙස සිටිති. මෙකල සුනඛයෝ සුනඛිය මිලට නොගනිති. නොවිකුණති. අන්‍යෝන්‍ය ප්‍රේමයෙන් එක් ව කුල පරම්පරාව පවත්වනු පිණිස සංවාසයේ යෙදෙති. මහණෙනි, බ්‍රාහ්මණයන් තුළ තිබූ මේ තුන්වෙනි පැරණි සිරිත මෙකල සුනඛයන් අතර දිස්වෙයි. බ්‍රාහ්මණයන් අතර නොවෙයි.

මහණෙනි, පෙර සිටි බමුණෝ රැස් කිරීම නොකළහ. ධනය ද, ධාන්‍ය ද, රිදී මිල ද, රන් මිල ද රැස් නොකළහ. මහණෙනි, මෙකල බමුණෝ ධනය ද, ධාන්‍ය ද, රිදී මිල ද, රන් මිල ද රැස් කරති. මෙකල සුනඛයෝ ධනය ද, ධාන්‍ය ද, රිදී මිල ද, රන් මිල ද රැස් නොකරති. මහණෙනි, බ්‍රාහ්මණයන් තුළ තිබූ මේ සිව්වෙනි පැරණි සිරිත මෙකල සුනඛයන් අතර දිස්වෙයි. බ්‍රාහ්මණයන් අතර නොවෙයි.

මහණෙනි, පෙර සිටි බමුණෝ සවස් වරුවෙහි ත්, උදේ වරුවෙහි ත් ආහාර උදෙසා භික්ෂාව සොයා ගියහ. මහණෙනි, මෙකල බමුණෝ කැමති තාක් කුස පුරා අනුභව කොට ඉතුරු සියල්ල ත් රැගෙන යති. මෙකල සුනඛයෝ සවස් වරුවෙහි ත්, උදේ වරුවෙහි ත් ආහාර උදෙසා භික්ෂාව සොයා යති. මහණෙනි, බ්‍රාහ්මණයන් තුළ තිබූ මේ පස්වෙනි පැරණි සිරිත මෙකල සුනඛයන් අතර දිස්වෙයි. බ්‍රාහ්මණයන් අතර නොවෙයි.

මහණෙනි, බ්‍රාහ්මණයන් තුළ තිබූ මේ පැරණි සිරිත් පස මෙකල සුනඛයන් අතර දිස්වෙයි. බ්‍රාහ්මණයන් අතර නොවෙයි.

සාදු! සාදු!! සාදු!!!

සෝණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M