සැවැත් නුවර දී ය ………..
එකල්හී අනාථපිණ්ඩික ගෘහපති තෙමේ පන්සියයක් උපාසකවරුන් පිරිවරා භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳ ගත්තේ ය. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙය වදාළ සේක.
“සාරිපුත්තයෙනි, සුදු වත් හඳිනා යම්කිසි ගිහියෙකු පන්සිල්හි පිහිටා සංවර වූ ක්‍රියා ඇති ව ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලොව ලබන සැප විහරණය ඇති සතරක් වූ ධර්මයන් කැමති සේ ලබන්නේ, නිදුකින් ලබන්නේ, බොහෝ සේ ලබන්නේ වෙයි ද, එබඳු ගිහියෙකු ගැන දන්නෙහි ද? හේ කැමති නම් තමා ගැන තමා ම පවසන්නේ ය. ‘නිරයෙන් මිදුණු කෙනෙක්මි. තිරිසන් අපායෙන් මිදුණු කෙනෙක්මි. ප්‍රේත විෂයෙන් මිදුණු කෙනෙක්මි. අපාය දුර්ගති විනිපාතියෙන් මිදුණු කෙනෙක්මි. අපායට නොවැටෙන ස්වභාව ඇත්තේ වෙමි. නියත වශයෙන් නිවන පිහිට කොට ඇති සෝවාන් වූ කෙනෙක්මි’ යි.
කවර පන්සිල්හි ද සංවර වූ ක්‍රියා ඇති ව වසන්නේ?
සාරිපුත්තයෙනි, මෙහිලා ආර්ය ශ්රාවකයා සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. සොරකමින් වැළකුණේ වෙයි. වැරදි කාම සේවනයෙන් වැළකුණේ වෙයි. බොරු කීමෙන් වැළකුණේ වෙයි. මත්වීමට ත් ප්‍රමාදයට ත් හේතුවන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණේ වෙයි. මේ පන්සිල් හි සංවර වූ ක්‍රියා ඇත්තේ වෙයි.
ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලොව ලබන සැප විහරණය ඇති සතරක් වූ කවර ධර්මයන් කැමති සේ ලබන්නේ, නිදුකින් ලබන්නේ, බොහෝ සේ ලබන්නේ ද?
සාරිපුත්තයෙනි, මෙහිලා ආර්ය ශ්රාවකයා බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වෙයි. එනම් ‘මේ මේ කරුණින් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක’යි. නොපිරිසිදු සිතෙහි පිරිසිදු බව පිණිස, නොබබලන සිතෙහි බැබලීම පිණිස වූ ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලොව ලබන සැප විහරණය ඇති ව අත්දකින පළමු කරුණ මෙය යි.
තව ද සාරිපුත්තයෙනි, ආර්ය ශ්රාවකයා ධර්මය පිළිබඳ ව නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වෙයි. එනම් ‘භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මය ස්වාක්ඛාත වන සේක. සන්දිට්ඨික වන සේක. අකාලික වන සේක. ඒහිපස්සික වන සේක. ඕපනයික වන සේක. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී වන සේක’ යි. නොපිරිසිදු සිතෙහි පිරිසිදු බව පිණිස, නොබබලන සිතෙහි බැබලීම පිණිස වූ ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලොව ලබන සැප විහරණය ඇති ව අත්දකින දෙවන කරුණ මෙය යි.
තව ද සාරිපුත්තයෙනි, ආර්ය ශ්රාවකයා ශ්‍රාවක සංඝයා පිළිබඳ ව ද නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වෙයි. එනම් ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය උජුපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ඤායපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සාමීචිපටිපන්න වන සේක. පුරුෂ යුගල සතරකින් යුතු වන සේක. පුරුෂ පුද්ගල අට දෙනෙකුගෙන් යුතු වන සේක. ආහුණෙය්‍ය වන සේක. පාහුණෙය්‍ය වන සේක. දක්ඛිණෙය්‍ය වන සේක. අංජලිකරණීය වන සේක. ලොවෙහි අනුත්තර පින්කෙත වන සේක’යි. නොපිරිසිදු සිතෙහි පිරිසිදු බව පිණිස, නොබබලන සිතෙහි බැබලීම පිණිස වූ ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලොව ලබන සැප විහරණය ඇති ව අත්දකින තෙවන කරුණ මෙය යි.
තව ද සාරිපුත්තයෙනි, ආර්ය ශ්රාවකයා ආර්යකාන්ත සීලයෙන් ද යුක්ත වෙයි. එනම්, නොබිඳුණු, සිදුරු රහිත වූ, පැල්ලම් නැති, කැලැල් නැති, ණය නැති, නුවණැත්තන් විසින් පසසනු ලබන, මිසදිටු මත ස්පර්ශ නොකළ, සමාධිය පිණිස හිත වූ සීලයකින් යුක්ත වෙයි. නොපිරිසිදු සිතෙහි පිරිසිදු බව පිණිස, නොබබලන සිතෙහි බැබලීම පිණිස වූ ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලොව ලබන සැප විහරණය ඇති ව අත්දකින සිව්වන කරුණ මෙය යි.
ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලොව ලබන සැප විහරණය ඇති සතරක් වූ මේ ධර්මයන් කැමති සේ ලබන්නේ, නිදුකින් ලබන්නේ, බොහෝසේ ලබන්නේ ය.
සාරිපුත්තයෙනි, සුදු වත් හඳිනා යම්කිසි ගිහියෙකු පන්සිල්හි පිහිටා සංවර වූ ක්‍රියා ඇතිව ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලොව ලබන සැප විහරණය ඇති සතරක් වූ ධර්මයන් කැමති සේ ලබන්නේ, නිදුකින් ලබන්නේ, බොහෝ සේ ලබන්නේ වෙයි ද, එබඳු ගිහියෙකු ගැන දන්නෙහි ද? හේ කැමති නම් තමා ගැන තමා ම පවසන්නේ ය. ‘නිරයෙන් මිදුණු කෙනෙක්මි. තිරිසන් අපායෙන් මිදුණු කෙනෙක්මි. ප්‍රේත විෂයෙන් මිදුණු කෙනෙක්මි. අපාය දුර්ගති විනිපාතියෙන් මිදුණු කෙනෙක්මි. අපායට නොවැටෙන ස්වභාව ඇත්තෙමි. නියත වශයෙන් නිවන පිහිට කොට ඇති සෝවාන් වූ කෙනෙක්මි’ යි.
(ගාථා)
1. නිරයෙහි බිය දැක නුවණැත්තා පව් අත්හරින්නේ ය. ආර්ය ධර්මය වූ පංච ශීලය සමාදන් ව පව් අත්හරින්නේ ය.
2. තමා තුළ ඇති වීරිය දැන දැන ප්‍රාණීන්ට හිංසා නොකරන්නේ ය. දැන දැන බොරු නොකියන්නේ ය. අනුන් අයත් දෙය සොරකම් නොකරන්නේ ය.
3. සිය බිරිඳ සමඟ සතුටු වන්නේ පර අඹුවන් කෙරෙහි නොඇලෙන්නේ ය. මනුෂ්‍යයා සිහිසන් නැති කරවන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත නොකරන්නේ ය.
4. සම්බුදුරජුන් සිහිකරන්නේ ය. නැවත නැවත ධර්මය මෙනෙහි කරන්නේ ය. දෙව්ලොව උපත පිණිස හිත වූ මෙත් සිත වඩන්නේ ය.
5. පිනෙන් ප්‍රයෝජන ඇති පින් සොයන්නා වූ තැනැත්තා හට දීමට යමක් ඇති කල්හී පළමු කොට නිකෙලෙස් උතුමන් හට දෙන්නේ නම් ඒ දක්ෂිණාව මහත්ඵල ලැබ දෙයි.
6. සාරිපුත්තයෙනි, ඒකාන්තයෙන් සත්පුරුෂයන් ගැන පවසමි. මාගේ වචනය අසව. මෙසේ කළු පැහැ වේවා, සුදු වේවා, රතු වේවා, රන් පැහැ වේවා,
7. ලප සහිත වේවා, සමාන රූ ඇති වේවා, පරෙවි පැහැ ඇති වේවා, මෙසේ යම් ඒ ගවයන් කෙරෙහි ශ්‍රේෂ්ඨ ගවයෙක් ඇද්ද,
8. බර ඉසිලීමෙහි සමත් වූ බලවත් වූ යහපත් ජවයෙන් හා වීරියෙන් යුක්ත වූයේ නම් ඔහුව ම බර ඉසිලීමට යොදති. එහිලා ඔහුගේ වර්ණය සලකා බලනු නොලැබේ.
9. මේ අයුරින් ම මිනිසුන් අතර යම්කිසි වර්ණයක කෙනෙක් උපන්නේ ද ක්ෂත්රීය කුලයෙහි වේවා, බ්‍රාහ්මණ කුලයෙහි වේවා, වෛශ්‍ය කුලයෙහි වේවා, ශුද්‍ර කුලයෙහි වේවා, සැඩොල් පුක්කුස කුලයෙහි වේවා,
10. යම් ම වූ මේ වර්ණයන් අතුරින් යම්කිසි කුලයක උපන්නේ, දමනයට පත් වූයේ, මනා ඇවතුම් පැවතුම් ඇත්තේ, ධර්මයේ පිහිටියේ, සිල්වත් වූයේ, සත්‍යවාදී වූයේ, ලැජ්ජා ඇත්තේ,
11. ඉපදෙන මැරෙන සසර නැතිවූයේ, පිරිපුන් බඹසර ඇත්තේ, කෙලෙස් බර බැහැර කළේ, කෙලෙසුන් හා එක් නොවූයේ, කළ යුත්ත කරන ලද්දේ, ආශ්‍රව රහිත වූයේ,
12. සසරින් එතෙරට ගියේ, කිසි දෙයක් කෙරෙහි උපාදාන වශයෙන් නොගෙන නිවී ගියේ, ඒ කෙලෙස් රහිත වූ පින් කෙතෙහි පුදන ලද දක්ෂිණාව මහත්ඵල වෙයි.
13. මෙය නොදන්නා ප්‍රඥා රහිත අශ්‍රැතවත් බාලයෝ ම බුදුසසුනෙන් බැහැර ව බොහෝ පින් තකා දන් දෙති. පින් කෙත වූ සත්පුරුෂයන් ඇසුරු නොකරති.
14. යමෙක් ප්‍රඥාවන්ත ව නුවණින් එඩිතර යැයි සම්මත ව සිට සත්පුරුෂයන් ඇසුරු කරත් ද, ඔවුන්ගේ ශ්‍රද්ධාව ද සුගතයන් වහන්සේ කෙරෙහි හටගෙන මුල් බැස පිහිටා ඇත්තේ ය.
15. ඔවුහු දෙව්ලොවට ද යති. මෙහි උතුම් කුලයක හෝ උපදිති. ඒ නුවණැත්තෝ අනුක්රමයෙන් නිවන කරා යන්නාහු ය.
සාදු! සාදු!! සාදු!!!
ගිහී සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M