අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.4.3.10. ගවේසී සුත්තං

5.4.3.10. ගවේසී උපාසක ගැන වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයෙහි මහත් භික්ෂු සංඝයා සමඟ චාරිකාවෙහි වඩින සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ දීර්ඝ මාර්ගයට පිළිපන් සේක් එක්තරා ප්‍රදේශයකදී මහා සල්වනයක් දුටු සේක. දැක මගින් බැහැර වී ඒ සල්වනය වෙත වැඩි සේක. වැඩම කොට ඒ සල්වනයෙහි ඇතුළට පිවිස එක්තරා ප්‍රදේශයක දී මඳ සිනහ පහළ කළ සේක.

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය සිතුණේ ය.

‘භාග්‍යවතුන් වහන්සේගේ සිනහ පහළ කිරීමට හේතු වූයේ කුමක් ද? ප්‍රත්‍ය වූයේ කුමක් ද? තථාගතයන් වහන්සේලා නොකරුණෙහි සිනහ පහළ නොකරන සේක’ යි. ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය වදාළ සේක.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ සිනහ පහළ කිරීමට හේතු වූයේ කුමක් ද? ප්‍රත්‍ය වූයේ කුමක් ද? තථාගතයන් වහන්සේලා නොකරුණෙහි සිනහ පහළ නොකරන සේක.”

“ආනන්දයෙනි, මේ පෙර වූ දෙයකි. මේ ප්‍රදේශයෙහි ඉතා දියුණුවට පත් වූ සැප සම්පත් පිරුණු බොහෝ ජනයා ගැවසී ගත් මිනිසුන් ගෙන් පිරී ගිය නගරයක් තිබුණේ ය. ආනන්දයෙනි, කාශ්‍යප නම් වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ නගරය ඇසුරු කොට වාසය කළහ. ආනන්දයෙනි, කාශ්‍යප නම් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට ගවේසී නමින් සිල් නොපුරන උපාසකයෙක් සිටියේ ය. ආනන්දයෙනි, ගවේසී උපාසක විසින් උපාසක බවට පමුණුවන ලද පන්සියයක් පමණ උපාසකයෝ ද සිල් නොපුරන්නෝ වූහ.

ඉක්බිති ආනන්දයෙනි, ගවේසී උපාසක හට මෙය සිතුණේ ය. ‘මම වනාහී මේ පන්සියයක් උපාසකයින්ට බොහෝ උපකාර ඇත්තෙක්මි. මුලින් ම සිටින්නෙක්මි. සමාදන් කරවන්නෙක්මි. මමත් සිල් නොපුරන්නෙක්මි. මේ පන්සියයක් උපාසකයෝ ද සිල් නොපුරන්නෝ ය. මෙකරුණෙන් සම සම වෙයි. වැඩි වෙනසක් නැත්තේ ය. එහෙයින් වැඩිපුර දෙයක් මම කරන්නෙම් නම් මැනැවි’ යි.

ඉක්බිති ආනන්දයෙනි, ගවේසී උපාසක ඒ පන්සියයක් උපාසකයින් කරා ගියේ ය. ගොස් ඒ පන්සියයක් උපාසකයින්ට මෙකරුණ සැළ කළේ ය. ‘ආයුෂ්මත්නි, මා අද පටන් සිල් පිරිපුන් කරන්නෙකු ලෙස පිළිගනිව්.’

එකල්හී ආනන්දයෙනි, ඒ පන්සියයක් උපාසකවරුන්ට මෙය සිතුණේ ය. ‘ආර්ය වූ ගවේසී තෙමේ අපට බොහෝ උපකාර ය. මුලින් ම සිටියි. සමාදන් කරවයි. ආර්ය වූ ගවේසී වනාහී සීලයෙහි පරිපූරකාරී වන්නේ ය. කිම? අපි ද එසේ නොවන්නෙමු ද?’

ඉක්බිති ආනන්දයෙනි, ඒ පන්සියයක් උපාසකයෝ ද ගවේසී උපාසක කරා ගියහ. ගොස් ගවේසී උපාසකට මෙය පැවසූහ. ‘ආර්ය වූ ගවේසී තෙමේ අද පටන් මේ පන්සියයක් උපාසකයෝ සිල් පිරිපුන් කරන්නන් ලෙස පිළිගනීවා’ යි.

ඉක්බිති ආනන්දයෙනි, ගවේසී උපාසක හට මෙය සිතුණේ ය. ‘මම වනාහී මේ පන්සියයක් උපාසකයින්ට බොහෝ උපකාර ඇත්තෙක්මි. මුලින් ම සිටින්නෙක්මි. සමාදන් කරවන්නෙක්මි. මමත් සිල් පුරන්නෙක්මි. මේ පන්සියයක් උපාසකයෝ ද සිල් පුරන්නෝ ය. මෙකරුණෙන් සම සම වෙයි. වැඩි වෙනසක් නැත්තේ ය. එහෙයින් වැඩිපුර දෙයක් මම කරන්නෙම් නම් මැනැවි’ යි.

ඉක්බිති ආනන්දයෙනි, ගවේසී උපාසක ඒ පන්සියයක් උපාසකයින් කරා ගියේ ය. ගොස් ඒ පන්සියයක් උපාසකයින්ට මෙකරුණ සැළ කළේ ය. ‘ආයුෂ්මත්නි, මා අද පටන් ලාමක දෙයක් වූ අඹුසැමියන් ලෙස හැසිරීමෙන් වෙන් වී අබ්‍රහ්මචාරී බව දුරු කොට බ්‍රහ්මචාරී ව සිටින්නෙකු ලෙස පිළිගනිව්.’

එකල්හී ආනන්දයෙනි, ඒ පන්සියයක් උපාසකවරුන්ට මෙය සිතුණේ ය. ‘ආර්ය වූ ගවේසී තෙමේ අපට බොහෝ උපකාර ය. මුලින් ම සිටියි. සමාදන් කරවයි. ආර්ය වූ ගවේසී වනාහී ලාමක දෙයක් වූ අඹුසැමියන් ලෙස හැසිරීමෙන් වෙන් වී අබ්‍රහ්මචාරී බව දුරු කොට බ්‍රහ්මචාරී ව සිටියි. කිම? අපි ද එසේ නොවන්නෙමු ද?’

ඉක්බිති ආනන්දයෙනි, ඒ පන්සියයක් උපාසකයෝ ද ගවේසී උපාසක කරා ගියහ. ගොස් ගවේසී උපාසකට මෙය පැවසූහ. ‘ආර්ය වූ ගවේසී තෙමේ අද පටන් මේ පන්සියයක් උපාසකයෝ ලාමක දෙයක් වූ අඹුසැමියන් ලෙස හැසිරීමෙන් වෙන් වී අබ්‍රහ්මචාරී බව දුරු කොට බ්‍රහ්මචාරී ව සිටින්නන් ලෙස පිළිගනීවා’ යි.

ඉක්බිති ආනන්දයෙනි, ගවේසී උපාසක හට මෙය සිතුණේ ය. ‘මම වනාහී මේ පන්සියයක් උපාසකයින්ට බොහෝ උපකාර ඇත්තෙක්මි. මුලින් ම සිටින්නෙක්මි. සමාදන් කරවන්නෙක්මි. මම ත් සිල් පුරන්නෙක්මි. මේ පන්සියයක් උපාසකයෝ ද සිල් පුරන්නෝ ය. මම ත් ලාමක දෙයක් වූ අඹුසැමියන් ලෙස හැසිරීමෙන් වෙන් වී අබ්‍රහ්මචාරී බව දුරු කොට බ්‍රහ්මචාරී ව සිටිමි. මේ පන්සියයක් උපාසකයෝ ද ලාමක දෙයක් වූ අඹුසැමියන් ලෙස හැසිරීමෙන් වෙන් වී අබ්‍රහ්මචාරී බව දුරු කොට බ්‍රහ්මචාරී ව සිටින්නෝ ය. මෙකරුණෙන් සම සම වෙයි. වැඩි වෙනසක් නැත්තේ ය. එහෙයින් වැඩිපුර දෙයක් මම කරන්නෙම් නම් මැනැවි’ යි.

ඉක්බිති ආනන්දයෙනි, ගවේසී උපාසක ඒ පන්සියයක් උපාසකයින් කරා ගියේ ය. ගොස් ඒ පන්සියයක් උපාසකයින්ට මෙකරුණ සැළ කළේ ය. ‘ආයුෂ්මත්නි, මා අද පටන් රාත්‍රී භෝජනයෙන් වැළකුණු විකල් බොජුනෙන් වැළකුණු උදේ වරුවෙහි ආහාර ගන්නා කෙනෙකු ලෙස පිළිගනිව්.’

එකල්හී ආනන්දයෙනි, ඒ පන්සියයක් උපාසකවරුන්ට මෙය සිතුණේ ය. ‘ආර්ය වූ ගවේසී තෙමේ අපට බොහෝ උපකාර ය. මුලින් ම සිටියි. සමාදන් කරවයි. ආර්ය වූ ගවේසී වනාහී රාත්‍රී භෝජනයෙන් වැළකුණු විකල් බොජුනෙන් වැළකුණු උදේ වරුවෙහි ආහාර ගන්නා කෙනෙකු ව සිටියි. කිම? අපි ද එසේ නොවන්නෙමු ද?’

ඉක්බිති ආනන්දයෙනි, ඒ පන්සියයක් උපාසකයෝ ද ගවේසී උපාසක කරා ගියහ. ගොස් ගවේසී උපාසකට මෙය පැවසූහ. ‘ආර්ය වූ ගවේසී තෙමේ අද පටන් මේ පන්සියයක් උපාසකයෝ රාත්‍රී භෝජනයෙන් වැළකුණු විකල් බොජුනෙන් වැළකුණු උදේ වරුවෙහි ආහාර ගන්නන් ලෙස පිළිගනීවා’ යි.

ඉක්බිති ආනන්දයෙනි, ගවේසී උපාසක හට මෙය සිතුණේ ය. ‘මම වනාහී මේ පන්සියයක් උපාසකයින්ට බොහෝ උපකාර ඇත්තෙක්මි. මුලින් ම සිටින්නෙක්මි. සමාදන් කරවන්නෙක්මි. මම ත් සිල් පුරන්නෙක්මි. මේ පන්සියයක් උපාසකයෝ ද සිල් පුරන්නෝ ය. මම ත් ලාමක දෙයක් වූ අඹුසැමියන් ලෙස හැසිරීමෙන් වෙන් වී අබ්‍රහ්මචාරී බව දුරු කොට බ්‍රහ්මචාරී ව සිටිමි. මේ පන්සියයක් උපාසකයෝ ද ලාමක දෙයක් වූ අඹුසැමියන් ලෙස හැසිරීමෙන් වෙන් වී අබ්‍රහ්මචාරී බව දුරු කොට බ්‍රහ්මචාරී ව සිටින්නෝ ය. මම ත් රාත්‍රී භෝජනයෙන් වැළකුණු විකල් බොජුනෙන් වැළකුණු උදේ වරුවෙහි ආහාර ගන්නෙක්මි. මේ පන්සියයක් උපාසකයෝ ද රාත්‍රී භෝජනයෙන් වැළකුණු විකල් බොජුනෙන් වැළකුණු උදේ වරුවෙහි ආහාර ගන්නෝ ය. මෙකරුණෙන් සම සම වෙයි. වැඩි වෙනසක් නැත්තේ ය. එහෙයින් වැඩිපුර දෙයක් මම කරන්නෙම් නම් මැනැවි’ යි.

ඉක්බිති ආනන්දයෙනි, ගවේසී උපාසක කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජුන් කරා ගියේ ය. ගොස් කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජුන්ට මෙය සැළ කළේ ය. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මම පැවිදි බව ලබම්වා! උපසම්පදාව ලබම්වා!’ යි. ආනන්දයෙනි, ගවේසී උපාසක කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජුන් වෙතින් පැවිද්ද ලැබුවේ ය. උපසම්පදාව ලැබුවේ ය.

ආනන්දයෙනි, උපසම්පදාව ලැබ සුළු කලෙකින් ගවේසී භික්ෂුව හුදෙකලා වූයේ ය. අප්‍රමාදී ව කෙලෙස් තවන වීරියෙන් යුතුව දහමට දිවි පුදා වාසය කරන්නේ යම් කරුණක් පිණිස කුලපුත්‍රයෝ මැනැවින් ගිහි ගෙයින් නික්ම බුදු සසුනෙහි පැවිදි වෙත් ද, ඒ බඹසරෙහි අවසානය වන අනුත්තර වූ අරහත්වය නොබෝ කලකින් ම මේ ජීවිතයේ දී තම විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය කළේ ය. ‘ඉපදීම ක්ෂය වූයේ ය. බඹසර වාසය නිමා කරන ලදී. කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු අන් දෙයක් නැතැ’ යි දැනගත්තේ ය. ඒ ගවේසී භික්ෂුව එක්තරා රහතන් වහන්සේ නමක් බවට පත්වූයේ ය.

එකල්හී ආනන්දයෙනි, ඒ පන්සියයක් උපාසකවරුන්ට මෙය සිතුණේ ය. ‘ආර්ය වූ ගවේසී තෙමේ අපට බොහෝ උපකාර ය. මුලින් ම සිටියි. සමාදන් කරවයි. ආර්ය වූ ගවේසී කෙස් රැවුල් බහා කසාවත් හැඳ පෙරව ගිහිගෙයින් නික්ම පැවිදි වූයේ ය. කිම? අපි ද එසේ නොවන්නෙමු ද?’

ඉක්බිති ආනන්දයෙනි, ඒ පන්සියයක් උපාසකවරු කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජුන් කරා ගියහ. ගොස් කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජුන්ට මෙය සැළ කළහ. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි අපි පැවිදි බව ලබම්හ! උපසම්පදාව ලබම්හ!’ යි. ආනන්දයෙනි, ඒ පන්සියයක් උපාසකවරු කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජුන් වෙතින් පැවිද්ද ලැබූහ. උපසම්පදාව ලැබූහ.

ආනන්දයෙනි, එකල්හී ගවේසී භික්ෂුවට මේ අදහස ඇතිවූයේ ය. ‘මම් වනාහී අනුත්තර වූ විමුක්ති සුවය සුව සේ, නිදුකින්, විපුල සේ ලබනසුළු වූයේ වෙමි. ඒකාන්තයෙන් මේ පන්සියයක් භික්ෂූහු ද අනුත්තර වූ විමුක්ති සුවය සුව සේ, නිදුකින්, විපුල සේ ලබනසුළු වෙත් නම් යහපති’ යි.

ආනන්දයෙනි, එකල්හී ඒ පන්සියයක් භික්ෂූහු ත් හුදෙකලා වූහ. අප්‍රමාදී ව කෙලෙස් තවන වීරියෙන් යුතුව දහමට දිවි පුදා වාසය කරන්නාහු යම් කරුණක් පිණිස කුලපුත්‍රයෝ මැනැවින් ගිහි ගෙයින් නික්ම බුදු සසුනෙහි පැවිදි වෙත් ද, ඒ බඹසරෙහි අවසානය වන අනුත්තර වූ අරහත්වය නොබෝ කලකින් ම මේ ජීවිතයේ දී තම විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට වාසය කළහ. ‘ඉපදීම ක්ෂය වූයේ ය. බඹසර වාසය නිමා කරන ලදී. කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු අන් දෙයක් නැතැ’ යි දැනගත්හ.

මෙසේ ආනන්දයෙනි, ගවේසී ප්‍රමුඛ ඒ පන්සියයක් භික්ෂූහු මතු මත්තෙහි උසස් උසස් දේ කරා යන්නට වෑයම් කරන්නාහු අනුත්තර වූ විමුක්ති සුඛය සාක්ෂාත් කළාහු ය.

එහෙයින් ආනන්දයෙනි, මෙහිලා මෙසේ හික්මිය යුත්තේය. ‘මතු මත්තෙහි උසස් උසස් දේ කරා යන්නට වෑයම් කරමින් අනුන්තර වූ විමුක්ති සුඛය සාක්ෂාත් කරන්නෙමු’ යි. ආනන්දයෙනි, ඔබ විසින් මෙසේ හික්මිය යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

ගවේසී සූත්‍රය නිමා විය.

තුන්වෙනි උපාසක වර්ගය අවසන් විය.

එහි පිළිවෙළ උද්දානය යි :

සාරජ්ජ සූත්‍රය, විසාරද සූත්‍රය, නිරය සූත්‍රය, වේර සූත්‍රය, චණ්ඩාල සූත්‍රය, පීති සූත්‍රය, වණිජ්ජා සූත්‍රය, රාජ සූත්‍රය, ගිහි සූත්‍රය සහ ගවේසී සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M