අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.4.3.6. පීති සුත්තං

5.4.3.6. ප්‍රීතිය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

එකල්හී අනාථපිණ්ඩික ගෘහපති තෙමේ පන්සියයක් පමණ උපාසකවරුන් පිරිවරා භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳ ගත්තේ ය. එකත්පස් ව හුන් අනාථපිණ්ඩික ගෘහපති හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“ගෘහපතිය, ඔබත් සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකරින් භික්ෂු සංඝයාට උපස්ථාන කරන්නාහු ය. ගෘහපතිය, එපමණකින් ම සංතෝෂයට පත් නොවිය යුත්තේ ය. එනම් ‘අපි සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකරින් භික්ෂු සංඝයාට උපස්ථාන කරමු’ යි.

එහෙයින් ගෘහපතිය, මෙසේ හික්මිය යුත්තේ ය. ‘කිම? අපි කලින් කල හුදෙකලා විවේකයෙන් ප්‍රීතිය උපදවාගෙන වසන්නෙමු දැ’ යි. ගෘහපතිය, ඔබ හික්මිය යුත්තේ මෙසේ ය.”

මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය වදාළහ.

“ස්වාමීනී, ආශ්චර්ය යි! ස්වාමීනී, අද්භූත යි! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වදාරණ ලද්දේ මොනතරම් සුභාෂිතයක් ද? එනම්, ‘ගෘහපතිය, ඔබත් සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකරින් භික්ෂු සංඝයාට උපස්ථාන කරන්නාහු ය. ගෘහපතිය, එපමණකින් ම සංතෝෂයට පත් නොවිය යුත්තේ ය. එනම් ‘අපි සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකරින් භික්ෂු සංඝයාට උපස්ථාන කරමු’ යි.

එහෙයින් ගෘහපතිය, මෙසේ හික්මිය යුත්තේ ය. ‘කිම? අපි කලින් කල හුදෙකලා විවේකයෙන් ප්‍රීතිය උපදවාගෙන වසන්නෙමු දැ’ යි. ගෘහපතිය, ඔබ හික්මිය යුත්තේ මෙසේ ය’ යි.

ස්වාමීනී, යම් කලක ආර්ය ශ්‍රාවකයා හුදෙකලාවෙහි ප්‍රීතිය උපදවා ගෙන වාසය කරයි නම් එසමයෙහි ඔහු තුළ පස් කරුණක් නැත්තේ ය.

ඔහුට කාමයන් අරභයා හටගන්නා යම් දුකක් දොම්නසක් ඇද්ද, එසමයෙහි ඔහුට එය ද නැත්තේ ය. ඔහුට කාමයන් අරභයා හටගන්නා යම් සැපක් සොම්නසක් ඇද්ද, එසමයෙහි ඔහුට එය ද නැත්තේ ය. ඔහුට අකුසල් අරභයා හටගන්නා යම් දුකක් දොම්නසක් ඇද්ද, එසමයෙහි ඔහුට එය ද නැත්තේ ය. ඔහුට අකුසල් අරභයා හටගන්නා යම් සැපක් සොම්නසක් ඇද්ද, එසමයෙහි ඔහුට එය ද නැත්තේ ය. ඔහුට කුසල් අරභයා හටගන්නා යම් දුකක් දොම්නසක් ඇද්ද, එසමයෙහි ඔහුට එය ද නැත්තේ ය.”

ස්වාමීනී, යම් කලක ආර්ය ශ්‍රාවකයා හුදෙකලාවෙහි ප්‍රීතිය උපදවා ගෙන වාසය කරයි නම් එසමයෙහි ඔහු තුළ මේ පස් කරුණ නැත්තේ ය.

“සාදු! සාදු! සාරිපුත්තයෙනි, යම් කලක ආර්ය ශ්‍රාවකයා හුදෙකලාවෙහි ප්‍රීතිය උපදවා ගෙන වාසය කරයි නම් එසමයෙහි ඔහු තුළ පස් කරුණක් නැත්තේ ය.

ඔහුට කාමයන් අරභයා හටගන්නා යම් දුකක් දොම්නසක් ඇද්ද, එසමයෙහි ඔහුට එය ද නැත්තේ ය. ඔහුට කාමයන් අරභයා හටගන්නා යම් සැපක් සොම්නසක් ඇද්ද, එසමයෙහි ඔහුට එය ද නැත්තේ ය. ඔහුට අකුසල් අරභයා හටගන්නා යම් දුකක් දොම්නසක් ඇද්ද, එසමයෙහි ඔහුට එය ද නැත්තේ ය. ඔහුට අකුසල් අරභයා හටගන්නා යම් සැපක් සොම්නසක් ඇද්ද, එසමයෙහි ඔහුට එය ද නැත්තේ ය. ඔහුට කුසල් අරභයා හටගන්නා යම් දුකක් දොම්නසක් ඇද්ද, එසමයෙහි ඔහුට එය ද නැත්තේ ය.

සාරිපුත්තයෙනි, යම් කලක ආර්ය ශ්‍රාවකයා හුදෙකලාවෙහි ප්‍රීතිය උපදවා ගෙන වාසය කරයි නම් එසමයෙහි ඔහු තුළ මේ පස් කරුණ නැත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

පීති සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M