සැවැත් නුවර දී ය ………..
එකල්හී අනාථපිණ්ඩික ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳ ගත්තේ ය. එකත්පස් ව හුන් අනාථපිණ්ඩික ගෘහපති හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“ගෘහපතිය, භය වෛර ඇතිවන කරුණු පහ ප්රහාණය නොකිරීමෙන් දුස්සීලයෙකැයි කියනු ලැබේ. නිරයෙහි ද උපදින්නේ ය. ඒ කවර පසක් ද යත්;
සතුන් මැරීම ය. සොරකම් කිරීම ය. වැරදි කාමයෙහි හැසිරීම ය. බොරු කීම ය. මත්වීමට හා ප්‍රමාදයට හේතුවන මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතය ය.
ගෘහපතිය, මේ භය වෛර ඇතිවන කරුණු පහ ප්රහාණය නොකිරීමෙන් දුස්සීලයෙකැයි කියනු ලැබේ. නිරයෙහි ද උපදින්නේ ය.
ගෘහපතිය, භය වෛර ඇතිවන කරුණු පහ ප්රහාණය කිරීමෙන් සිල්වතෙකැයි කියනු ලැබේ. සුගතියෙහි ද උපදින්නේ ය. ඒ කවර පසක් ද යත්;
සතුන් මැරීම ය. සොරකම් කිරීම ය. වැරදි කාමයෙහි හැසිරීම ය. බොරු කීම ය. මත්වීමට හා ප්‍රමාදයට හේතුවන මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතය ය.
ගෘහපතිය, මේ භය වෛර ඇතිවන කරුණු පහ ප්රහාණය කිරීමෙන් සිල්වතෙකැයි කියනු ලැබේ. සුගතියෙහි ද උපදින්නේ ය.
ගෘහපතිය, යමෙක් ප්‍රාණඝාතය කරන්නේ, ප්‍රාණඝාතය හේතුවෙන් මෙලොව දී ද යම් භයක් හා වෛරයක් උපදවා ගනියි ද, පරලොව දී ද යම් භයක් හා වෛරයක් උපදවා ගනියි ද, සිතින් ද දුක් දොම්නස් විඳියි ද, ප්‍රාණඝාතයෙන් වැළකී සිටින තැනැත්තා ඒ මෙලොව දී ලබන භය හා වෛර නොලබයි. පරලොව දී ලබන භය හා වෛර ත් නොලබයි. මානසික දුක් දොම්නසුත් නොවිඳියි. මේ අයුරින් ප්‍රාණඝාතයෙන් වැළකී සිටින්නහුගේ භය හා වෛර සංසිඳුණේ වෙයි.
ගෘහපතිය, නුදුන් දේ සොරකම් කරනා තැනැත්තා ….(පෙ)…. කාමයන්හි අනාචාරී ව හැසිරෙන්නා ….(පෙ)…. අසත්‍ය දේ පවසන්නා ….(පෙ)…. ගෘහපතිය, යමෙක් මත් වීමට ත්, ප්‍රමාදයට ත් හේතුවෙන සුරාමේරය පානය කරන්නේ, මත් වීමට ත්, ප්‍රමාදයට ත් හේතුවෙන සුරාමේරය පානය හේතුවෙන් මෙලොව දී ද යම් භයක් හා වෛරයක් උපදවා ගනියි ද, පරලොව දී ද යම් භයක් හා වෛරයක් උපදවා ගනියි ද, සිතින් ද දුක් දොම්නස් විඳියි ද, මත් වීමට ත්, ප්‍රමාදයට ත් හේතුවෙන සුරාමේරයෙන් වැළකී සිටින තැනැත්තා ඒ මෙලොව දී ලබන භය හා වෛර නොලබයි. පරලොව දී ලබන භය හා වෛර ත් නොලබයි. මානසික දුක් දොම්නසුත් නොවිඳියි. මේ අයුරින් මත් වීමට ත්, ප්‍රමාදයට ත් හේතුවෙන සුරාමේරයෙන් වැළකී සිටින්නහුගේ භය හා වෛර සංසිඳුණේ වෙයි.
(ගාථා)
1. යමෙක් සතුන් මරයි ද, බොරු කියයි ද, ලෝකයෙහි නොදුන් දේ පැහැර ගනියි ද, අනුන්ගේ අඹුවන් කරා යයි ද, යම් මිනිසෙක් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කරයි ද,
2. මේ වෛරය ඇතිවන කරුණු පස ප්රහාණය නොකිරීමෙන් හේ දුස්සීලයෙකැයි කියනු ලැබේ. ඒ දුෂ්ප්‍රාඥ තැනැත්තා කය බිඳී මරණින් මතු නිරයෙහි උපදින්නේ ය.
3. යමෙක් සතුන් නොමරයි ද, බොරු නොකියයි ද, ලෝකයෙහි නොදුන් දේ පැහැර නොගනියි ද, අනුන්ගේ අඹුවන් කරා නොයයි ද, යම් මිනිසෙක් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත නොකරයි ද,
4.මේ වෛරය ඇතිවන කරුණු පස ප්රහාණය කිරීමෙන් හේ සිල්වතෙකැයි කියනු ලැබේ. ඒ ප්‍රඥාවන්ත තැනැත්තා කය බිඳී මරණින් මතු සුගතියෙහි උපදින්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
වේර සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M