අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.4.2.9. ඛිප්පනිසන්ති සුත්තං

5.4.2.9. වහා වැටහීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සමඟ සතුටු වූහ. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙය පැවසූහ.

“ආයුෂ්මත් සාරිපුත්තයෙනි, කොපමණ කරුණකින් භික්ෂුව කුසල් දහම්හි වහා වැටහෙන නුවණ ඇත්තේ වෙයි ද? මනාකොට ගන්නා ලද්දේ වෙයි ද? බොහෝ කොට ගන්නේ වෙයි ද? ගන්නා ලද ධර්මය නොනැසෙන්නේ වෙයි ද?”

“ආයුෂ්මත් ආනන්දයෝ බහුශ්‍රැත වූවාහු නොවැ. ආයුෂ්මත් ආනන්දයන්ට ම මෙය වැටහේවා!”

“එසේ වී ආයුෂ්මත් සාරිපුත්තයෙනි, අසනු මැනැවි. මනාකොට මෙනෙහි කළ මැනැවි. පවසන්නෙමි.”

“එසේ ය, ආයුෂ්මත” යි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ මෙය වදාළහ.

“ආයුෂ්මත් සාරිපුත්තයෙනි, මෙහිලා භික්ෂුව අර්ථ දැනීමෙහි දක්ෂ වෙයි. ධර්මය දැනීමෙහි ත් දක්ෂ වෙයි. ධර්ම විග්‍රහයෙහි ත් දක්ෂ වෙයි. ධර්ම පද ව්‍යඤ්ජනයෙහි ත් දක්ෂ වෙයි. පූර්වාපර ගැලපීමෙහි ත් දක්ෂ වෙයි. ආයුෂ්මත් සාරිපුත්තයෙනි, මෙපමණකින් භික්ෂුව කුසල් දහම්හි වහා වැටහෙන නුවණ ඇත්තේ වෙයි. මනාකොට ගන්නා ලද්දේ වෙයි. බොහෝ කොට ගන්නේ වෙයි. ගන්නා ලද ධර්මය නොනැසෙන්නේ වෙයි.”

“ආයුෂ්මත, ආශ්චර්යය යි! ආයුෂ්මත, අද්භූත යි! ආයුෂ්මත් ආනන්දයන් විසින් පවසන ලද්දේ මොනතරම් සුභාෂිතයක් ද? ආයුෂ්මත් ආනන්දයන් මේ පංච ධර්මයෙන් සමන්විත යැයි අපි දරා සිටිමු. එනම් ආයුෂ්මත් ආනන්දයෝ අර්ථ දැනීමෙහි දක්ෂයහ. ධර්මය දැනීමෙහි ත් දක්ෂයහ. ධර්ම විග්‍රහයෙහි ත් දක්ෂයහ. ධර්ම පද ව්‍යඤ්ජනයෙහි ත් දක්ෂයහ. පූර්වාපර ගැලපීමෙහි ත් දක්ෂයහ.”

සාදු! සාදු!! සාදු!!!

ඛිප්පනිසන්ති සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M