සැවැත් නුවර දී ය …..
එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. ….(පෙ)….
“ආයුෂ්මත්නි, වැනසුණු සිල් ඇති දුසිල් තැනැත්තා හට සම්මා සමාධිය පිණිස වූ හේතුව නැසුණේ වෙයි. සම්මා සමාධිය නැති කල්හී ‘සම්මා සමාධියෙන් තොර ව වසන්නහුට ඇත්ත ඇති සැටියෙන් ම දන්නා නුවණ පිණිස වූ හේතුව නැසුණේ වෙයි. ඇත්ත ඇති සැටියෙන් ම දන්නා නුවණ නැති කල්හී ඇත්ත ඇති සැටියෙන් ම දන්නා නුවණින් තොර ව වසන්නහුට අවබෝධයෙන්ම එපා වී නොඇල්මට පත්වන බව පිණිස වූ හේතුව නැසුණේ වෙයි. අවබෝධයෙන් ම එපා වී නොඇල්මට පත්වීම නැති කල්හී අවබෝධයෙන් ම එපා වී නොඇල්මෙන් තොර ව වසන්නහුට තමා සදහට ම නිදහස් වී ගිය බව දන්නා නුවණ පිණිස වූ හේතුව නැසුණේ වෙයි.
ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. ගිලිහී ගිය අතුඉති ඇති, ගිලිහී ගිය කොළ ඇති රුකක් ඇත්තේ ය. ඒ රුකෙහි පිට පොතු ත් වැඩී පිරිපුන් බවට නොයයි. ඇතුල් සිවිය ත්, එළය ත්, අරටුව ත් වැඩී පිරිපුන් බවට නොයයි. එසෙයින් ම ආයුෂ්මත්නි, වැනසුණු සිල් ඇති දුසිල් තැනැත්තා හට සම්මා සමාධිය පිණිස වූ හේතුව නැසුණේ වෙයි. සම්මා සමාධිය නැති කල්හී ‘සම්මා සමාධියෙන් තොර ව වසන්නහුට ඇත්ත ඇති සැටියෙන් ම දන්නා නුවණ පිණිස වූ හේතුව නැසුණේ වෙයි. ඇත්ත ඇති සැටියෙන් ම දන්නා නුවණ නැති කල්හී ඇත්ත ඇති සැටියෙන් ම දන්නා නුවණින් තොර ව වසන්නහුට අවබෝධයෙන්ම එපා වී නොඇල්මට පත්වන බව පිණිස වූ හේතුව නැසුණේ වෙයි. අවබෝධයෙන් ම එපා වී නොඇල්මට පත්වීම නැති කල්හී අවබෝධයෙන් ම එපා වී නොඇල්මෙන් තොර ව වසන්නහුට තමා සදහට ම නිදහස් වී ගිය බව දන්නා නුවණ පිණිස වූ හේතුව නැසුණේ වෙයි.
ආයුෂ්මත්නි, සීලයෙන් යුක්ත වූ සිල්වත් තැනැත්තා හට සම්මා සමාධිය නම් හේතුවෙන් යුක්ත වෙයි. සම්මා සමාධිය ඇති කල්හී ‘සම්මා සමාධියෙන් වසන්නහු ඇත්ත ඇති සැටියෙන් ම දන්නා නුවණ පිණිස වූ හේතුවෙන් ද යුක්ත වෙයි. ඇත්ත ඇති සැටියෙන් ම දන්නා නුවණ ඇති කල්හී ඇත්ත ඇති සැටියෙන් ම දන්නා නුවණින් වසන්නහු අවබෝධයෙන්ම එපා වී නොඇල්මට පත්වන බව පිණිස වූ හේතුවෙන් යුක්ත වෙයි. අවබෝධයෙන් ම එපා වී නොඇල්මට පත්වීම ඇති කල්හී අවබෝධයෙන් ම එපා වී නොඇල්මෙන් වසන්නහු තමා සදහට ම නිදහස් වී ගිය බව දන්නා නුවණ පිණිස වූ හේතුවෙන් යුක්ත වෙයි.
ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. මැනැවින් වැඩී ගිය අතුඉති ඇති, මැනැවින් වැඩී ගිය කොළ ඇති රුකක් ඇත්තේ ය. ඒ රුකෙහි පිට පොතු ත් වැඩී පිරිපුන් බවට යයි. ඇතුල් සිවිය ත්, එළය ත්, අරටුව ත් වැඩී පිරිපුන් බවට යයි. එසෙයින් ම ආයුෂ්මත්නි, සීලයෙන් යුක්ත වූ සිල්වත් තැනැත්තා හට සම්මා සමාධිය පිණිස හේතුවෙන් යුක්ත වෙයි. සම්මා සමාධිය ඇති කල්හී ‘සම්මා සමාධියෙන් වසන්නහු ඇත්ත ඇති සැටියෙන් ම දන්නා නුවණ පිණිස හේතුවෙන් ද යුක්ත වෙයි. ඇත්ත ඇති සැටියෙන් ම දන්නා නුවණ ඇති කල්හී ඇත්ත ඇති සැටියෙන් ම දන්නා නුවණින් වසන්නහු අවබෝධයෙන්ම එපා වී නොඇල්මට පත්වන බව පිණිස වූ හේතුවෙන් යුක්ත වෙයි. අවබෝධයෙන් ම එපා වී නොඇල්මට පත්වීම ඇති කල්හී අවබෝධයෙන් ම එපා වී නොඇල්මෙන් වසන්නහු තමා සදහට ම නිදහස් වී ගිය බව දන්නා නුවණ පිණිස වූ හේතුවෙන් යුක්ත වෙයි.
සාදු! සාදු!! සාදු!!!
සීල සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M