සැවැත් නුවර දී ය …..
එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. ….(පෙ)….
“ආයුෂ්මත්නි, අන්‍යයන්ට චෝදනා කරනු කැමති චෝදක භික්ෂුව විසින් පස් කරුණක් තමා තුළ පිහිටුවා ගෙන අන්‍යයන් හට චෝදනා කළ යුත්තේ ය. ඒ කවර කරුණු පසක් ද යත්;
සුදුසු කාලයෙහි කියමි, නොකාලයෙහි නොවෙයි. සත්‍ය වූ දෙයින් කියමි, අසත්‍යයෙන් නොවෙයි. මොලොක් බසින් කියමි, දරුණු වචනයෙන් නොවෙයි. යහපත් වූ දෙයින් කියමි, අයහපත් දෙයින් නොවෙයි. මෛත්‍රී සිතින් කියමි, ද්වේෂ සිතින් නොවෙයි.
ආයුෂ්මත්නි, අන්‍යයන්ට චෝදනා කරනු කැමති චෝදක භික්ෂුව විසින් මේ පස් කරුණ තමා තුළ පිහිටුවා ගෙන අන්‍යයන් හට චෝදනා කළ යුත්තේ ය.
ආයුෂ්මත්නි, මම මෙහිලා එක්තරා පුද්ගලයෙකු දකිමි. කාලයෙන් නොව අකාලයෙහි චෝදනා ලැබ කිපී සිටියි. සත්‍යයෙන් නොව අසත්‍යයෙන් චෝදනා ලැබ කිපී සිටියි. මෙලොක් බසින් නොව දරුණු වචනයෙන් චෝදනා ලැබ කිපී සිටියි. යහපත් දෙයින් නොව අයහපත් දෙයින් චෝදනා ලැබ කිපී සිටියි. මෛත්‍රී සිතින් නොව ද්වේෂ සිතින් චෝදනා ලැබ කිපී සිටියි.
ආයුෂ්මත්නි, අධර්මයෙන් චෝදනා ලැබූ භික්ෂුව හට පස් අයුරකින් නොවිපිළිසර බව ඉපිදවිය යුත්තේ ය.
‘ආයුෂ්මතුන් චෝදනා ලැබුවේ සුදුසු කාලයෙහි නොව අකාලයෙහි ය. ඔබට විපිළිසර නොවීමට එය කරුණකි. චෝදනා ලැබුවේ සත්‍යයෙන් නොව අසත්‍යයෙනි. ඔබට විපිළිසර නොවීමට එය කරුණකි. චෝදනා ලැබුවේ මොළොක් බසින් නොව දරුණු වචනයෙනි. ඔබට විපිළිසර නොවීමට එය කරුණකි. චෝදනා ලැබුවේ යහපත් දෙයින් නොව අයහපත් දෙයිනි. ඔබට විපිළිසර නොවීමට එය කරුණකි. චෝදනා ලැබුවේ මෛත්‍රී සිතින් නොව ද්වේෂ සිතින් ය. ඔබට විපිළිසර නොවීමට එය කරුණකි.’
ආයුෂ්මත්නි, අධර්මයෙන් චෝදනා ලැබූ භික්ෂුව හට මේ පස් අයුරෙන් නොවිපිළිසර බව ඉපිදවිය යුත්තේ ය.
ආයුෂ්මත්නි, අධර්මයෙන් චෝදනා කළ භික්ෂුවට හට පස් අයුරකින් විපිළිසර බව ඉපිදවිය යුත්තේ ය.
‘ආයුෂ්මතුන් චෝදනා කළේ සුදුසු කාලයෙහි නොව අකාලයෙහි ය. ඔබට විපිළිසර වීමට එය කරුණකි. චෝදනා කළේ සත්‍යයෙන් නොව අසත්‍යයෙනි. ඔබට විපිළිසර වීමට එය කරුණකි. චෝදනා කළේ මොලොක් බසින් නොව දරුණු වචනයෙනි. ඔබට විපිළිසර වීමට එය කරුණකි. චෝදනා කළේ යහපත් දෙයින් නොව අයහපත් දෙයිනි. ඔබට විපිළිසර වීමට එය කරුණකි. චෝදනා කළේ මෛත්‍රී සිතින් නොව ද්වේෂ සිතින් ය. ඔබට විපිළිසර වීමට එය කරුණකි.’
ආයුෂ්මත්නි, අධර්මයෙන් චෝදනා කළ භික්ෂුව හට මේ පස් අයුරෙන් විපිළිසර බව ඉපිදවිය යුත්තේ ය. එයට හේතුව කුමක් ද? ඒ අයුරින් තවත් භික්ෂුවකට අභූතයෙන් චෝදනා කළ යුතු යැයි නොසිතනු පිණිස යි.
ආයුෂ්මත්නි, මෙහිලා එක්තරා පුද්ගලයෙකු දකිමි. අකාලයෙන් නොව කාලයෙහි චෝදනා ලැබ කිපී සිටියි. අසත්‍යයෙන් නොව සත්‍යයෙන් චෝදනා ලැබ කිපී සිටියි. දරුණු බසින් නොව මොළොක් වචනයෙන් චෝදනා ලැබ කිපී සිටියි. අයහපත් දෙයින් නොව යහපත් දෙයින් චෝදනා ලැබ කිපී සිටියි. ද්වේෂ සිතින් නොව මෛත්‍රී සිතින් චෝදනා ලැබ කිපී සිටියි.
ආයුෂ්මත්නි, ධර්මයෙන් චෝදනා ලැබූ භික්ෂුව හට පස් අයුරකින් විපිළිසර බව ඉපිදවිය යුත්තේ ය.
‘ආයුෂ්මතුන් චෝදනා ලැබුවේ අකාලයෙහි නොව සුදුසු කාලයෙහි ය. ඔබට විපිළිසර වීමට එය කරුණකි. ආයුෂ්මතුන් චෝදනා ලැබුවේ අසත්‍යයෙන් නොව සත්‍යයෙනි. ඔබට විපිළිසර වීමට එය කරුණකි. ආයුෂ්මතුන් චෝදනා ලැබුවේ දරුණු වචනයෙන් නොව මොලොක් බසිනි. ඔබට විපිළිසර වීමට එය කරුණකි. ආයුෂ්මතුන් චෝදනා ලැබුවේ අයහපත් දෙයින් නොව යහපත් දෙයිනි. ඔබට විපිළිසර වීමට එය කරුණකි. ආයුෂ්මතුන් චෝදනා ලැබුවේ ද්වේෂ සිතින් නොව මෛත්‍රී සිතින් ය. ඔබට විපිළිසර වීමට එය කරුණකි.’
ආයුෂ්මත්නි, ධර්මයෙන් චෝදනා ලැබූ භික්ෂුව හට මේ පස් අයුරෙන් විපිළිසර බව ඉපිදවිය යුත්තේ ය.
ආයුෂ්මත්නි, ධර්මයෙන් චෝදනා කළ භික්ෂුව පස් අයුරකින් නොවිපිළිසර බව ඉපිදවිය යුත්තේ ය.
‘ආයුෂ්මතුන් චෝදනා කළේ අකාලයෙහි නොව සුදුසු කාලයෙහි ය. ඔබට විපිළිසර නොවීමට එය කරුණකි. ආයුෂ්මතුන් චෝදනා කළේ අසත්‍යයෙන් නොව සත්‍යයෙනි. ඔබට විපිළිසර නොවීමට එය කරුණකි. ආයුෂ්මතුන් චෝදනා කළේ දරුණු වචනයෙන් නොව මොළොක් බසිනි. ඔබට විපිළිසර නොවීමට එය කරුණකි. ආයුෂ්මතුන් චෝදනා කළේ අයහපත් දෙයින් නොව යහපත් දෙයිනි. ඔබට විපිළිසර නොවීමට එය කරුණකි. ආයුෂ්මතුන් චෝදනා කළේ ද්වේෂ සිතින් නොව මෛත්‍රී සිතින් ය. ඔබට විපිළිසර නොවීමට එය කරුණකි.’
ආයුෂ්මත්නි, ධර්මයෙන් චෝදනා කළ භික්ෂුව හට මේ පස් අයුරෙන් නොවිපිළිසර බව ඉපිදවිය යුත්තේ ය. එයට හේතුව කුමක් ද? ඒ අයුරින් තවත් භික්ෂුවකට සත්‍යයෙන් චෝදනා කළ යුතු යැයි සිතනු පිණිස යි.
ආයුෂ්මත්නි, චෝදනා ලැබූ පුද්ගලයා විසින් සත්‍යයෙහි ත්, නොකිපෙන බවෙහි ත් යන ධර්මයන් දෙක තුළ පිහිටා සිටිය යුතුය. ආයුෂ්මත්නි, ඉදින් මා හට වුවත් කාලයෙහි වේවා, අකාලයෙහි වේවා, සත්‍යයෙන් වේවා, අසත්‍යයෙන් වේවා, මොළොක් බසින් වේවා, දරුණු වචනයෙන් වේවා, යහපත් දෙයින් වේවා, අයහපත් දෙයින් වේවා, මෛත්‍රී සිතින් වේවා, ද්වේෂ සිතින් වේවා අන්‍යයෝ චෝදනා කරත් නම් මම් ද සත්‍යයෙහි ත්, නොකිපෙන බවෙහි ත් යන ධර්මයන් දෙක තුළ පිහිටා සිටිමි.
ඉදින් ඒ ධර්මය මා තුළ ඇතැයි දන්නෙම් නම් ඒ ධර්මය මා තුළ දකින්නට ඇතැයි කියමි. ඉදින් ඒ ධර්මය මා තුළ නැතැයි දන්නෙම් නම් ඒ ධර්මය මා තුළ දකින්නට නැතැයි කියමි.”
“සාරිපුත්තයෙනි, ඔබ විසින් ඔය අයුරින් පැවසුව ද මෙහි ඇතැම් හිස් පුරුෂයෝ එය පැදකුණු කොට නොපිළිගනිති.”
“ස්වාමීනී, යම් ශ්‍රද්ධා රහිත පුද්ගලයෝ වෙත් ද, ඔවුහු ජීවත් වීම උදෙසා ශ්‍රද්ධා නැති ව ගිහිගෙයින් නික්ම පැවිදි වූවාහු වෙති. කපටි වූ, මායා ඇති, වංචා ඇති, උඩඟු වූ ඔසොවා ගත් මාන නළ ඇති, චපල වූ, මුඛරි වූ, විසුරුණු වචන ඇති, ඉඳුරන්හි නොවැසූ දොරටු ඇති, භෝජනයෙහි අරුත් නොදන්නා, නිදිවරා කුසල් දහම් නොවඩන, මගඵල ලැබීමෙහි අපේක්ෂාවක් නැති, ශික්ෂාවෙහි තියුණු ගෞරව නැති, සිව්පසය බහුල කොට ඇති, ශාසනය ලිහිල් ව ගත්, පිරිහෙන කරුණු පෙරට ගත්, හුදෙකලා විවේකයෙහි වීරිය අත්හළ, කුසීත වූ හීන වීරිය ඇති, මුලා වූ සිහිය ඇති, නුවණ නැති, සමාහිත සිත් නැති, භ්‍රාන්ත සිත් ඇති, දුෂ්ප්‍රාඥ ව, කෙළතොළු ව සිටිත් ද මා විසින් මෙය කියන කල්හී ඔවුහු එය පැදකුණු කොට නොපිළිගනිති.
ස්වාමීනී, යම් ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයෝ වෙත් ද, ඔවුහු ශ්‍රද්ධාවෙන් යුතු ව ගිහිගෙයින් නික්ම පැවිදි වූවාහු වෙති. කපටි නොවූ, මායා නැති, වංචා නැති, උඩඟු නොවූ, ඔසොවා ගත් මාන නළ නැති, චපල නොවූ, මුඛරි නොවූ, විසුරුණු වචන නැති, ඉඳුරන්හි වැසූ දොරටු ඇති, භෝජනයෙහි අරුත් දන්නා, නිදිවරා කුසල් දහම් වඩන, මගඵල ලැබීමෙහි අපේක්ෂාවක් ඇති, ශික්ෂාවෙහි තියුණු ගෞරව ඇති, සිව්පසය බහුල කොට නැති, ශාසනය ලිහිල් ව නොගත්, පිරිහෙන කරුණු පෙරට නොගත්, හුදෙකලා විවේකයෙහි වීරිය අත් නොහළ, පටන් ගත් වීරිය ඇති, දහමට දිවි පිදූ, පිහිටුවා ගත් සිහිය ඇති, නුවණ ඇති, සමාහිත සිත් ඇති, එකඟ වූ සිත් ඇති, ප්‍රඥාවන්ත වූ, කෙළතොළු නොවී සිටිත් ද මා විසින් මෙය කියන කල්හී ඔවුහු එය පැදකුණු කොට පිළිගනිති.”
“සාරිපුත්තයෙනි, යම් ඒ ශ්‍රද්ධා රහිත පුද්ගලයෝ වෙත් ද, ඔවුහු ජීවත් වීම උදෙසා ශ්‍රද්ධා නැති ව ගිහිගෙයින් නික්ම පැවිදි වූවාහු වෙති. කපටි වූ, මායා ඇති, වංචා ඇති, උඩඟු වූ ඔසොවා ගත් මාන නළ ඇති, චපල වූ, මුඛරි වූ, විසුරුණු වචන ඇති, ඉඳුරන්හි නොවැසූ දොරටු ඇති, භෝජනයෙහි අරුත් නොදන්නා, නිදිවරා කුසල් දහම් නොවඩන, මගඵල ලැබීමෙහි අපේක්ෂාවක් නැති, ශික්ෂාවෙහි තියුණු ගෞරව නැති, සිව්පසය බහුල කොට ඇති, ශාසනය ලිහිල් ව ගත්, පිරිහෙන කරුණු පෙරට ගත්, හුදෙකලා විවේකයෙහි වීරිය අත්හළ, කුසීත වූ හීන වීරිය ඇති, මුලා වූ සිහිය ඇති, නුවණ නැති, සමාහිත සිත් නැති, භ්‍රාන්ත සිත් ඇති, දුෂ්ප්‍රාඥ ව, කෙළතොළු ව සිටිත් ද ඔවුහු පසෙක සිටිත්වා!
සාරිපුත්තයෙනි, යම් ඒ ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයෝ වෙත් ද, ඔවුහු ශ්‍රද්ධාවෙන් යුතු ව ගිහිගෙයින් නික්ම පැවිදි වූවාහු වෙති. කපටි නොවූ, මායා නැති, වංචා නැති, උඩඟු නොවූ, ඔසොවා ගත් මාන නළ නැති, චපල නොවූ, මුඛරි නොවූ, විසුරුණු වචන නැති, ඉඳුරන්හි වැසූ දොරටු ඇති, භෝජනයෙහි අරුත් දන්නා, නිදිවරා කුසල් දහම් වඩන, මගඵල ලැබීමෙහි අපේක්ෂාවක් ඇති, ශික්ෂාවෙහි තියුණු ගෞරව ඇති, සිව්පසය බහුල කොට නැති, ශාසනය ලිහිල් ව නොගත්, පිරිහෙන කරුණු පෙරට නොගත්, හුදෙකලා විවේකයෙහි වීරිය අත් නොහළ, පටන් ගත් වීරිය ඇති, දහමට දිවි පිදූ, පිහිටුවා ගත් සිහිය ඇති, නුවණ ඇති, සමාහිත සිත් ඇති, එකඟ වූ සිත් ඇති, ප්‍රඥාවන්ත වූ, කෙළතොළු නොවී සිටිත් ද, සාරිපුත්ත, ඔවුන් උදෙසා ඔබ පවසාලව. සාරිපුත්තයෙනි, සබ්‍රහ්මචාරීන් හට අවවාද කරව. සාරිපුත්ත, සබ්‍රහ්මචාරීන් හට අනුශාසනා කරව. සබ්‍රහ්මචාරීන් අසද්ධර්මයෙන් උඩට ඔසොවා සද්ධර්මයෙහි පිහිටුවන්නෙමි යි සාරිපුත්තයෙනි, ඔබ විසින් මෙසේ හික්මිය යුත්තේ ය.”
සාදු! සාදු!! සාදු!!!
චෝදනා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M