අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.4.2.6. නිරෝධ සුත්තං

5.4.2.6. නිරෝධ සමාපත්තිය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. ….(පෙ)….

“ආයුෂ්මත්නි, මෙහිලා සීලසම්පන්න වූ සමාධිසම්පන්න වූ ප්‍රඥාසම්පන්න වූ භික්ෂුව සංඥා වේදයිත නිරෝධයට සමවදින්නේ ද වෙයි. එයින් නැගිටින්නේ ද වෙයි යන කරුණ ඇත්තේ ම ය. ඉදින් මේ ජීවිතයේ දී අරහත්වයට පත් නොවෙයි නම් ගොරෝසු ආහාර අනුභව කරන දෙවියන් හා එක් වීම ඉක්මවා අන්‍යතර වූ මනෝමය කායික දෙව්ලොවක උපදින්නේ එහිදී ද සංඥා වේදයිත නිරෝධයට සමවදින්නේ ත් වෙයි, එයින් නැගිටින්නේ ත් වෙයි යන කරුණ ඇත්තේ ම ය.”

මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් උදායි තෙරණුවෝ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙය පැවසූහ.

“ආයුෂ්මත් සාරිපුත්තයෙනි, මෙය නොවිය හැකි දෙයකි. වන්නට ඉඩ නැති දෙයකි. යම් කරුණකින් ඒ භික්ෂුව ගොරෝසු ආහාර අනුභව කරන දෙවියන් හා එක් වීම ඉක්මවා අන්‍යතර වූ මනෝමය කායික දෙව්ලොවක උපදින්නේ එහිදී ද සංඥා වේදයිත නිරෝධයට සමවදින්නේ ත් වෙයි. එයින් නැගිටින්නේ ත් වෙයි යන කරුණ වන්නට ඉඩක් නැත්තේ ය.”

දෙවෙනි වතාවේ ද ….(පෙ)…. තුන්වෙනි වතාවේ ද ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“ආයුෂ්මත්නි, මෙහිලා සීලසම්පන්න වූ සමාධිසම්පන්න වූ ප්‍රඥාසම්පන්න වූ භික්ෂුව සංඥා වේදයිත නිරෝධයට සමවදින්නේ ද වෙයි. එයින් නැගිටින්නේ ද වෙයි යන කරුණ ඇත්තේ ම ය. ඉදින් මේ ජීවිතයේ දී අරහත්වයට පත් නොවෙයි නම් ගොරෝසු ආහාර අනුභව කරන දෙවියන් හා එක් වීම ඉක්මවා අන්‍යතර වූ මනෝමය කායික දෙව්ලොවක උපදින්නේ එහිදී ද සංඥා වේදයිත නිරෝධයට සමවදින්නේ ත් වෙයි, එයින් නැගිටින්නේ ත් වෙයි යන කරුණ ඇත්තේ ම ය.”

(දෙවෙනි වතාවට ද ….(පෙ)….) තුන් වෙනි වතාවට ද ආයුෂ්මත් උදායි තෙරණුවෝ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙය පැවසූහ.

“ආයුෂ්මත් සාරිපුත්තයෙනි, මෙය නොවිය හැකි දෙයකි. වන්නට ඉඩ නැති දෙයකි. යම් කරුණකින් ඒ භික්ෂුව ගොරෝසු ආහාර අනුභව කරන දෙවියන් හා එක් වීම ඉක්මවා අන්‍යතර වූ මනෝමය කායික දෙව්ලොවක උපදින්නේ එහිදී ද සංඥා වේදයිත නිරෝධයට සමවදින්නේ ත් වෙයි, එයින් නැගිටින්නේ ත් වෙයි යන කරුණ වන්නට ඉඩක් නැත්තේ ය.”

එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මේ අදහස ඇතිවූයේ ය. ‘තුන් විටක් දක්වා ම අයුෂ්මත් උදායි තෙරණුවෝ මාගේ වචනය ප්‍රතික්ෂේප කළහ. කිසි භික්ෂුවක් හෝ මාගේ වචනය අනුමෝදන් නොවෙයි. මම් භාග්‍යවතුන් වහන්සේ වෙත යන්නෙම් නම් මැනැවැ’යි.

ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩියහ. වැඩම කොට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව වැඩහුන්හ. එකත්පස් ව වැඩහුන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භික්ෂූන් ඇමතූහ.

“ආයුෂ්මත්නි, මෙහිලා සීලසම්පන්න වූ සමාධිසම්පන්න වූ ප්‍රඥාසම්පන්න වූ භික්ෂුව සංඥා වේදයිත නිරෝධයට සමවදින්නේ ද වෙයි. එයින් නැගිටින්නේ ද වෙයි යන කරුණ ඇත්තේ ම ය. ඉදින් මේ ජීවිතයේ දී අරහත්වයට පත් නොවෙයි නම් ගොරෝසු ආහාර අනුභව කරන දෙවියන් හා එක් වීම ඉක්මවා අන්‍යතර වූ මනෝමය කායික දෙව්ලොවක උපදින්නේ එහිදී ද සංඥා වේදයිත නිරෝධයට සමවදින්නේ ත් වෙයි, එයින් නැගිටින්නේ ත් වෙයි යන කරුණ ඇත්තේ ම ය.”

මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් උදායි තෙරණුවෝ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙය පැවසූහ.

“ආයුෂ්මත් සාරිපුත්තයෙනි, මෙය නොවිය හැකි දෙයකි. වන්නට ඉඩ නැති දෙයකි. යම් කරුණකින් ඒ භික්ෂුව ගොරෝසු ආහාර අනුභව කරන දෙවියන් හා එක් වීම ඉක්මවා අන්‍යතර වූ මනෝමය කායික දෙව්ලොවක උපදින්නේ එහිදී ද සංඥා වේදයිත නිරෝධයට සමවදින්නේ ත් වෙයි, එයින් නැගිටින්නේ ත් වෙයි යන කරුණ වන්නට ඉඩක් නැත්තේ ය.”

දෙවෙනි වතාවේ ද ….(පෙ)…. තුන්වෙනි වතාවේ ද ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“ආයුෂ්මත්නි, මෙහිලා සීලසම්පන්න වූ සමාධිසම්පන්න වූ ප්‍රඥාසම්පන්න වූ භික්ෂුව සංඥා වේදයිත නිරෝධයට සමවදින්නේ ද වෙයි. එයින් නැගිටින්නේ ද වෙයි යන කරුණ ඇත්තේ ම ය. ඉදින් මේ ජීවිතයේ දී අරහත්වයට පත් නොවෙයි නම් ගොරෝසු ආහාර අනුභව කරන දෙවියන් හා එක් වීම ඉක්මවා අන්‍යතර වූ මනෝමය කායික දෙව්ලොවක උපදින්නේ එහිදී ද සංඥා වේදයිත නිරෝධයට සමවදින්නේ ත් වෙයි, එයින් නැගිටින්නේ ත් වෙයි යන කරුණ ඇත්තේ ම ය.”

(දෙවෙනි වතාවට ද ….(පෙ)….) තුන් වෙනි වතාවට ද ආයුෂ්මත් උදායි තෙරණුවෝ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙය පැවසූහ.

“ආයුෂ්මත් සාරිපුත්තයෙනි, මෙය නොවිය හැකි දෙයකි. වන්නට ඉඩ නැති දෙයකි. යම් කරුණකින් ඒ භික්ෂුව ගොරෝසු ආහාර අනුභව කරන දෙවියන් හා එක් වීම ඉක්මවා අන්‍යතර වූ මනෝමය කායික දෙව්ලොවක උපදින්නේ එහිදී ද සංඥා වේදයිත නිරෝධයට සමවදින්නේ ත් වෙයි, එයින් නැගිටින්නේ ත් වෙයි යන කරුණ වන්නට ඉඩක් නැත්තේ ය.”

එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මේ අදහස ඇතිවිය. ‘ආයුෂ්මත් උදායි තෙමේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි ද තුන් විටක් දක්වා මාගේ වචනය ප්‍රතික්ෂේප කරයි. කිසි භික්ෂුවකුත් මාගේ වචනය අනුමෝදන් නොවෙයි. මම නිශ්ශබ්ද වන්නෙම් නම් මැනැවැ’ යි. ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ නිශ්ශබ්ද වූ සේක.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායි තෙරුන් ඇමතූ සේක.

“උදායි, ඔබ මනෝමය කය වශයෙන් අදහස් කළේ කුමක් ද?”

“ස්වාමීනී, යම් ඒ අරූපී සංඥාමය දෙවිවරු ඇද්ද, ඔවුන් ය.”

“කිම? උදායි, බාල වූ, අව්‍යක්ත වූ ඔබගේ කථාවෙහි ඇත්තේ කුමක් ද? ඔබ ත් කතා කළ යුතු කෙනෙක් යැයි හඟින්නෙහි ද?”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“ආනන්දයෙනි, ස්ථවිර භික්ෂුවක වෙහෙසවන කල්හී එදෙස බලා හිඳින්නහු ද? ආනන්දයෙනි, ස්ථවිර භික්ෂුවක් කෙරෙහි වෙහෙසවනු කල්හී කරුණාවක් නම් ඇති නොවන්නේ ද?”

එකල්හී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, මෙහිලා සීලසම්පන්න වූ සමාධිසම්පන්න වූ ප්‍රඥාසම්පන්න වූ භික්ෂුව සංඥා වේදයිත නිරෝධයට සමවදින්නේ ද වෙයි. එයින් නැගිටින්නේ ද වෙයි යන කරුණ ඇත්තේ ම ය. ඉදින් මේ ජීවිතයේ දී අරහත්වයට පත් නොවෙයි නම් ගොරෝසු ආහාර අනුභව කරන දෙවියන් හා එක් වීම ඉක්මවා අන්‍යතර වූ මනෝමය කායික දෙව්ලොවක උපදින්නේ එහිදී ද සංඥා වේදයිත නිරෝධයට සමවදින්නේ ත් වෙයි, එයින් නැගිටින්නේ ත් වෙයි යන කරුණ ඇත්තේ ම ය.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ සුගතයන් වහන්සේ හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩම කොට නොබෝ වේලාවකින් ආයුෂ්මත් උපවානයන් වහන්සේ වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් උපවානයන් වහන්සේට මෙය පැවසූහ.

“ආයුෂ්මත් උපවානයෙනි, මෙහිලා අන්‍ය භික්ෂූහු ස්ථවිර භික්ෂූන් වෙහෙසට පත් කරති. අපි ඔවුන්ගෙන් නොවිමසුවෙමු. ආයුෂ්මත් උපවානයෙනි, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට මෙකරුණ අරභයා වදාරණ සේක් නම් එය පුදුමයක් නොවෙයි. මෙහිලා ආයුෂ්මත් උපවානයන් හට යමක් වැටහෙයි නම් මැනැවි. දැන් අප තුළ පීඩාව බැස ගත්තේ ය.”

එකල්හී භාග්‍යවතුන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට උපස්ථාන ශාලාවට වැඩි සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උපවානයන් ඇමතූ සේක.

“උපවානයෙනි, කවර කරුණුවලින් සමන්විත වූ ස්ථවිර භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ප්‍රිය වෙයි ද, මනාප වෙයි ද, ගරු වෙයි ද, සම්භාවනීය වෙයි ද?”

“ස්වාමීනී, පංච ධර්මයකින් සමන්විත ස්ථවිර භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ප්‍රිය වෙයි, මනාප වෙයි, ගරු වෙයි, සම්භාවනීය වෙයි. ඒ කවර කරුණු පසකින් ද යත්;

ස්වාමීනී, මෙහිලා ස්ථවිර භික්ෂුව සිල්වත් වෙයි. ….(පෙ)…. සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ වෙයි. ධර්මය බොහෝ සෙයින් අසන ලද්දේ වෙයි. ….(පෙ)…. නුවණින් අවබෝධ කරන ලද්දාහු ය. කල්‍යාණ වචන ඇත්තේ වෙයි. කල්‍යාණ වදන් පවසන්නේ වෙයි. වැදගත් වචනයෙන් යුක්ත වූයේ, නොවිසුරුණු වචන ඇත්තේ, නිදොස් වචන ඇත්තේ, අරුත් මතුවෙන වචන භාවිත කරන්නේ වෙයි. ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලොව දී ලැබෙන සැප විහරණ ඇති සතරක් වූ ධ්‍යානයන් කැමති සේ ලබන්නේ වෙයි. සුවසේ ලබන්නේ වෙයි. බොහෝ කොට ලබන්නේ වෙයි. ආශ්‍රවයන් ක්ෂය වීමෙන් ….(පෙ)…. සාක්ෂාත් කොට පැමිණ වසන්නේ වෙයි.

ස්වාමීනී, මේ පංච ධර්මයෙන් සමන්විත ස්ථවිර භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ප්‍රිය වෙයි, මනාප වෙයි, ගරු වෙයි, සම්භාවනීය වෙයි.”

“සාදු! සාදු! උපවානයෙනි, මේ පංච ධර්මයකින් සමන්විත ස්ථවිර භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ප්‍රිය වෙයි, මනාප වෙයි, ගරු වෙයි, සම්භාවනීය වෙයි. ඉදින් උපවානයෙනි, මේ පංච ධර්මයන් ස්ථවිර භික්ෂුව තුළ විද්‍යමාන නොවෙයි නම්, කවර කරුණක් අරභයා ඔහුට සබ්‍රහ්මචාරීන් වහන්සේලා සත්කාර කළ යුත්තාහු ද, ගරු කළ යුත්තාහු ද, බුහුමන් කළ යුත්තාහු ද, පිදිය යුත්තාහු ද? දත් කැඩී ගිය පමණින්, කෙස් පැසුණු පමණින්, සම රැළි ගැසුණු පමණින් ද? යම් හෙයකින් උපවානයෙනි, ස්ථවිර භික්ෂුව තුළ මේ පංච ධර්මයෝ විද්‍යමාන ව තිබෙත් ද, එහෙයින් ම සබ්‍රහ්මචාරීහු ඔහුට සත්කාර කරති. ගරුකාර කරති. බුහුමන් කරති. පුදති.”

සාදු! සාදු!! සාදු!!!

නිරෝධ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M