අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.4.2.5. පඤ්හපුච්ඡා සුත්තං

5.4.2.5. ප්‍රශ්න විමසීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. ….(පෙ)….

ආයුෂ්මත්නි, යම්කිසි කෙනෙක් වෙන කෙනෙකුගෙන් ප්‍රශ්නයක් විමසයි නම් ඒ සියළු දෙනා මේ පස් කරුණෙන් හෝ මෙයින් එක්තරා කරුණකින් හෝ විමසන්නේ වෙයි. ඒ කවර පස් කරුණක් ද යත්;

නොවැටහෙන බැවින් මෝඩකමින් යුතුව අනුන්ගෙන් ප්‍රශ්න අසයි. පවිටු ආශා ඇත්තේ පවිටු ආශාවෙන් මඩනා ලද සිතෙන් අනුන්ගෙන් ප්‍රශ්න අසයි. පරිභව කිරීම පිණිස අනුන්ගෙන් ප්‍රශ්න අසයි. අවබෝධ කරගැනීම පිණිස අනුන්ගෙන් ප්‍රශ්න අසයි. එසේ ත් නැත්නම් මෙබඳු සිතකින් යුතුව අනුන්ගෙන් ප්‍රශ්න අසයි. ‘ඉදින් මා විසින් අසන ප්‍රශ්නය මැනැවින් විසඳන්නේ නම් එය කුසලයකි. ඉදින් මා විසින් අසන ලද ප්‍රශ්නය මැනැවින් නොවිසඳයි නම් මම ඔහුට මැනැවින් විසඳා දෙන්නෙමි’ යි කියා ය.

ආයුෂ්මත්නි, යම්කිසි කෙනෙක් වෙන කෙනෙකුගෙන් ප්‍රශ්නයක් විමසයි නම් ඒ සියළු දෙනා මේ පස් කරුණෙන් හෝ මෙයින් එක්තරා කරුණකින් හෝ විමසන්නේ වෙයි.

ආයුෂ්මත්නි, මම් වනාහී මෙබඳු සිතකින් යුතුව අනුන්ගෙන් ප්‍රශ්න අසමි. ‘ඉදින් මා විසින් අසන ප්‍රශ්නය මැනැවින් විසඳන්නේ නම් එය කුසලයකි. ඉදින් මා විසින් අසන ලද ප්‍රශ්නය මැනැවින් නොවිසඳයි නම් මම ඔහුට මැනැවින් විසඳා දෙන්නෙමි’ යි කියා ය.

සාදු! සාදු!! සාදු!!!

පඤ්හ පුච්ඡා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M