අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.4.2.10. භද්දජී සුත්තං

5.4.2.10. භද්දජී තෙරුන්ට වදාළ දෙසුම

එක් සමයක ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති. එකල්හී ආයුෂ්මත් භද්දජී තෙරණුවෝ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සමඟ සතුටු වූහ. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් භද්දජී තෙරුන් හට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ මෙය පැවසූහ.

“කිම? ආයුෂ්මත් භද්දජී, දකින දෙයෙහි අග්‍ර වූයේ කුමක් ද? අසන දෙයෙහි අග්‍ර වූයේ කුමක් ද? සැප අතුරින් අග්‍ර වූයේ කුමක් ද? සංඥාවන් අතුරින් අග්‍ර වූයේ කුමක් ද? භවයන් අතුරින් අග්‍ර වූයේ කුමක් ද?”

“ආයුෂ්මත, සියල්ල මැඩලූ, අන්‍යයන්ට නොමැඩලිය හැකි, සියල්ල දක්නා වූ, සියල්ලෙහි ආනුභාවය පවත්වන බ්‍රහ්මරාජයෙක් ඇත්තේ ය. යමෙක් ඒ බඹහු දකියි නම් මෙය දකිනා දේ අතර අග්‍ර වෙයි.

ආයුෂ්මත, සැපයෙන් පිරී පැතිරී ගිය ආභස්සර නම් දෙවියෝ සිටිති. ඔවුහු කිසියම් කලක, ‘අහෝ සැපයකි, අහෝ සැපයකි’ කියමින් උදන් අනති. යමෙක් ඒ හඬ අසයි ද මෙය අසන දේ අතර අග්‍ර වෙයි.

ආයුෂ්මත, සුභකිණ්හක නම් දෙවියෝ සිටිති. ඔවුහු සුවපත් ව තිබෙන්නා වූ සැපය ම විඳිති. මෙය සැප අතර අග්‍ර වෙයි.

ආයුෂ්මත, ආකිඤ්චඤ්ඤායතනයෙහි උපන් දෙවියෝ සිටිති. මෙය සංඥා අතර අග්‍ර වෙයි.

ආයුෂ්මත, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි උපන් දෙවියෝ සිටිති. මෙය භවයන් අතර අග්‍ර වෙයි.”

“ආයුෂ්මත් භද්දජීගේ මෙම ප්‍රකාශය යම් මේ බොහෝ ජනයාගේ කියමන හා සම වෙනවා නොවැ.”

“ආයුෂ්මත් ආනන්දයෝ බහුශ්‍රැත වූවාහු ය. ආයුෂ්මත් ආනන්දයන්ට ම මෙකරුණ වැටහේවා!”

“එසේ වී නම් ආයුෂ්මත් භද්දජී, අසව. මැනැවින් මෙනෙහි කරව. පවසන්නෙමි.”

“එසේ ය ආයුෂ්මත” යි ආයුෂ්මත් භද්දජී තෙරණුවෝ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ මෙය වදාළහ.

“ආයුෂ්මත, යම් අයුරකින් දකින්නහුට එහි අතරක් නොතබා ආශ්‍රවයන් ක්ෂය වී යයි නම්, මෙය දකින දේ අතර අග්‍ර වෙයි.

යම් අයුරකින් අසන්නහුට එහි අතරක් නොතබා ආශ්‍රවයන් ක්ෂය වී යයි නම්, මෙය අසන දේ අතර අග්‍ර වෙයි. යම් අයුරකින් සැප සේ වසන්නහුට එහි අතරක් නොතබා ආශ්‍රවයන් ක්ෂය වී යයි නම්, මෙය සැප ඇති දේ අතර අග්‍ර වෙයි.

යම් අයුරකින් සංඥා ඇත්තහුට එහි අතරක් නොතබා ආශ්‍රවයන් ක්ෂය වී යයි නම්, මෙය සංඥාවන් අතර අග්‍ර වෙයි.

යම් ආත්මභාවයක සිටියහුට එහි අතරක් නොතබා ආශ්‍රවයන් ක්ෂය වී යයි නම්, මෙය භවයන් අතර අග්‍ර වෙයි.”

සාදු! සාදු!! සාදු!!!

භද්දජී සූත්‍රය නිමා විය.

දෙවෙනි ආඝාත වර්ගය අවසන් විය.

එහි පිළිවෙළ උද්දානය යි :

ආඝාත විනය සූත්‍ර දෙක, සාකච්ඡා සූත්‍රය, සාජීව සූත්‍රය, පඤ්හපුච්ඡා සූත්‍රය, නිරෝධ සූත්‍රය, චෝදනා සූත්‍රය, සීල සූත්‍රය, නිසන්ති සූත්‍රය සහ භද්දජී සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M