සැවැත් නුවර දී ය ……
එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ‘ආයුෂ්මත් මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ‘ආයුෂ්මතුන් වහන්ස’ යි ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙය වදාළ සේක.
ආයුෂ්මත්නි, යම් අරමුණක භික්ෂුව හට උපන් වෛරය මුළුමනින් ම දුරු කළ යුතු වෙයි ද, එබඳු වූ මේ වෛර දුරු කිරීම පසකි. ඒ කවර පසක් ද යත්;
ආයුෂ්මත්නි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් අපිරිසිදු කායික ක්රියා ඇත්තේ වෙයි. එනමුත් පිරිසිදු වාචසික ක්රියා ඇත්තේ වෙයි. ආයුෂ්මත්නි, මෙබඳු වූ පුද්ගලයා කෙරෙහි ත් වෛරය දුරු කළ යුත්තේ ය.
ආයුෂ්මත්නි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් අපිරිසිදු වාචසික ක්රියා ඇත්තේ වෙයි. එනමුත් පිරිසිදු කායික ක්රියා ඇත්තේ වෙයි. ආයුෂ්මත්නි, මෙබඳු වූ පුද්ගලයා කෙරෙහි ත් වෛරය දුරු කළ යුත්තේ ය.
ආයුෂ්මත්නි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් අපිරිසිදු කායික ක්රියා ඇත්තේ වෙයි. අපිරිසිදු වාචසික ක්රියා ඇත්තේ වෙයි. කලින් කලට භාවනාවෙහි සිත නතු වෙයි. සිතෙහි ප්රසාදය ඇතිවෙයි. ආයුෂ්මත්නි, මෙබඳු වූ පුද්ගලයා කෙරෙහි ත් වෛරය දුරු කළ යුත්තේ ය.
ආයුෂ්මත්නි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් අපිරිසිදු කායික ක්රියා ඇත්තේ වෙයි. අපිරිසිදු වාචසික ක්රියා ඇත්තේ වෙයි. කලින් කලට භාවනාවෙහි සිත නතු නොවෙයි. සිතෙහි ප්රසාදය ඇති නොවෙයි. ආයුෂ්මත්නි, මෙබඳු වූ පුද්ගලයා කෙරෙහි ත් වෛරය දුරු කළ යුත්තේ ය.
ආයුෂ්මත්නි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් පිරිසිදු කායික ක්රියා ඇත්තේ වෙයි. පිරිසිදු වාචසික ක්රියා ඇත්තේ වෙයි. කලින් කලට භාවනාවෙහි සිත නතු වෙයි. සිතෙහි ප්රසාදය ඇතිවෙයි. ආයුෂ්මත්නි, මෙබඳු වූ පුද්ගලයා කෙරෙහි ත් වෛරය දුරු කළ යුත්තේ ය.
1. ආයුෂ්මත්නි, එහිලා යම් මේ පුද්ගලයෙක් අපිරිසිදු කායික ක්රියා ඇත්තේ වෙයි නම්, එනමුත් පිරිසිදු වාචසික ක්රියා ඇත්තේ වෙයි නම්, ඒ පුද්ගලයා කෙරෙහි වෛරය දුරු කළ යුත්තේ කෙසේ ද?
ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. පාංශුකූලික භික්ෂුවක් වීදියක පැරණි රෙදි කඩක් දැක එය වම් පයින් පාගා ගෙන දකුණු පයින් විහිදුවා බලා යම් ප්රයෝජනවත් කොටසක් ඇත්නම් එය ඉරාගෙන යන්නේ වෙයි ද, ආයුෂ්මත්නි, එපරිද්දෙන් ම යම් මේ පුද්ගලයෙක් අපිරිසිදු කාය සමාචාර ඇත්තේ පිරිසිදු වචී සමාචාර ඇත්තේ වෙයි ද, ඔහුගේ යම් අපිරිසිදු කාය සමාචාරයක් ඇද්ද එය වෛරය හටගත් මොහොතේ මෙනෙහි නොකළ යුත්තේ ය. ඔහුගේ යම් පිරිසිදු වාක් සමාචාරයක් ඇද්ද එසමයෙහි එය මෙනෙහි කළ යුත්තේ ය. මේ අයුරින් ඒ පුද්ගලයා කෙරෙහි උපන් වෛරය දුරු කළ යුත්තේ ය.
2. ආයුෂ්මත්නි, එහිලා ඇතැම් පුද්ගලයෙක් අපිරිසිදු වාචසික ක්රියා ඇත්තේ වෙයි නම්, එනමුත් පිරිසිදු කායික ක්රියා ඇත්තේ වෙයි නම්, ඒ පුද්ගලයා කෙරෙහි වෛරය දුරු කළ යුත්තේ කෙසේ ද?
ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. දිය සෙවෙල්වලින් ද, දිය පරඬැලින් ද වැසී ගිය පොකුණක් ඇත්තේ ය. එකල්හී ග්රීස්මයෙන් තැවුණු ග්රීස්මයෙන් මැඬුණු ක්ලාන්ත වූ පීඩාවට පත් පිපාසිත පුරුෂයෙක් එන්නේ ය. ඔහු ඒ පොකුණට බැස දෑතින් සෙවෙල හා දිය පරඬැල් ඔබමොබ බැහැර කොට දෝතින් පැන් බී නික්ම යන්නේ ය. ආයුෂ්මත්නි, එපරිද්දෙන් ම යම් මේ පුද්ගලයෙක් අපිරිසිදු වාක් සමාචාර ඇත්තේ පිරිසිදු කාය සමාචාර ඇත්තේ වෙයි ද, ඔහුගේ යම් අපිරිසිදු වාක් සමාචාරයක් ඇද්ද එය වෛරය හටගත් මොහොතේ මෙනෙහි නොකළ යුත්තේ ය. ඔහුගේ යම් පිරිසිදු කාය සමාචාරයක් ඇද්ද එසමයෙහි එය මෙනෙහි කළ යුත්තේ ය. මේ අයුරින් ඒ පුද්ගලයා කෙරෙහි උපන් වෛරය දුරු කළ යුත්තේ ය.
3. ආයුෂ්මත්නි, එහිලා ඇතැම් පුද්ගලයෙක් අපිරිසිදු කායික ක්රියා ඇත්තේ වෙයි නම්, අපිරිසිදු වාචසික ක්රියා ඇත්තේ වෙයි නම්, කලින් කලට භාවනාවෙහි සිත නතු වෙයි නම් සිතෙහි ප්රසාදය ඇතිවෙයි නම් ඒ පුද්ගලයා කෙරෙහි වෛරය දුරු කළ යුත්තේ කෙසේ ද?
ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. ගව කුරයකින් සැදුණු වළක දිය ස්වල්පයක් ඇත්තේ ය. එකල්හී ග්රීස්මයෙන් තැවුණු ග්රීස්මයෙන් මැඬුණු ක්ලාන්ත වූ පීඩාවට පත් පිපාසිත පුරුෂයෙක් එන්නේ ය. ඔහුට මෙසේ සිතෙයි. ‘මේ ගව කුරයෙන් සැදුණු වළෙහි දිය ස්වල්පයක් ඇත්තේ ය. ඉදින් මම අතින් හෝ බඳුනකින් හෝ ගෙන බොන්නෙම් නම් එය කැළඹෙන්නේ ය. පානය නොකළ හැකි බවට පත්වන්නේ ය. එයින් මම ගවයෙකු සෙයින් දෑතිනුත් දෙපයිනුත් බිමට නැවී පැන් බී නික්ම යන්නේ නම් මැනැවැ’ යි. ඉක්බිති හේ දෑතිනුත්, දෙපයිනුත් බිමට නැවී ගවයෙකු සෙයින් පැන් බී නික්ම යන්නේ ය. ආයුෂ්මත්නි, එපරිද්දෙන් ම යම් මේ පුද්ගලයෙක් අපිරිසිදු කාය සමාචාර ඇත්තේ අපිරිසිදු වචී සමාචාර ඇත්තේ වෙයි ද, කලින් කලට භාවනාවෙහි සිත නතු වෙයි නම් සිතෙහි ප්රසාදය ඇතිවෙයි ද, ඔහුගේ යම් අපිරිසිදු කාය සමාචාරයක් ඇද්ද එය වෛරය හටගත් මොහොතේ මෙනෙහි නොකළ යුත්තේ ය. ඔහුගේ යම් අපිරිසිදු වාක් සමාචාරයක් ඇද්ද එය වෛරය හටගත් මොහොතේ මෙනෙහි නොකළ යුත්තේ ය. යම් හෙයකින් ඔහු කලින් කලට භාවනාවෙහි සිත නතු වූයේ නම් සිතෙහි ප්රසාදය ලැබුවේ නම් එසමයෙහි එය මෙනෙහි කළ යුත්තේ ය. මේ අයුරින් ඒ පුද්ගලයා කෙරෙහි උපන් වෛරය දුරු කළ යුත්තේ ය.
4. ආයුෂ්මත්නි, එහිලා ඇතැම් පුද්ගලයෙක් අපිරිසිදු කායික ක්රියා ඇත්තේ වෙයි නම්, අපිරිසිදු වාචසික ක්රියා ඇත්තේ වෙයි නම්, කලින් කලට භාවනාවෙහි සිත නතු නොවෙයි නම්, සිතෙහි ප්රසාදය ඇති නොවෙයි නම්, ඒ පුද්ගලයා කෙරෙහි වෛරය දුරු කළ යුත්තේ කෙසේ ද?
ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. දීර්ඝ මාර්ගයකට පිළිපන් පුද්ගලයෙක් රෝගී ව දුක්ඛිත ව බොහෝ ගිලන් බවට පත්වූයේ ය. ඔහුට ඉදිරියෙන් ඇති ගම ද ඉතා දුර ය. ඔහුගේ පිටුපසින් ඇති ගම ද ඉතා දුර ය. ඔහු රෝගයට හිත වූ බොජුන් ද නොලබන්නේ ය. රෝගයට හිත වූ බෙහෙත් ද නොලබන්නේ ය. ඔහුට ගැලපෙන උපස්ථායකයෙකු ද නොලබන්නේ ය. ඔහු ව ගමට පමුණුවා ලිය හැකි කෙනෙක් ද නොලබන්නේ ය. එකල්හී ඒ දීර්ඝ මාර්ගයට පිළිපන් එක්තරා පුරුෂයෙක් මොහු දකින්නේ ය. හේ ඒ පුරුෂයා කෙරෙහි කරුණාව ඇති කරගන්නේ ය. දයාව ඇති කරගන්නේ ය. අනුකම්පාව ඇති කරගන්නේ ය. ‘අහෝ ! ඒකාන්තයෙන් මේ පුරුෂ තෙමේ රෝගයට හිත බොජුන් ලබන්නේ නම්, රෝගයට හිත බෙහෙත් ලබන්නේ නම්, ගැලපෙන උපස්ථායකයෙකු ලබන්නේ නම්, ගමට පමුණුවා ලිය හැකි කෙනෙකු ලබන්නේ නම් මැනැවි’ යි. ඒ මක් නිසා ද යත්, මේ පුරුෂ තෙමේ මෙහිදී ම වෙනත් කරදරයකට පත් නොවේවා කියා ය. ආයුෂ්මත්නි, එපරිද්දෙන් ම යම් මේ පුද්ගලයෙක් අපිරිසිදු කාය සමාචාර ඇත්තේ වෙයි ද, අපිරිසිදු වචී සමාචාර ඇත්තේ වෙයි ද, කලින් කලට භාවනාවෙහි සිත නතු නොවෙයි ද, සිතෙහි ප්රසාදය ඇති නොවෙයි ද, ආයුෂ්මත්නි, මෙබඳු වූ පුද්ගලයා කෙරෙහි කරුණාව ඇති කරගත යුත්තේ ය. දයාව ඇති කරගත යුත්තේ ය. අනුකම්පාව ඇති කරගත යුත්තේ ය. ‘අහෝ ! ඒකාන්තයෙන් ම මේ ආයුෂ්මත් තෙමේ කාය දුෂ්චරිතය අත්හැර කාය සුචරිතය වඩන්නේ නම්, වචී දුෂ්චරිතය අත්හැර වචී සුචරිතය වඩන්නේ නම්, මනෝ දුෂ්චරිතය අත්හැර මනෝ සුචරිතය වඩන්නේ නම් මැනැවි’ යි. මක් නිසාද යත්, මේ ආයුෂ්මත් තෙමේ කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් වූ නිරයෙහි නූපදීවා යි. මේ අයුරින් ඒ පුද්ගලයා කෙරෙහි උපන් වෛරය දුරු කළ යුත්තේ ය.
5. ආයුෂ්මත්නි, එහිලා ඇතැම් පුද්ගලයෙක් පිරිසිදු කායික ක්රියා ඇත්තේ වෙයි නම් පිරිසිදු වාචසික ක්රියා ඇත්තේ වෙයි නම් කලින් කලට භාවනාවෙහි සිත නතු වෙයි නම් සිතෙහි ප්රසාදය ඇති වෙයි නම් ඒ පුද්ගලයා කෙරෙහි වෛරය දුරු කළ යුත්තේ කෙසේ ද?
ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. පැහැදිලි ජලය ඇති, මිහිරි ජලය ඇති, සිහිල් ජලය ඇති, සුදු වැලි තලාව ඇති රමණීය වූ අනේක වෘක්ෂයෙන් ගැවසී ගත් පොකුණක් ඇත්තේ ය. එකල්හී ග්රීස්මයෙන් තැවුණු ග්රීස්මයෙන් මැඬුණු ක්ලාන්ත වූ පීඩාවට පත් පිපාසිත පුරුෂයෙක් එන්නේ ය. හේ ඒ පොකුණට බැස ස්නානය කොට පැන් ද පානය කොට ගොඩට අවුත් එහි ම රුක් සෙවණෙහි හිඳින්නේ හෝ වෙයි. නිදන්නේ හෝ වෙයි. ආයුෂ්මත්නි, එපරිද්දෙන් ම යම් මේ පුද්ගලයෙක් පිරිසිදු කාය සමාචාර ඇත්තේ වෙයි ද, පිරිසිදු වචී සමාචාර ඇත්තේ වෙයි ද, කලින් කලට භාවනාවෙහි සිත නතු වෙයි ද, සිතෙහි ප්රසාදය ඇති වෙයි ද, ඔහුගේ යම් පිරිසිදු කාය සමාචාරයක් ඇද්ද, ඔහුගේ ඒ කාය සමාචාරය එසමයෙහි මෙනෙහි කළ යුත්තේ ය. ඔහුගේ යම් පිරිසිදු වචී සමාචාරයක් ඇද්ද, ඔහුගේ ඒ වචී සමාචාරය එසමයෙහි මෙනෙහි කළ යුත්තේ ය. ඔහු කලින් කල භාවනාවෙන් ලැබූ යම් නතු බවක් ඇද්ද, යම් චිත්ත ප්රසාදයක් ඇද්ද, ඔහුගේ එය එසමයෙහි මෙනෙහි කළ යුත්තේ ය. මේ අයුරින් ඒ පුද්ගලයා කෙරෙහි උපන් වෛරය දුරු කළ යුත්තේ ය. ආයුෂ්මත්නි, හැම අයුරින් ම පැහැදීම ඇති කරගත යුතු පුද්ගලයා කෙරෙහි පැමිණ සිත පහදින්නේ ය.
ආයුෂ්මත්නි, යම් අරමුණක භික්ෂුව හට උපන් වෛරය මුළුමනින් ම දුරු කළ යුතු වෙයි ද, එබඳු වූ මේ වෛර දුරු කිරීම පස යි.
සාදු! සාදු!! සාදු!!!
දුතිය ආඝාත පටිවිනය සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M