අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.4.2.1. පඨම ආඝාත පටිවිනය සුත්තං

5.4.2.1. වෛරය දුරු කිරීම ගැන වදාළ පළමු දෙසුම

සැවැත් නුවර දී ය ……

මහණෙනි, යම් අරමුණක භික්ෂුව හට උපන් වෛරය මුළුමනින් ම දුරු කළ යුතු වෙයි ද, එබඳු වූ මේ වෛර දුරු කිරීම් පසකි. ඒ කවර පසක් ද යත්;

මහණෙනි, යම් පුද්ගලයෙකු කෙරෙහි වෛරය උපන්නේ නම්, ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය වැඩිය යුත්තේ ය. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි උපන් වෛරය දුරු කළ යුත්තේ ය.

මහණෙනි, යම් පුද්ගලයෙකු කෙරෙහි වෛරය උපන්නේ නම්, ඒ පුද්ගලයා කෙරෙහි කරුණාව වැඩිය යුත්තේ ය. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි උපන් වෛරය දුරු කළ යුත්තේ ය.

මහණෙනි, යම් පුද්ගලයෙකු කෙරෙහි වෛරය උපන්නේ නම්, ඒ පුද්ගලයා කෙරෙහි උපේක්ෂාව වැඩිය යුත්තේ ය. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි උපන් වෛරය දුරු කළ යුත්තේ ය.

මහණෙනි, යම් පුද්ගලයෙකු කෙරෙහි වෛරය උපන්නේ නම්, ඒ පුද්ගලයා පිළිබඳව නොසිතීම, නොමෙනෙහි කිරීම පිළිපැදිය යුත්තේ ය. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි උපන් වෛරය දුරු කළ යුත්තේ ය.

මහණෙනි, යම් පුද්ගලයෙකු කෙරෙහි වෛරය උපන්නේ නම්, ඒ පුද්ගලයා කෙරෙහි කර්මය ස්වකීය කොට ඇති බව පිහිටුවා ගත යුත්තේ ය. ‘මේ ආයුෂ්මත් තෙමේ කර්මය ස්වකීය කොට ඇත්තේ ය. කර්මය දායාද කොට ඇත්තේ ය. කර්මය උප්පත්ති ස්ථානය කොට ඇත්තේ ය. කර්මය ඥාතියා කොට ඇත්තේ ය. කර්මය පිළිසරණ කොට ඇත්තේ ය. පුණ්‍ය වේවා පාප වේවා යම් කර්මයක් කරන්නේ ද එය ඔහුගේ දායාදය වන්නේ ය’ යි. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි උපන් වෛරය දුරු කළ යුත්තේ ය.

මහණෙනි, යම් අරමුණක භික්ෂුව හට උපන් වෛරය මුළුමනින් ම දුරු කළ යුතු වෙයි ද, එබඳු වූ මේ වෛර දුරු කිරීම් පස යි.

සාදු! සාදු!! සාදු!!!

පඨම ආඝාත පටිවිනය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M