මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වෙසෙන සේක. එසමයෙහි ආයුෂ්මත් උදායි තෙරණුවෝ මහත් ගිහි පිරිසක් පිරිවරාගෙන ධර්ම දේශනා කරමින් හුන්නාහු වෙති. එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ආයුෂ්මත් උදායි තෙරුන් මහත් ගිහි පිරිසක් පිරිවරාගෙන දහම් දෙසමින් හිඳිනා අයුරු දුටහ. දැක භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.
“ස්වාමීනී, ආයුෂ්මත් උදායි තෙරණුවෝ මහත් ගිහි පිරිසක් පිරිවරාගෙන දහම් දෙසත්.”
“ආනන්දයෙනි, අන්‍යයන් හට ධර්මය දේශනා කිරීම පහසු දෙයක් නොවෙයි. ආනන්දයෙනි, අන්‍යයන් හට ධර්මය දේශනා කරන්නා විසින් පංච ධර්මයක් තමා තුළ පිහිටුවා ගෙන අන්‍යයන් හට ධර්මය දේශනා කළ යුත්තේ ය. ඒ කවර ධර්මයන් පසක් ද යත්;
(1). අනුපිළිවෙළින් දහම් කථාව කරන්නෙමි’ යි අන්‍යයන් හට ධර්මය දෙසිය යුත්තේ ය. (2). කරුණු දක්වමින් දහම් කථාව කරන්නෙමි’ යි අන්‍යයන් හට ධර්මය දෙසිය යුත්තේ ය. (3). අනුකම්පාව උපදවා දහම් කථාව කරන්නෙමි’ යි අන්‍යයන් හට ධර්මය දෙසිය යුත්තේ ය. (4). ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂා නොකොට දහම් කථාව කරන්නෙමි’ යි අන්‍යයන් හට ධර්මය දෙසිය යුත්තේ ය. (5). තමා හා අනුන් හා නොගැටී දහම් කථාව කරන්නෙමි’ යි අන්‍යයන් හට ධර්මය දෙසිය යුත්තේ ය.
ආනන්දය, අන්‍යයන් හට ධර්මය දේශනා කිරීම පහසු දෙයක් නොවෙයි. ආනන්දය, අන්‍යයන් හට ධර්මය දේශනා කරන්නා විසින් මේ පංච ධර්මය තමා තුළ පිහිටුවා ගෙන අන්‍යයන් හට ධර්මය දේශනා කළ යුත්තේ ය.”
සාදු! සාදු!! සාදු!!!
උදායී සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M