අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.4.1.7. දුක්කථා සුත්තං

5.4.1.7. අමිහිරි කථාව ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, ඒ ඒ පුද්ගලයා හට ගලපා බැලීම පිණිස පුද්ගලයන් පස් දෙනෙකුගේ කථාවන් අමිහිරි කථාවන් වෙයි. ඒ කවර පස් දෙනෙකුගේ ද යත්;

මහණෙනි, ශ්‍රද්ධා රහිතයා හට ශ්‍රද්ධාව පිළිබඳ කථාව අමිහිරි කථාවකි. දුස්සීලයා හට සීලය පිළිබඳ කථාව අමිහිරි කථාවකි. අල්පශ්‍රැතයා හට බහුශ්‍රැත භාවය පිළිබඳ කථාව අමිහිරි කථාවකි. මසුරු කෙනා හට දීම පිළිබඳ කථාව අමිහිරි කථාවකි. දුෂ්ප්‍රාඥයා හට ප්‍රඥාව පිළිබඳ කථාව අමිහිරි කථාවකි.

මහණෙනි, ශ්‍රද්ධා රහිතයා හට ශ්‍රද්ධාව පිළිබඳ කථාව අමිහිරි කථාවක් වන්නේ කුමක් හෙයින් ද? මහණෙනි, ශ්‍රද්ධා රහිතයා ශ්‍රද්ධාව පිළිබඳ කථාව කරන කල්හී ගැටෙයි, කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි, විරුද්ධ ව නැගී සිටියි. කෝපය ත්, ද්වේෂය ත්, නොසතුට ත් පහළ කරයි. එයට හේතුව කුමක් ද? මහණෙනි, හේ ශ්‍රද්ධා සම්පත්තිය තමා තුළ නොදකියි. ඒ හේතුවෙන් ශ්‍රද්ධා කථාව කරද්දී ප්‍රීතිය හා ප්‍රමුදිත බව නොලබයි. එනිසා ය ශ්‍රද්ධා රහිතයාට ශ්‍රද්ධාව පිළිබඳ කථාව අමිහිරි කථාවක් වන්නේ.

මහණෙනි, දුස්සීලයා හට සීලය පිළිබඳ කථාව අමිහිරි කථාවක් වන්නේ කුමක් හෙයින් ද? මහණෙනි, දුස්සීලයා සීලය පිළිබඳ කථාව කරන කල්හී ගැටෙයි, කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි, විරුද්ධ ව නැගී සිටියි. කෝපය ත්, ද්වේෂය ත්, නොසතුට ත් පහළ කරයි. එයට හේතුව කුමක් ද? මහණෙනි, හේ සීල සම්පත්තිය තමා තුළ නොදකියි. ඒ හේතුවෙන් සීල කථාව කරද්දී ප්‍රීතිය හා ප්‍රමුදිත බව නොලබයි. එනිසා ය දුස්සීලයාට සීලය පිළිබඳ කථාව අමිහිරි කථාවක් වන්නේ.

මහණෙනි, අල්පශ්‍රැතයා හට බහුශ්‍රැත බව පිළිබඳ කථාව අමිහිරි කථාවක් වන්නේ කුමක් හෙයින් ද? මහණෙනි, අල්පශ්‍රැතයා බහුශ්‍රැත බව පිළිබඳ කථාව කරන කල්හී ගැටෙයි, කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි, විරුද්ධ ව නැගී සිටියි. කෝපය ත්, ද්වේෂය ත්, නොසතුට ත් පහළ කරයි. එයට හේතුව කුමක් ද? මහණෙනි, හේ ශ්‍රැත සම්පත්තිය තමා තුළ නොදකියි. ඒ හේතුවෙන් බහුශ්‍රැත බව පිළිබඳ කථාව කරද්දී ප්‍රීතිය හා ප්‍රමුදිත බව නොලබයි. එනිසා ය අල්පශ්‍රැතයාට බහුශ්‍රැත බව පිළිබඳ කථාව අමිහිරි කථාවක් වන්නේ.

මහණෙනි, මසුරා හට ත්‍යාගී බව පිළිබඳ කථාව අමිහිරි කථාවක් වන්නේ කුමක් හෙයින් ද? මහණෙනි, මසුරා ත්‍යාගී බව පිළිබඳ කථාව කරන කල්හී ගැටෙයි, කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි, විරුද්ධ ව නැගී සිටියි. කෝපය ත්, ද්වේෂය ත්, නොසතුට ත් පහළ කරයි. එයට හේතුව කුමක් ද? මහණෙනි, හේ ත්‍යාග සම්පත්තිය තමා තුළ නොදකියි. ඒ හේතුවෙන් ත්‍යාගී බව පිළිබඳ කථාව කරද්දී ප්‍රීතිය හා ප්‍රමුදිත බව නොලබයි. එනිසා ය මසුරාට ත්‍යාගී බව පිළිබඳ කථාව අමිහිරි කථාවක් වන්නේ.

මහණෙනි, දුෂ්ප්‍රාඥයා හට ප්‍රඥාව පිළිබඳ කථාව අමිහිරි කථාවක් වන්නේ කුමක් හෙයින් ද? මහණෙනි, දුෂ්ප්‍රාඥයා ප්‍රඥාව පිළිබඳ කථාව කරන කල්හී ගැටෙයි, කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි, විරුද්ධ ව නැගී සිටියි. කෝපය ත්, ද්වේෂය ත්, නොසතුට ත් පහළ කරයි. එයට හේතුව කුමක් ද? මහණෙනි, හේ ප්‍රඥා සම්පත්තිය තමා තුළ නොදකියි. ඒ හේතුවෙන් ප්‍රඥාව පිළිබඳ කථාව කරද්දී ප්‍රීතිය හා ප්‍රමුදිත බව නොලබයි. එනිසා ය දුෂ්ප්‍රාඥයාට ප්‍රඥාව පිළිබඳ කථාව අමිහිරි කථාවක් වන්නේ.

මහණෙනි, ඒ ඒ පුද්ගලයා හට ගලපා බැලීම පිණිස පුද්ගලයන් පස් දෙනෙකුගේ කථාවන් අමිහිරි කථාවන් වෙයි.

මහණෙනි, ඒ ඒ පුද්ගලයා හට ගලපා බැලීම පිණිස පුද්ගලයන් පස් දෙනෙකුගේ කථාවන් මිහිරි කථාවන් වෙයි. ඒ කවර පස් දෙනෙකුගේ ද යත්;

මහණෙනි, ශ්‍රද්ධාවන්තයා හට ශ්‍රද්ධාව පිළිබඳ කථාව මිහිරි කථාවකි. සිල්වතා හට සීලය පිළිබඳ කථාව මිහිරි කථාවකි. බහුශ්‍රැතයා හට බහුශ්‍රැත භාවය පිළිබඳ කථාව මිහිරි කථාවකි. ත්‍යාගවන්තයා හට දීම පිළිබඳ කථාව මිහිරි කථාවකි. ප්‍රඥාවන්තයා හට ප්‍රඥාව පිළිබඳ කථාව මිහිරි කථාවකි.

මහණෙනි, ශ්‍රද්ධාවන්තයා හට ශ්‍රද්ධාව පිළිබඳ කථාව මිහිරි කථාවක් වන්නේ කුමක් හෙයින් ද? මහණෙනි, ශ්‍රද්ධාවන්තයා ශ්‍රද්ධාව පිළිබඳ කථාව කරන කල්හී නොගැටෙයි, නොකිපෙයි, ව්‍යාපාදයට නොපැමිණෙයි, විරුද්ධ ව නැගී නොසිටියි. කෝපය ත්, ද්වේෂය ත්, නොසතුට ත් පහළ නොකරයි. එයට හේතුව කුමක් ද? මහණෙනි, හේ ශ්‍රද්ධා සම්පත්තිය තමා තුළ දකියි. ඒ හේතුවෙන් ශ්‍රද්ධා කථාව කරද්දී ප්‍රීතිය හා ප්‍රමුදිත බව ලබයි. එනිසා ය ශ්‍රද්ධාවන්තයාට ශ්‍රද්ධාව පිළිබඳ කථාව මිහිරි කථාවක් වන්නේ.

මහණෙනි, සීලවන්තයා හට සීලය පිළිබඳ කථාව මිහිරි කථාවක් වන්නේ කුමක් හෙයින් ද? මහණෙනි, සීලවන්තයා සීලය පිළිබඳ කථාව කරන කල්හී නොගැටෙයි, නොකිපෙයි, ව්‍යාපාදයට නොපැමිණෙයි, විරුද්ධ ව නැගී නොසිටියි. කෝපය ත්, ද්වේෂය ත්, නොසතුට ත් පහළ නොකරයි. එයට හේතුව කුමක් ද? මහණෙනි, හේ සීල සම්පත්තිය තමා තුළ දකියි. ඒ හේතුවෙන් සීල කථාව කරද්දී ප්‍රීතිය හා ප්‍රමුදිත බව ලබයි. එනිසා ය සීලවන්තයාට සීලය පිළිබඳ කථාව මිහිරි කථාවක් වන්නේ.

මහණෙනි, බහුශ්‍රැතයා හට බහුශ්‍රැත බව පිළිබඳ කථාව මිහිරි කථාවක් වන්නේ කුමක් හෙයින් ද? මහණෙනි, බහුශ්‍රැතයා බහුශ්‍රැත බව පිළිබඳ කථාව කරන කල්හී නොගැටෙයි, නොකිපෙයි, ව්‍යාපාදයට නොපැමිණෙයි, විරුද්ධ ව නැගී නොසිටියි. කෝපය ත්, ද්වේෂය ත්, නොසතුට ත් පහළ නොකරයි. එයට හේතුව කුමක් ද? මහණෙනි, හේ ශ්‍රැත සම්පත්තිය තමා තුළ දකියි. ඒ හේතුවෙන් බහුශ්‍රැත බව පිළිබඳ කථාව කරද්දී ප්‍රීතිය හා ප්‍රමුදිත බව ලබයි. එනිසා ය බහුශ්‍රැතයාට බහුශ්‍රැත බව පිළිබඳ කථාව මිහිරි කථාවක් වන්නේ.

මහණෙනි, ත්‍යාගවන්තයා හට ත්‍යාගී බව පිළිබඳ කථාව මිහිරි කථාවක් වන්නේ කුමක් හෙයින් ද? මහණෙනි, ත්‍යාගවන්තයා ත්‍යාගී බව පිළිබඳ කථාව කරන කල්හී නොගැටෙයි, නොකිපෙයි, ව්‍යාපාදයට නොපැමිණෙයි, විරුද්ධ ව නැගී නොසිටියි. කෝපය ත්, ද්වේෂය ත්, නොසතුට ත් පහළ නොකරයි. එයට හේතුව කුමක් ද? මහණෙනි, හේ ත්‍යාග සම්පත්තිය තමා තුළ දකියි. ඒ හේතුවෙන් ත්‍යාගී බව පිළිබඳ කථාව කරද්දී ප්‍රීතිය හා ප්‍රමුදිත බව ලබයි. එනිසා ය ත්‍යාගවන්තයාට ත්‍යාගී බව පිළිබඳ කථාව මිහිරි කථාවක් වන්නේ.

මහණෙනි, ප්‍රඥාවන්තයා හට ප්‍රඥාව පිළිබඳ කථාව මිහිරි කථාවක් වන්නේ කුමක් හෙයින් ද? මහණෙනි, ප්‍රඥාවන්තයා ප්‍රඥාව පිළිබඳ කථාව කරන කල්හී නොගැටෙයි, නොකිපෙයි, ව්‍යාපාදයට නොපැමිණෙයි, විරුද්ධ ව නැගී නොසිටියි. කෝපය ත්, ද්වේෂය ත්, නොසතුට ත් පහළ නොකරයි. එයට හේතුව කුමක් ද? මහණෙනි, හේ ප්‍රඥා සම්පත්තිය තමා තුළ දකියි. ඒ හේතුවෙන් ප්‍රඥාව පිළිබඳ කථාව කරද්දී ප්‍රීතිය හා ප්‍රමුදිත බව ලබයි. එනිසා ය ප්‍රඥාවන්තයාට ප්‍රඥාව පිළිබඳ කථාව මිහිරි කථාවක් වන්නේ.

මහණෙනි, ඒ ඒ පුද්ගලයා හට ගලපා බැලීම පිණිස පුද්ගලයන් පස් දෙනෙකුගේ කථාවන් මිහිරි කථාවන් වෙයි.

සාදු! සාදු!! සාදු!!!

දුක්කථා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M