අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.4.1.6. තතිය සද්ධම්ම සම්මෝස සුත්තං

5.4.1.6. සද්ධර්මයෙහි වැනසීම ගැන වදාළ තෙවන දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ පස් කරුණ සද්ධර්මයෙහි වැනසීම පිණිස, අතුරුදහන් වීම පිණිස පවතින්නේ ය. ඒ කවර කරුණු පසක් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂූහු වැරදි ලෙස ගන්නා ලද සූත්‍රාන්තයන් වැරදි ලෙස පෙළගස්වන ලද පද ව්‍යංජනයන්ගෙන් යුතුව ඉගෙන ගනිති. මහණෙනි, වැරදි ලෙස පෙළගස්වන ලද පද ව්‍යංජන ඇති කල්හී අර්ථය ද වරදින්නේ වෙයි. මහණෙනි, සද්ධර්මයෙහි වැනසීම පිණිස, අතුරුදහන් වීම පිණිස පවතින පළමු කරුණ මෙය යි.

තව ද මහණෙනි, භික්ෂූහු අකීකරු වෙති. අකීකරු බව ඇති කරන දෙයින් යුක්ත වෙති. නොඉවසමින්, අනුශාසනාව පැදකුණු කොට නොගනිති. මහණෙනි, සද්ධර්මයෙහි වැනසීම පිණිස, අතුරුදහන් වීම පිණිස පවතින දෙවෙනි කරුණ මෙය යි.

තව ද මහණෙනි, යම් ඒ භික්ෂූහු බහුශ්‍රැත වෙත් ද, තමා වෙතට පමුණුවාගන්නා ලද ධර්මය ඇත්තාහු වෙත් ද, ධර්මධර වෙත් ද, විනයධර වෙත් ද, මාතෘකාධර වෙත් ද, ඔවුහු සූත්‍රාන්තයන් අන්‍යයන් හට සකස් කොට කටපාඩම් නොකරවති. ඔවුන්ගේ ඇවෑමෙන් සූත්‍රාන්තය මුල් සිඳුණේ වෙයි. පිළිසරණ නැතිවූයේ වෙයි. මහණෙනි, සද්ධර්මයෙහි වැනසීම පිණිස, අතුරුදහන් වීම පිණිස පවතින තෙවෙනි කරුණ මෙය යි.

තව ද මහණෙනි, ස්ථවිර භික්ෂූහු සිව්පස ලාභය බහුල කොට වසන්නාහු ය. ශාසනය ලිහිල් කොට පිරිහෙන කරුණු ළංකර ගන්නාහුය. ඒ පිරිහෙන කරුණු පෙරට ගෙන හුදෙකලා භාවනාවෙහි යෙදීම පිණිස වෙර වැඩීම අත්හරින්නාහු ය. නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිසත්, නොඅත්දුටු මාර්ගඵලාධිගමයන් අත්දැකීම පිණිසත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීම පිණිසත් වීරිය නොඅරඹන්නාහුය. ඔවුන්ගෙන් පැවිදි බව ලබන පශ්චිම ජනතාව ද ඔවුන්ගේ දෘෂ්ටියට පැමිණෙන්නේය. ඒ පශ්චිම ජනයෝ ද සිව්පස ලාභය බහුල කොට වසන්නාහුය. ශාසනය ලිහිල් කොට පිරිහෙන කරුණු ළංකර ගන්නාහු ය. ඒ පිරිහෙන කරුණු පෙරට ගෙන හුදෙකලා භාවනාවෙහි යෙදීම පිණිස වෙර වැඩීම අත්හරින්නාහුය. නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිස ත්, නොඅත්දුටු මාර්ගඵලාධිගමයන් අත්දැකීම පිණිස ත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීම පිණිස ත් වීරිය නොඅරඹන්නාහු ය. මහණෙනි, සද්ධර්මයෙහි වැනසීම පිණිස, අතුරුදහන් වීම පිණිස පවතින සිව්වෙනි කරුණ මෙය යි.

තවද මහණෙනි, සංඝයා බිඳුණේ වෙයි. මහණෙනි, සංඝයා භේද බින්න වූ කල්හී එකිනෙකාට හට ආක්‍රෝශ කරන්නාහු වෙති. එකිනෙකා හට තර්ජනය කරන්නාහු වෙති. එකිනෙකා හට විරුද්ධ ජනයා පිරිවරන්නාහු වෙති. එකිනෙකා හට හෙළා බැහැර කරන්නාහු වෙති. එහිලා නොපැහැදුණු වුන් තවත් නොපැහැදී යති. පැහැදුණා වූ ඇතැම් කෙනෙකුන් වෙනස් වී යති. මහණෙනි, සද්ධර්මයෙහි වැනසීම පිණිස, අතුරුදහන් වීම පිණිස පවතින පස්වෙනි කරුණ මෙය යි.

මහණෙනි, මේ පස් කරුණ සද්ධර්මයෙහි වැනසීම පිණිස, අතුරුදහන් වීම පිණිස පවතින්නේ ය.

මහණෙනි, මේ පස් කරුණ සද්ධර්මයෙහි පැවැත්ම පිණිස, විනාශ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස පවතින්නේ ය. ඒ කවර කරුණු පසක් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂූහු මැනැවින් ගන්නා ලද සූත්‍රාන්තයන් මැනැවින් පෙළගස්වන ලද පද ව්‍යංජනයන්ගෙන් යුතු ව ඉගෙන ගනිති. මහණෙනි, මැනැවින් පෙළගස්වන ලද පද ව්‍යංජන ඇති කල්හී අර්ථය ද මැනැවින් මතුවන්නේ වෙයි. මහණෙනි, සද්ධර්මයෙහි පැවැත්ම පිණිස, විනාශ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පවතින පළමු කරුණ මෙය යි.

තව ද මහණෙනි, භික්ෂූහු කීකරු වෙති. කීකරු බව ඇති කරන දෙයින් යුක්ත වෙති. ඉවසමින් අනුශාසනාව පැදකුණු කොට ගනිති. මහණෙනි, සද්ධර්මයෙහි පැවැත්ම පිණිස, විනාශ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස පවතින දෙවෙනි කරුණ මෙය යි.

තව ද මහණෙනි, යම් ඒ භික්ෂූහු බහුශ්‍රැත වෙත් ද, තමා වෙතට පමුණුවාගන්නා ලද ධර්මය ඇත්තාහු වෙත් ද, ධර්මධර වෙත් ද, විනයධර වෙත් ද, මාතෘකාධර වෙත් ද, ඔවුහු සූත්‍රාන්තයන් අන්‍යයන් හට සකස් කොට කටපාඩම් කරවති. ඔවුන්ගේ ඇවෑමෙන් සූත්‍රාන්තය මුල් සිඳුණේ නොවෙයි. පිළිසරණ සහිත වූයේ වෙයි. මහණෙනි, සද්ධර්මයෙහි පැවැත්ම පිණිස, විනාශ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස පවතින තෙවෙනි කරුණ මෙය යි.

තව ද මහණෙනි, ස්ථවිර භික්ෂූහු සිව්පස ලාභය බහුල කොට නොවසන්නාහු ය. ශාසනය ලිහිල් කොට නොගෙන පිරිහෙන කරුණු දුරු කරන්නාහු ය. ඒ පිරිහෙන කරුණු දුරු කොට හුදෙකලා භාවනාවෙහි යෙදීම පිණිස වෙර වඩන්නාහු ය. නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිස ත්, නොඅත්දුටු මාර්ගඵලාධිගමයන් අත්දැකීම පිණිස ත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීම පිණිස ත් වීරිය අරඹන්නාහු ය. ඔවුන් ගෙන් පැවිදි බව ලබන පශ්චිම ජනතාව ද ඔවුන්ගේ දෘෂ්ටියට පැමිණෙන්නේ ය. ඒ පශ්චිම ජනයෝ ද සිව්පස ලාභය බහුල කොට නොවසන්නාහු ය. ශාසනය ලිහිල් කොට නොගෙන පිරිහෙන කරුණු දුරු කරන්නාහු ය. ඒ පිරිහෙන කරුණු දුරු කොට හුදෙකලා භාවනාවෙහි යෙදීම පිණිස වෙර වැඩීම අරඹන්නාහු ය. නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිස ත්, නොඅත්දුටු මාර්ගඵලාධිගමයන් අත්දැකීම පිණිස ත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීම පිණිස ත් වීරිය අරඹන්නාහු ය. මහණෙනි, සද්ධර්මයෙහි පැවැත්ම පිණිස, විනාශ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස පවතින සිව්වෙනි කරුණ මෙය යි.

තවද මහණෙනි, සංඝයා සමඟි වූයේ වෙයි. මහණෙනි, සංඝයා සමඟි කල්හී සතුටු වන්නාහු, විවාද නොකරන්නාහු, එක් අරමුණක් ඇති ව පහසුවෙන් වාසය කරති. මහණෙනි, සංඝයා සමඟි ව සිටින කල්හී එකිනෙකාට හට ආක්‍රෝශ නොකරන්නාහු වෙති. එකිනෙකා හට තර්ජනය නොකරන්නාහු වෙති. එකිනෙකා හට විරුද්ධ ජනයා නොපිරිවරන්නාහු වෙති. එකිනෙකා හට හෙළා බැහැර නොකරන්නාහු වෙති. එහිලා නොපැහැදුණු වුන් පැහැදී යති. පැහැදුනවුන්ගේ පැහැදීම වැඩි දියුණු වෙයි. මහණෙනි, සද්ධර්මයෙහි පැවැත්ම පිණිස, විනාශ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස පවතින පස්වෙනි කරුණ මෙය යි.

මහණෙනි, මේ පස් කරුණ සද්ධර්මයෙහි පැවැත්ම පිණිස, විනාශ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස පවතින්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

තතිය සද්ධම්ම සම්මෝස සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M