සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ පස් කරුණ සද්ධර්මයෙහි වැනසීම පිණිස, අතුරුදහන් වීම පිණිස පවතින්නේ ය. ඒ කවර කරුණු පසක් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂූහු සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසන ධර්මය ඉගෙන නොගනිති. මහණෙනි, සද්ධර්මයෙහි වැනසීම පිණිස, අතුරුදහන් වීම පිණිස පවතින පළමු කරුණ මෙය යි.
තව ද මහණෙනි, භික්ෂූහු යම් අයුරින් අසන ලද, යම් අයුරින් ඉගෙන ගන්නා ලද ධර්මය අන්‍යයන්ට විස්තර වශයෙන් දේශනා නොකරති. මහණෙනි, සද්ධර්මයෙහි වැනසීම පිණිස, අතුරුදහන් වීම පිණිස පවතින දෙවන කරුණ මෙය යි.
තව ද මහණෙනි, භික්ෂූහු යම් අයුරින් අසන ලද, යම් අයුරින් ඉගෙන ගන්නා ලද ධර්මය අන්‍යයන්ට විස්තර වශයෙන් කටපාඩම් නොකරවති. මහණෙනි, සද්ධර්මයෙහි වැනසීම පිණිස, අතුරුදහන් වීම පිණිස පවතින තෙවන කරුණ මෙය යි.
තව ද මහණෙනි, භික්ෂූහු යම් අයුරින් අසන ලද, යම් අයුරින් ඉගෙන ගන්නා ලද ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා නොකරති. මහණෙනි, සද්ධර්මයෙහි වැනසීම පිණිස, අතුරුදහන් වීම පිණිස පවතින සිව්වන කරුණ මෙය යි.
තව ද මහණෙනි, භික්ෂූහු යම් අයුරින් අසන ලද, යම් අයුරින් ඉගෙන ගන්නා ලද ධර්මය නැවත නැවත සිතෙන් විතර්ක නොකරති. නැවත නැවත විචාර නොකරති. මනසින් නොවිමසති. මහණෙනි, සද්ධර්මයෙහි වැනසීම පිණිස, අතුරුදහන් වීම පිණිස පවතින පස්වන කරුණ මෙය යි.
මහණෙනි, මේ පස් කරුණ සද්ධර්මයෙහි වැනසීම පිණිස, අතුරුදහන් වීම පිණිස පවතින්නේ ය.
මහණෙනි, මේ පස් කරුණ සද්ධර්මයෙහි පැවැත්ම පිණිස, විනාශ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස පවතින්නේ ය. ඒ කවර කරුණු පසක් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂූහු සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසන ධර්මය ඉගෙන ගනිති. මහණෙනි, සද්ධර්මයෙහි පැවැත්ම පිණිස, විනාශ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස පවතින පළමු කරුණ මෙය යි.
තව ද මහණෙනි, භික්ෂූහු යම් අයුරින් අසන ලද, යම් අයුරින් ඉගෙන ගන්නා ලද ධර්මය අන්‍යයන්ට විස්තර වශයෙන් දේශනා කරති. මහණෙනි, සද්ධර්මයෙහි පැවැත්ම පිණිස, විනාශ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස පවතින දෙවන කරුණ මෙය යි.
තව ද මහණෙනි, භික්ෂූහු යම් අයුරින් අසන ලද, යම් අයුරින් ඉගෙන ගන්නා ලද ධර්මය අන්‍යයන්ට විස්තර වශයෙන් කටපාඩම් කරවති. මහණෙනි, සද්ධර්මයෙහි පැවැත්ම පිණිස, විනාශ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස පවතින තෙවන කරුණ මෙය යි.
තව ද මහණෙනි, භික්ෂූහු යම් අයුරින් අසන ලද, යම් අයුරින් ඉගෙන ගන්නා ලද ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා කරති. මහණෙනි, සද්ධර්මයෙහි පැවැත්ම පිණිස, විනාශ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස පවතින සිව්වන කරුණ මෙය යි.
තව ද මහණෙනි, භික්ෂූහු යම් අයුරින් අසන ලද, යම් අයුරින් ඉගෙන ගන්නා ලද ධර්මය නැවත නැවත සිතෙන් විතර්ක කරති. නැවත නැවත විචාර කරති. මනසින් විමසති. මහණෙනි, සද්ධර්මයෙහි පැවැත්ම පිණිස, විනාශ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස පවතින පස්වන කරුණ මෙය යි.
මහණෙනි, මේ පස් කරුණ සද්ධර්මයෙහි පැවැත්ම පිණිස, විනාශ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස පවතින්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
දුතිය සද්ධම්ම සම්මෝස සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M