සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ පස් කරුණ සද්ධර්මයෙහි වැනසීම පිණිස, අතුරුදහන් වීම පිණිස පවතින්නේ ය. ඒ කවර කරුණු පසක් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂූහු සකස් කොට ධර්මය නොඅසති. සකස් කොට ධර්මය ඉගෙන නොගනිති. සකස් කොට ධර්මය ධරා නොගනිති. සකස් කොට දැරූ ධර්මයන්ගේ අර්ථය නුවණින් නොවිමසති. සකස් කොට අර්ථය දැන, ධර්මය දැන, ධර්මානුධර්ම ප්රතිපදාවෙහි නොයෙදෙති.
මහණෙනි, මේ පස් කරුණ සද්ධර්මයෙහි වැනසීම පිණිස, අතුරුදහන් වීම පිණිස පවතින්නේ ය.
මහණෙනි, මේ පස් කරුණ සද්ධර්මයෙහි පැවැත්ම පිණිස, විනාශ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස පවතින්නේ ය. ඒ කවර කරුණු පසක් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂූහු සකස් කොට ධර්මය අසති. සකස් කොට ධර්මය ඉගෙන ගනිති. සකස් කොට ධර්මය ධරා ගනිති. සකස් කොට දැරූ ධර්මයන්ගේ අර්ථය නුවණින් විමසති. සකස් කොට අර්ථය දැන, ධර්මය දැන, ධර්මානුධර්ම ප්රතිපදාවෙහි යෙදෙති.
මහණෙනි, මේ පස් කරුණ සද්ධර්මයෙහි පැවැත්ම පිණිස, විනාශ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස පවතින්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
පඨම සද්ධම්ම සම්මෝස සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M