අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.4.1.3. තතිය සම්මත්තනියාම සුත්තං

5.4.1.3. ආර්ය මාර්ගයට බැසගැනීම ගැන වදාළ තෙවන දෙසුම

සැවැත් නුවර දී ය ……

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව සද්ධර්මය අසන්නේ නමුත් කුසල් දහම් තුළ ආර්ය මාර්ගයට බැසගන්නට අසමර්ථ වෙයි. ඒ කවර කරුණු පසකින් ද යත්;

ගුණමකු වූයේ ගුණමකු බවින් මැඬගත් සිතින් යුතු ව ධර්මය අසයි. වාදවිවාද නගන සිතින් යුතු ව සිදුරු සොයන සුළු වූයේ ධර්මය අසයි. ධර්ම දේශකයා කෙරෙහි ක්‍රෝධයෙන් ගැටුණු සිත් ඇති ව දැඩි බවින් සිටින්නේ වෙයි. නුවණ නොවැඩෙන්නේ කෙළතොළු වූයේ දුෂ්ප්‍රාඥ වෙයි. අවබෝධ නොකළ දෙය පිළිබඳව අවබෝධ වූයේය යන මාන්නය ඇත්තේ වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව සද්ධර්මය අසන්නේ නමුත් කුසල් දහම් තුළ ආර්ය මාර්ගයට බැසගන්නට අසමර්ථ වෙයි.

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව සද්ධර්මය අසන්නේ කුසල් දහම් තුළ ආර්ය මාර්ගයට බැසගන්නට සමර්ථ වෙයි. ඒ කවර කරුණු පසකින් ද යත්;

ගුණමකු නොවූයේ ගුණමකු බවින් නොමැඬගත් සිතින් යුතු ව ධර්මය අසයි. වාදවිවාද නොනගන සිතින් යුතු ව සිදුරු නොසොයන සුළු වූයේ ධර්මය අසයි. ධර්ම දේශකයා කෙරෙහි ක්‍රෝධයෙන් නොගැටුණු සිත් ඇති ව දැඩි බවින් තොර ව සිටින්නේ වෙයි. ජඩ නොවූයේ කෙළතොළු නොවූයේ ප්‍රඥාවන්ත වෙයි. අවබෝධ නොකළ දෙය පිළිබඳව අවබෝධ වූයේය යන මාන්නය නැත්තේ වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව සද්ධර්මය අසන්නේ කුසල් දහම් තුළ ආර්ය මාර්ගයට බැසගන්නට සමර්ථ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

තතිය සම්මත්තනියාම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M