එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සාකේතයෙහි තිකණ්ඩකී වනයෙහි වැඩවෙසෙන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්ෂූන් ඇමතූ සේක. “පින්වතුන් වහන්සැ” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, භික්ෂුව කලින් කල පිළිකුල් නොවූ අරමුණෙහි පිළිකුල් සංඥාවෙන් වාසය කරන්නේ නම් මැනැවි.
මහණෙනි, භික්ෂුව කලින් කල පිළිකුල් වූ අරමුණෙහි නොපිළිකුල් සංඥාවෙන් වාසය කරන්නේ නම් මැනැවි.
මහණෙනි, භික්ෂුව කලින් කල පිළිකුල් නොවූ අරමුණෙහි ද, පිළිකුල් අරමුණෙහි ද, පිළිකුල් සංඥාවෙන් වාසය කරන්නේ නම් මැනැවි.
මහණෙනි, භික්ෂුව කලින් කල පිළිකුල් අරමුණෙහි ද, පිළිකුල් නොවූ අරමුණෙහි ද, නොපිළිකුල් සංඥාවෙන් වාසය කරන්නේ නම් මැනැවි.
මහණෙනි, භික්ෂුව කලින් කල පිළිකුල් නොවූ අරමුණ ත්, පිළිකුල් අරමුණ ත් යන දෙක ම දුරු කොට සිහියෙන් හා නුවණින් යුතු ව උපේක්ෂාවෙන් වාසය කරන්නේ නම් මැනැවි.
මහණෙනි, භික්ෂුව කුමන අරුතක් උදෙසා ද, පිළිකුල් නොවූ අරමුණෙහි පිළිකුල් සංඥාවෙන් වාසය කරන්නේ? රාගය උපදවන අරමුණුවල මට රාගය නූපදීවා යි කියා ය. මහණෙනි, මේ අරුත සඳහා ය නොපිළිකුල් අරමුණෙහි පිළිකුල් සංඥාවෙන් වාසය කරන්නේ.
මහණෙනි, භික්ෂුව කුමන අරුතක් උදෙසා ද, පිළිකුල් වූ අරමුණෙහි නොපිළිකුල් සංඥාවෙන් වාසය කරන්නේ? ද්වේෂය උපදවන අරමුණුවල මට ද්වේෂය නූපදීවා යි කියා ය. මහණෙනි, මේ අරුත සඳහා ය පිළිකුල් අරමුණෙහි නොපිළිකුල් සංඥාවෙන් වාසය කරන්නේ.
මහණෙනි, භික්ෂුව කුමන අරුතක් උදෙසා ද, පිළිකුල් නොවූ අරමුණෙහි ද, පිළිකුල් අරමුණෙහි ද පිළිකුල් සංඥාවෙන් වාසය කරන්නේ? රාගය උපදවන අරමුණුවල මට රාගය නූපදීවා, ද්වේෂය උපදවන අරමුණුවල මට ද්වේෂය නූපදීවා යි කියා ය. මහණෙනි, මේ අරුත සඳහා ය නොපිළිකුල් අරමුණෙහි ද, පිළිකුල් අරමුණෙහි ද, පිළිකුල් සංඥාවෙන් වාසය කරන්නේ.
මහණෙනි, භික්ෂුව කුමන අරුතක් උදෙසා ද, පිළිකුල් වූ අරමුණෙහි ද, නොපිළිකුල් අරමුණෙහි ද නොපිළිකුල් සංඥාවෙන් වාසය කරන්නේ? ද්වේෂය උපදවන අරමුණුවල මට ද්වේෂය නූපදීවා, රාගය උපදවන අරමුණුවල මට රාගය නූපදීවා යි කියා ය. මහණෙනි, මේ අරුත සඳහා ය පිළිකුල් අරමුණෙහි ද, නොපිළිකුල් අරමුණෙහි ද, නොපිළිකුල් සංඥාවෙන් වාසය කරන්නේ.
මහණෙනි, භික්ෂුව කුමන අරුතක් උදෙසා ද, පිළිකුල් නොවූ අරමුණ ත්, පිළිකුල් අරමුණ ත් යන දෙක ම දුරු කොට සිහියෙන් හා නුවණින් යුතු ව උපේක්ෂාවෙන් වාසය කරන්නේ? මට කිසි අරමුණක කොතැනක වත් රාගය උපදවන අරමුණුවල රාගය නූපදීවා, මට කිසි අරමුණක කොතැනක වත් ද්වේෂය උපදවන අරමුණුවල ද්වේෂය නූපදීවා, මට කිසි අරමුණක කොතැනක වත් මෝහය උපදින අරමුණුවල මෝහය නූපදීවා යි කියා ය. මහණෙනි, මේ අරුත සඳහා ය පිළිකුල් නොවූ අරමුණ ත්, පිළිකුල් අරමුණ ත් යන දෙක ම දුරු කොට සිහියෙන් හා නුවණින් යුතු ව උපේක්ෂාවෙන් වාසය කරන්නේ.
සාදු! සාදු!! සාදු!!!
තිකණ්ඩකී සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M