අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.3.5.3. සාරන්දද සුත්තං

5.3.5.3. සාරන්දද සෑයෙහි දී වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහාවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවෙසෙන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන පාත්‍රය හා සිවුරු ගෙන විශාලා මහනුවරට පිඬු පිණිස වැඩි සේක.

එසමයෙහි සාරන්දද සෑයෙහි රැස් ව සිටි පන්සියයක් පමණ වූ ලිච්ඡවීන් අතර මේ කතාබහ ඇතිවූයේ ය.

‘ලෝකයෙහි පස් වැදෑරුම් රත්නයන්ගේ පහළ වීම දුර්ලභ ය. ඒ කවර පංච රත්නයක් ද යත්;

ලෝකයෙහි හස්තිරත්නයේ පහළ වීම දුර්ලභ ය. ලෝකයෙහි අශ්වරත්නයේ පහළ වීම දුර්ලභ ය. ලෝකයෙහි මාණික්‍යරත්නයේ පහළ වීම දුර්ලභ ය. ලෝකයෙහි ස්ත්‍රීරත්නයේ පහළ වීම දුර්ලභ ය. ලෝකයෙහි ගෘහපතිරත්නයේ පහළ වීම දුර්ලභ ය. මේ පංච රත්නයන්ගේ පහළ වීම ලෝකයේ දුර්ලභ ය.’

එකල්හී ලිච්ඡවීහු මාර්ගයෙහි පුරුෂයෙක් තැබුවාහු ය. ‘එම්බා පුරුෂය, යම් විටක ඔබ භාග්‍යවතුන් වහන්සේ මෙදෙසට වඩිනා අයුරු දකින්නෙහි නම් එය අපට දන්වාලව’ යි.

ඒ පුරුෂයා දුරින් ම වඩින භාග්‍යවතුන් වහන්සේ ව දැක්කේ ය. දැක ලිච්ඡවීන් කරා ගියේ ය. ගොස් ලිච්ඡවීන්ට මෙසේ පැවසුවේ ය.

“භවත්නි, අරහත් සම්මා සම්බුදු වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වඩිනා සේක. යමකට දැන් කාලය නම් එය දනිව්.”

ඉක්බිති ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේ කරා ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව සිටියහ. එකත්පස් ව සිටි ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ සාරන්දද සෑයට අනුකම්පාව උපදවා වඩිනා සේක් නම් මැනැවි.”

භාග්‍යවතුන් වහන්සේ නිහඬ බවින් යුතු ව ඉවසා වදාළ සේක.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සාරන්දද සෑය වෙත වැඩම කළහ. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ ලිච්ඡවීන් ඇමතූ සේක.

“ලිච්ඡවිවරුනි, දැන් ඔබ කවර කථාවකින් යුක්ත ව සිටියාහු ද? ඔබගේ කවර කථාවක් අඩාල වූයේ ද?”

“ස්වාමීනී මෙහි රැස් ව සිටි අප අතර මේ කතාබහ ඇතිවූයේ ය. ‘ලෝකයෙහි පස් වැදෑරුම් රත්නයන්ගේ පහළ වීම දුර්ලභ ය. ඒ කවර පංච රත්නයක් ද යත්; ලෝකයෙහි හස්තිරත්නයේ පහළ වීම දුර්ලභ ය. ලෝකයෙහි අශ්වරත්නයේ පහළ වීම දුර්ලභ ය. ලෝකයෙහි මාණික්‍යරත්නයේ පහළ වීම දුර්ලභ ය. ලෝකයෙහි ස්ත්‍රීරත්නයේ පහළ වීම දුර්ලභ ය. ලෝකයෙහි ගෘහපතිරත්නයේ පහළ වීම දුර්ලභ ය. මේ පංච රත්නයන්ගේ පහළ වීම ලෝකයේ දුර්ලභ ය’ යනුවෙනි.”

“ඒකාන්තයෙන් ම කාමයෙහි බැසගත් ලිච්ඡවීන් වන ඔබ අතර කාමයන් අරභයා ම කථාව හටගත්තේ ය.

ලිච්ඡවිවරුනි, ලෝකයෙහි පස් වැදෑරුම් රත්නයන්ගේ පහළ වීම දුර්ලභ ය. ඒ කවර පසක් ද යත්;

තථාගත අරහත් සම්මා සම්බුදුරජුන්ගේ පහළ වීම ලෝකයෙහි දුර්ලභ ය. තථාගත ප්‍රවිදිත වූ ධර්ම විනය දේශනා කරන පුද්ගලයා ලෝකයෙහි දුර්ලභ ය. තථාගත ප්‍රවිදිත ධර්ම විනය දේශනා කරන විට අවබෝධ කරන පුද්ගලයා ලෝකයෙහි දුර්ලභ ය. තථාගත ප්‍රවිදිත ධර්ම විනය දෙසන කල්හී එය අවබෝධ කොට ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපන් පුද්ගලයා ලෝකයෙහි දුර්ලභ ය. කෙළෙහි ගුණ දන්නා, කෙළෙහි ගුණ සිහි කරන පුද්ගලයා ලෝකයෙහි දුර්ලභ ය.

ලිච්ඡවිවරුනි, මේ පංච රත්නයන්ගේ පහළ වීම ලෝකයෙහි දුර්ලභ ය.”

සාදු! සාදු!! සාදු!!!

සාරන්දද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M