අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.3.5.2. ආරම්භති සුත්තං

5.3.5.2. ඇවැතට පැමිණීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මහණෙනි, මෙහිලා පුද්ගලයෝ පස් දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර පස් දෙනෙක් ද යත්;

මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ඇවැතට ද පැමිණෙයි. පසුතැවෙන්නේ ද වෙයි. යම් තැනක ඔහුට උපන් ඒ පාපී අකුසල් ඉතිරි නැති ව නිරුද්ධ වෙයි නම් ඒ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් ඒ වූ සැටියෙන් ම නොදන්නේ වෙයි.

මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ඇවැතට ද පැමිණෙයි. නොපසුතැවෙන්නේ වෙයි. යම් තැනක ඔහුට උපන් ඒ පාපී අකුසල් ඉතිරි නැති ව නිරුද්ධ වෙයි නම් ඒ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් ඒ වූ සැටියෙන් ම නොදන්නේ වෙයි.

මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ඇවැතට නොපැමිණෙයි. පෙර සිදු වූ ඇවැත් ගැන පසුතැවෙන්නේ ද වෙයි. යම් තැනක ඔහුට උපන් ඒ පාපී අකුසල් ඉතිරි නැති ව නිරුද්ධ වෙයි නම් ඒ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් ඒ වූ සැටියෙන් ම නොදන්නේ වෙයි.

මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ඇවැතට නොපැමිණෙයි. නොපසුතැවෙන්නේ වෙයි. යම් තැනක ඔහුට උපන් ඒ පාපී අකුසල් ඉතිරි නැති ව නිරුද්ධ වෙයි නම් ඒ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් ඒ වූ සැටියෙන් ම නොදන්නේ වෙයි.

මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ඇවැතට නොපැමිණෙයි. නොපසුතැවෙන්නේ වෙයි. යම් තැනක ඔහුට උපන් ඒ පාපී අකුසල් ඉතිරි නැති ව නිරුද්ධ වෙයි නම් ඒ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් ඒ වූ සැටියෙන් ම දන්නේ වෙයි.

මහණෙනි, එහිලා යම් පුද්ගලයෙක් ඇවතට පැමිණුනේ ද, පසුතැවෙයි නම් යම් හෙයකින් ඔහුට උපන් ඒ පාපී අකුසල් ඉතිරි නැති ව නිරුද්ධ වෙයි නම් ඒ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් ඒ වූ සැටියෙන් ම නොදන්නේ නම්, ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ආයුෂ්මතුන්ට ඇවැතට පැමිණීමෙන් හටගත් ආශ්‍රවයෝ දකින්නට තිබෙති. පසුතැවිල්ලෙන් උපන් ආශ්‍රවයෝ වැඩෙති. ඒකාන්තයෙන් ආයුෂ්මත් තෙමේ ඇවැතට පැමිණීමෙන් හටගත් ආශ්‍රවයන් ප්‍රහාණය කොට පසුතැවිල්ලෙන් හටගත් ආශ්‍රවයන් දුරු කොට සිත ත්, ප්‍රඥාව ත් වඩන්නේ නම් මැනැවි. මෙසේ ආයුෂ්මතුන් මෙහි පස්වන පුද්ගලයා හා සම සම වන්නේ ය.’

මහණෙනි, එහිලා යම් පුද්ගලයෙක් ඇවතට පැමිණුනේ ද, නොපසුතැවෙයි නම් යම් හෙයකින් ඔහුට උපන් ඒ පාපී අකුසල් ඉතිරි නැති ව නිරුද්ධ වෙයි නම් ඒ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් ඒ වූ සැටියෙන් ම නොදන්නේ නම්, ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ආයුෂ්මතුන්ට ඇවැතට පැමිණීමෙන් හටගත් ආශ්‍රවයෝ දකින්නට තිබෙති. එනමුදු පසුතැවිල්ලෙන් උපන් ආශ්‍රවයෝ නොවැඩෙති. ඒකාන්තයෙන් ආයුෂ්මත් තෙමේ ඇවැතට පැමිණීමෙන් හටගත් ආශ්‍රවයන් ප්‍රහාණය කොට සිත ත්, ප්‍රඥාව ත් වඩන්නේ නම් මැනැවි. මෙසේ ආයුෂ්මතුන් මෙහි පස්වන පුද්ගලයා හා සම සම වන්නේ ය.’

මහණෙනි, එහිලා යම් පුද්ගලයෙක් ඇවතට නොපැමිණියේ නමුත් පසුතැවෙයි නම් යම් හෙයකින් ඔහුට උපන් ඒ පාපී අකුසල් ඉතිරි නැති ව නිරුද්ධ වෙයි නම් ඒ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් ඒ වූ සැටියෙන් ම නොදන්නේ නම්, ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ආයුෂ්මතුන්ට ඇවැතට පැමිණීමෙන් හටගත් ආශ්‍රවයෝ දකින්නට නොලැබෙති. නමුත් පසුතැවිල්ලෙන් උපන් ආශ්‍රවයෝ වැඩෙති. ඒකාන්තයෙන් ආයුෂ්මත් තෙමේ පසුතැවිල්ලෙන් හටගත් ආශ්‍රවයන් දුරු කොට සිත ත්, ප්‍රඥාව ත් වඩන්නේ නම් මැනැවි. මෙසේ ආයුෂ්මතුන් මෙහි පස්වන පුද්ගලයා හා සම සම වන්නේ ය.’

මහණෙනි, එහිලා යම් පුද්ගලයෙක් ඇවතට නොපැමිණියේ නම් නොපසුතැවෙයි නම් යම් හෙයකින් ඔහුට උපන් ඒ පාපී අකුසල් ඉතිරි නැති ව නිරුද්ධ වෙයි නම් ඒ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් ඒ වූ සැටියෙන් ම නොදන්නේ නම්, ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ආයුෂ්මතුන්ට ඇවැතට පැමිණීමෙන් හටගත් ආශ්‍රවයෝ දකින්නට නොලැබෙති. පසුතැවිල්ලෙන් උපන් ආශ්‍රවයෝ නොවැඩෙති. ඒකාන්තයෙන් ආයුෂ්මත් තෙමේ සිත ත්, ප්‍රඥාව ත් වඩන්නේ නම් මැනැවි. මෙසේ ආයුෂ්මතුන් මෙහි පස්වන පුද්ගලයා හා සම සම වන්නේ ය.’

මෙසේ මහණෙනි, කලින් කී සතර පුද්ගලයෝ මේ පස්වන පුද්ගලයා සම කොට මෙසේ අවවාද කරන කල්හී, අනුශාසනා කරන කල්හී අනුපිළිවෙළින් ආශ්‍රවයන්ගේ ක්ෂයයට පත්වන්නාහු ය.

සාදු! සාදු!! සාදු!!!

ආරම්භති සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-5-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M